Print this Article


සුසිරිත සැප පිණිස ය

සුසිරිත සැප පිණිස ය

"කායික, වාචසික හා මානසික ක්‍රියාවල දී තමා ගැන, අනුන් ගැන මෙන් ම තමා, අනුන් යන උභය පක්ෂය ගැනම සලකා බැලිය යුතු ය. යම් ක්‍රියාවක් තමාට හානිකර වන්නේ ද, අනුන්ට හානිකර වන්නේ ද, දෙපක්ෂයට ම හානිකර වන්නේ ද එය අකුසලයකි. යම් ක්‍රියාවක් තමන්ට අනුන් හා තමන් යන උභය පක්ෂයට ම හානිකර නො වන්නේ ද එය කුසලයකැයි සලකා ගත යුතු ය."

හොඳ නරක යන මානව චර්යාවන් හැඳින්වීම පිණිස බුද්ධ දේශනාව විවිධ ව්‍යවහාරයන් භාවිත කරයි. කුසල, අකුසල යන යෙදුම් එහි දී ප්‍රමුඛ වේ.

ඒ හැර පුඤ්ඤ - පාප, සාර - අසාර, සාධු - අසාධු, සාවජ්ජ - අනවජ්ජ, ධම්ම - අධම්ම, කරණීය - අකරණීය, සුකට - දුක්කට, තණ්හ - සුක්ක යනාදී යෙදුම් ද ඒ සඳහා යෙදී තිබේ. එලෙස හොඳ ක්‍රියාව මෙන් ම නරක ක්‍රියාව ද තීරණය කිරීමට මිනිසාට හැකියාව ඇති බව බුදු දහම පිළිගනියි.

එහිදී එයට අදාළ වන කරුණු සලකා බැලිය යුතු ය. ඒ සඳහා මිනිසාට නිදහස තිබේ. සර්ව බලධාරී ඊශ්වරයෙකුට අනුව හෝ ආත්මවාදී ව හෝ හුදෙක් තර්කයට ම වහල් වී හෝ, සමාජගත සාම්ප්‍රදායික මතවාදවලට යටත් ව හෝ හොඳ, නරක නිශ්චය කළ යුතු නැත. නරක ක්‍රියාවක් හැර පියා හොඳ ක්‍රියාවක් ප්‍රගුණ කිරීමේ හැකියාව අතින් මිනිසා ලොව අන් සියලු සත්ත්වයන්ට වඩා ඉදිරියෙන් සිටින බව පිළිගන්නා බුදුදහම සිතා මතා කරන හොඳ ප්‍රතිඵල සහිත වූ චර්යාවන් ඇරඹීමට ද (ආරම්භ ධාතු) පවත්වාගෙන යාමට ද (නික්ඛම ධාතු) එහිදී බාධක මැඬළමින් ඉදිරියට යාමට ද (පරක්කම ධාතු) පුද්ගලයාට අනුශාසනා කරයි.

එබැවින් ඒ සඳහා අරඹව් (ආරභථ) නික්මෙව් (නික්ඛමථ) යෙදෙව් (යුඤ්ජථ) යැයි මිනිසා ධෛර්යමත් කරයි. මෙසේ ස්ව ඡන්දය එනම් තම තමා සතු හැකියාව කැමැත්ත (ස්වච්ඡන්දතාව) අගය කරන දහමක් ලෙස බුදු සමය ප්‍රකට ය. කුසලා කුසල කර්ම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේ දී බුදු සමය නිබඳ ව ම එකී ක්‍රියාවන්ට පාදකවන චේතනාව පිළිබඳ අවධානය යොමු කරයි. ඒ අනුව හොඳ ක්‍රියාවට, කුසලයට මුල් වන්නේ අලෝභය යි. ලෝභයෙන් ගිජුකමින් තොර බවයි. අද්වේශය යි. ද්වේශයෙන් පටිඝයෙන් තොර බවයි. අමෝහය යි. මුලාවෙන් මුවහ වීමෙන් තොර බවයි. යම් ක්‍රියාවකට එම චේතනාවන් පාදක වී තිබේ ද, එය අකුසල ය. මෙම අර්ථයෙන් “මහණෙනි,මම චේතනාව ම කර්මය යැයි කියමි. කයින්, වචනයෙන් හා සිතින් සිතා මතා ක්‍රියාවෝ කරනු ලැබෙත්’ යැයි වදාරන ලදී.

චේතනා පූර්වංගම ක්‍රියාවෝ කම්ම යන්නෙන් සැලකෙන්නෝ ය. ලෝභ, ද්වේශ, මෝහා දී චේතනාවන් අකුසල මූල ලෙස හා අලෝභ, අද්වේශ, අමෝහ යන චේතනාවන් කුසල මූල ලෙස ද දක්වන බුදු සමය ඒ පිළිබඳව අවදිකමින් යුක්තවීම සම්මා දිට්ඨිය, නිරවද්‍ය වූ දැක්ම ලෙස හඳුන්වයි. එසේ ම කුසලාකුසල කර්ම තමන් විසින් ඇති හැටියෙන් දැන දැක ගත යුතු යැයි ද උගන්වයි. සිත විසින් ලොව ම හසුරුවනු ලැබේ. සියලු ධර්මයෝ සිතෙහි ආධිපත්‍යයට යටත් වෙති. මහණෙනි, වැඩි දියුණුවට පත් නො කිරීමෙන් මහත් වූ අනර්ථය සිදු කෙරෙන දේ අතුරින් ද සිතම ප්‍රධාන වේ. එතරම් ප්‍රධාන වූ වෙනත් එක ම ධර්මයක් මම නො දකිමි. සොරෙකු තවකෙකුට සිදුකරන අයහපතට වැඩි අයහපතක් නරකට යොමු වූ සිත විසින් සිදුකරන්නේ ය. මව, පියා හෝ වෙනත් ඥාතියෙකු කෙනෙකුට සිදු කරන යහපතට වැඩි යහපතක් හොඳට යොමු වූ සිත විසින් සිදු කරන්නේ ය.

සියල්ලට මනස ම ප්‍රධාන වේ. පූර්වංගම වේ. ඉඳින් පවිටු වූ මනස මුල්කොට ගත් කියුම්, කෙරුම් වේ ද එයින් දුක මැ උපදවන්නේ ය. දුක පසුපස එන්නේ ය. ගොනු අනුව ම එය රිය සක පරිද්දෙනි. ඉදින් ප්‍රසන්න වූ මනස මුල්කොට ගත් කියුම්, කෙරුම් වේ ද ඒවා සැපත ම උපදවන්නේ ය. දුක පසුපස එන්නේ ය. ගොනු අනුව ම එන රිය සක පරිද්දෙනි.ඉදින් ප්‍රසන්න වූ මනස මුල්කොට ගත් කියුම්, කෙරුම් වේ ද ඒවා සැපත ම උපදවන්නේ ය.කෙනෙකු පසුපස එන හෙවණැල්ල මෙනි. නොවේ නම් දුරාචාරයෝ වෙත්.

මෙසේ කුසලා කුසල ධර්ම ඇගයුම් කිරීමේ දී අනුරූප පල විපාක පිළිබඳ ව ද බුදු සමය ගැඹුරු අවධානය යොමු කරයි. යම් ක්‍රියාවක් අයහපත් ද, අවැඩදායක ද, දුක් උපදවයි ද, අහිත පිණිස මැ වේ. ද එය නරක ය. යම් ක්‍රියාවක් යහපත් වේ ද, වැඩදායක වේ ද, සැප උපදවයි ද, හිත පිණිස ම වේ ද එය හොඳ ය.

මෙම අර්ථයෙන් යම් ක්‍රියාවක ඵලවිපාක අරබයා විධිමත් ප්‍රත්‍යවේක්ෂණයෙන් එය හොඳ හෝ නරක ලෙස විනිශ්චය කරනු පිණිස, බුදුසමය මඟපෙන්වන අවස්ථාවන් ද රාශියකි. ‘කාලාමයෙනි, ලෝභය අකුසල යැයි, ද්වේශය අකුසල යැයි, මෝහය අකුසල යැයි ඔබ විසින් ම (නිදහස් චින්තනය විමංසනය මගින්) දත යුත්තේ ය. එමතු ද නොව ලෝභය අහිත පිණිස, දුක් පිණිස වන්නේ ය. මෝහය අහිත, පිණිස දුක් පිණිස වන්නේ යැයි ඔබ විසින් ම නිදහස් වැ විමසුම්ශීලී ව දත යුතු ය. ‘මෙම බුද්ධ වචනය අවශ්‍යයෙන් ම කුසලාකුසල ධර්මයන්ගේ මානසික පදනම මෙන් ම පල විපාක ද සලකා බලා ඒවා ඇගයුම් කිරීමට මඟ පෙන්වයි. බුදුදහම වඩාත් ප්‍රකට ව ඇත්තේ හේතුඵල දහමක් ලෙස ය. හේතු ප්‍රත්‍ය ඇති කල, ඇතිවන්නා වූ සියල්ල හේතු ප්‍රත්‍ය නැති කල නැතිවන්නේ යැයි වටහා ගැන්මේ ආවශ්‍යකත්වය බුදුරජාණන් වහන්සේ නිබඳ ව ම පැහැදිලි කළහ.

“පව් කළ තැනැත්තේ මෙලොව ද තැවෙයි. පරලොව ද තැවෙයි. හෙතෙම මවිසින් පව් කරන ලද්දේ යැයි දුගතිගාමී වූයේ බෙහෙවින් මැ තැවෙයි.

පින් කළ තැනැත්තේ මෙලොව ද සතුටු වෙයි. පරලොව ද සතුටු වෙයි. මවිසින් පින් කරන ලද්දේ යැයි බෙහෙවින් ම සතුටු වෙයි. මෙම බුද්ධාවවදයන් ප්‍රජාව නරකින් මුදවා හොඳ වෙත යොමු කරලීම පිණිස මැ වදාරණ ලද්දේ ය.

මේ අනුව පව් කරන්නා විසින් නැවත නැවත පව් නො කළ යුතු ය. එය දුක් උපදවයි. පින් කරන්නා නැවත නැවතත් එය කළ යුතු ය. එයින් සැප උපදවන්නේ යැයි පෙන්වා දෙන ලදී.

බෞද්ධ මූලාශ්‍රය අනුව කායික, වාචසික හා මානසික ක්‍රියාවල දී තමා ගැන, අනුන් ගැන මෙන් ම තමා, අනුන් යන උභය පක්ෂය ගැනම සලකා බැලිය යුතු ය. යම් ක්‍රියාවක් තමාට හානිකර වන්නේ ද, අනුන්ට හානිකර වන්නේ ද, දෙපක්ෂයට ම හානිකර වන්නේ ද එය අකුසලයකි. යම් ක්‍රියාවක් තමන්ට අනුන් හා තමන් යන උභය පක්ෂයට ම හානිකර නො වන්නේ ද එය කුසලයකැයි සලකා ගත යුතු ය. බුදු සමයෙහි එන අත්තුපනායික ධර්ම පරියාය ද මෙකී උභයාර්ථ ම සලකා බැලීමේ උපදේශය ඉදිරිපත් කරයි. ඒ අනුව සියල්ලෝ, දඬුවමට තැති ගනිති.

මරණයට බිය වෙති. යම් සේ තමා දඬුවමට තැති ගන්නේ ද, බිය වන්නේ ද එලෙසින් ම, අනුන් ද එයට බිය වන්නේ යැයි සලකා, අනුන් වැනසීමෙන්, හිංසනයෙන් වැළකිය යුතු ය. සමාජයේ සෙස්සන් ඇසුරින් තමා පිළිබඳ ව අනුමාන කිරීමට මෙන් ම, තමන් ඇසුරින් අනුන් ගැන අනුමාන කිරීමට ද බුදුසමය මඟ පෙන්වයි. යම් පුද්ගලයෙක් පවිටු වූයේ ද, පාපී සිතුවිලිවලට වසඟ වූයේ ද, එම පුද්ගලයා මට අපි‍්‍රය ය. මම ද පාපී වූ කල්හි, පවිටු සිතුවිල්ලෙහි වසඟ වූ කල්හි අන් අයට අපි‍්‍රය අමනාප වන්නේ වෙමි. මම බොහෝ කල් ජීවත්වනු කැමති වෙමි. සුව විඳිනු කැමති වෙමි. දුක නො කැමති වෙමි. සෙස්සෝ ද බෝ කල් ජීවත් වනු කැමැත්තෝ ය. සුව විඳිනු කැමැත්තෝ ය. දුක නො කැමැත්තෝ ය. එබැවින් මවිසින් අනෙකෙකු දිවි තොර කෙරේ නම්, එය අනිකාට අපි‍්‍රය අමනාප වන්නේ යැයි සැලකිය යුතු ය.

ක්‍රියාවක හොඳ නරක නිශ්චය කිරීමෙහිලා කරුණු තුනක් සලකා බැලිය යුතු යැයි බුදුදහම උගන්වයි.

අත්තාධිපතෙය්‍ය - තමාගේ හෘද සාක්ෂිය

ලෝකාධිපතෙය්‍ය - ලෝක සම්මත

ධම්මාධිපතෙය්‍ය - ධර්මෝපදේශය

මේ කරුණු නො සලකන කල්හි තෙමේ තමාට ම උපවාද කෙරේ. හෘද සාක්ෂියෙන් ම දඬුවම් ලැබෙයි. නුවණැත්තන් අතර අපකීර්තියට ද පත්වෙයි. මුලාවීමෙන් මරණින් මතු දුගතිගාමී වෙයි. බුදු සමය අනුව මූලික වශයෙන් ම දුසිරිත දුක පිණිස හේතුවෙයි. දුක් උපදවයි. සුසිරිත සැප පිණිස හේතුවෙයි.

දුක වූ කලී දෙයාකාර ය. සංසාරික පැවැත්ම තුළ ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් හා නුවණින් පිරිහී පීඩාව උරුමවීම එක් පැත්තකි.

දුසිරිත ඊට තුඩුදෙයි. මෙලොව ද, පරලොව ද දුසිරිත හේතුවෙන් බොහෝ දුක් හට ගන්නේ ය. කර්ම විපාක පිළිබඳ බෞද්ධ ඉගැන්වීම මෙය මැනවින් පෙන්වා දෙයි. ජාති, ජරා, ව්‍යාධි, මරණාදී වශයෙන් සසර පැවැත්ම පිළිබඳ මූලික සත්‍යය දුක බව බුදුදහම පෙන්වා දෙයි.