Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 12 කොටස : සාමණේර හිමිවරු ගම්මඩු බලන්නට යති

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 12 කොටස

සාමණේර හිමිවරු ගම්මඩු බලන්නට යති

විමල ධර්මදූත මධ්‍යස්ථානයේ සිට සාරානන්ද පිරිවෙනට කිලෝමීටර් 4ක් පමණ දුරක් තිබුණු නමුත් පදුමකිත්ති හිමියෝ ඒ දුර පයින්ම වැඩම කළහ. ප්‍රමාද වූ දිනක දී හෝ වර්ෂාව පැවැති දිනක දී හැරෙන්නට පදුමකිත්ති හිමියන් උදෑසන බස් රථයෙන් වැඩම කෙළේ නැත. ‘

නවදගල පදුමකිත්ති හිමියන් නාගදීපයේ දෙමළ තරුණයින් හා එක්ව විවිධාකාර ක්‍රියාකාරකම්වලට සහභාගි වීම ගැන නාහිමියන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. උතුරේ මතුව ඇති දෙමළ තරුණයින්ගේ යම් යම් උද්ඝෝෂණ කළබලකාරීත්වයන්ට එය හොඳ සංහිඳීයාවක් වුවත් පදුමකිත්ති හිමියන් වැඩි වශයෙන් තරුණයින් හා එක්වුවහොත් අධ්‍යාපන කටයුතු අඩපණ කර ගනු ඇතැයි උන් වහන්සේ සිතූහ.

එහෙත් පදුමකිත්ති හිමියන් සතුන්ට දැඩි සේ කරුණාවෙන් කටයුතු කරනු දැකීම නම් නාහිමියන්ගේ සතුටට හේතු විය. විහාරස්ථානයේ සිටි සුනඛයෙක් පවා පදුමකිත්ති හිමියන්ට දැක්වූයේ පුදුමාකාර ආදරයකි. පදුමකිත්ති හිමියන් කොතැන ද එම සුනඛයා ද උන් වහන්සේ පසුපස ය. පදුමකිත්ති හිමියන්ද එසේම ය. එසේ වුවත් අධ්‍යාපන කටයුතු උදෙසා පදුමකිත්ති හිමියන් අනුරාධපුර ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි ශ්‍රී විමලධර්මදූත මධ්‍යස්ථානයට යොමු කරන්නට නාගදීප විහාරාධිපති නා හිමියෝ කටයුතු කළහ. එයට තවත් හේතුවක් තිබුණි. ඒ වන විට නාගදීපයේ නා හිමියන් විසින් පැවිදි කළ සාමණේර හිමිවරුන් කිහිප නමක් ම සිවුරු හැර ගොස් තිබුණි. ඒ නිසා පදුමකිත්ති හිමියන් රැක ගැන්ම ද නාහිමියන්ගේ අරමුණ විය.

විමලධර්මදූත මධ්‍යස්ථානයෙහි විහාරාධිපති මාතර විමල‍රතන හිමියන් විසින් පදුමකිත්ති හිමියන් සාරානන්ද පිරිවෙන් විහාරාධිපති ගිරාඹේ ආනන්ද හිමිට බාර කළහ.

එතරම් දියුණු තැනක් නොවූ විහාරස්ථානයේ පදුමකිත්ති හිමියන් ඇතුළු සාමණේර හිමිවරුන් නේවාසික ව සිටියේ වට වූ ධර්මශාලාවක ය. නා හිමියන් වැඩ සිටියේ පොල්අතු සෙවිලි කළ කුඩා කුටියක ය.

නා හිමියන් වහන්සේ වෙනුවෙන් වෙනම කුටියක් ඉදි කර දෙන්නට යුද හමුදාව විසින් කටයුතු කරන ලදී.

විමලධර්මදූත මධ්‍යස්ථානයේ සිට සාරානන්ද පිරිවෙනට කිලෝමීටර් 4ක් පමණ දුරක් තිබුණු නමුත් පදුමකිත්ති හිමියෝ ඒ දුර පයින්ම වැඩම කළහ. ප්‍රමාද වූ දිනකදී හෝ වර්ෂාව පැවැති දිනක දී හැරෙන්නට පදුමකිත්ති හිමියන් උදෑසන බස් රථයෙන් වැඩම කළේ නැත.

අවට තිබුණු ගුවන් විදුලි සංස්ථාව මෙන්ම ගුවන් හමුදා කඳවුර උන් වහන්සේගේ සිත් ගත් ස්ථාන අතර විය.

නාගදීපයේ නා හිමියන් විසින් මාසික ව රුපියල් 250.00ක මුදලක් ධම්මකිත්ති නා හිමියන්ට එවන ලදී. ඒ පදුමකිත්ති හිමියන්ගේ විය පැහැදම් වෙනුවෙනි. එසේම යම් යම් අවශ්‍යතාවන්ට මුදල් අවශ්‍ය වූ විට ඒවා සපයා ගැන්ම ද පදුමකිත්ති හිමියන්ට තරමක් ගැටලු මතු කරන්නක් විය. උන් වහන්සේ පමණක් නොව නේවාසික ව වැඩ සිටි සියලුම සාමණේර හිමිවරුන් තම අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් මුදල් සපයා ගත්තේ උන් වහන්සේට ලැබුණු පිරිකර අලෙවි කරගෙන ය. එම පිරිකර අලෙවිය ශාසනයට කරනු ලබන කැප කිරීමක් වන හෙයින් එයින් කිසිදු ආකාරයක පාපයක් වේ යැයි පදුමකිත්ති හිමියෝ ද නොසිතූහ. පිරිවෙනේ සිට විහාරස්ථානයට පැමිණෙන මාසික බස් ගාස්තු සඳහාද පදුමකිත්ති හිමියන්ට වැය වූයේ රුපියල් 10.00ක මුදලක් පමණි.

නාගදීපයේ නා හිමියන්ගෙන් ඉල්ලා සිටියහොත් ඕනෑම මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන බව දනිතත් පදුමකිත්ති හිමියෝ ඒ ගැන නා හිමියන්ට කරදර කරන්නට අකමැති වූහ.

එහි නැවතී සිට අධ්‍යාපන කටයුතු සිදු කළ දෙදෙනෙක් ද විය. ඒ සරත් හා සුනිල් ය.

මේ දෙදෙනා ම වැඩිකලක් නොගොස් පදුමකිත්ති හිමියන්ගේ සමීප මිතුරන් බවට පත් විය. දිනක් සරත් පැමිණ පදුමකිත්ති හිමියන්ට යෝජනාවක් කෙළේ ය.

‘‘හාමුදුරුවනේ ගම්මඩු උලෙළක් තියෙනවා බලන්න යමු ද?“

‘ගම්මඩුවක්.....‘‘ පදුමකිත්ති හිමියෝ පුදුම වූහ. කිසි දිනෙක ගම්මඩු උලෙළක් නරඹා නොතිබූ පදුමකිත්ති හිමියෝ එයට එකඟ වූහ. එහෙත් උන් වහන්සේ ඒ සම්බන්ධ ව මඳක් විපරම් කෙළේ එයට සහභාගි වන්නේ කවුරුන්ද යන්න සොයා බැලීමටයි. එයට එහි සිටි අනෙක් සාමණේර හිමිවරුන් තිදෙනා ම සහභාගි වන බව දැනගත් පදුමකිත්ති හිමියෝ ද කැමැත්ත පළ කළහ.

නායක හිමියන් සැතපෙන්නට ගිය පසුව සාමණේර හිමිවරුන් සිවු නම සරත් හා සුනිල් සමඟ එක්ව ගම්මඩුව බලන්නට ගියහ. බස් රථයේ නැඟී සැලකිය යුතු දුරක් යාමට සිදුවූ අතර ඇතැම් අය හුලු අතු පත්තු කරගෙන පැමිණියේ මඟ දෙපස අඳුරු නිසා ය. බස් රථයෙන් බැස පිරිස ගම්මඩුව භූමියට යන විට අවට සිටි ඇතැම් පිරිස් සාමණේර හිමිවරුන් දෙස බැලුවේ අමුතු බැල්මකිනි. සෙසු සාමණේර හිමිවරුන් ඒ දෙස බලමින් තරමක් තැති ගැන්මකින් යුතුව ගමන් කළ ද පදුමකිත්ති හිමියෝ ඒ කිසිවක් ගණනකට නොගත්හ.

සරත් හා සුනිල් සමඟ සාමණේර හිමිවරුන් එදින අලුයම විහාරයට පැමිණ හොර රහසේ ම නවාතැන්වලට ඇතුළු වූ අතර උදෑසනම අවදි වූයේ පෙර දින හොරෙන් ගිය ගමන ගැන නායක හිමියන් දැන ගන්නට ඉඩ ඇති නිසා ය.

මේ ලෙසින් අනුරාධපුර අවට පැවැත්වූ ගම්මඩු මෙන්ම සැණකෙලි කිහිපයක්ම නැරඹීමට පිරිස කටයුතු කළහ. දිනක් අනුරාධපුර අසල පැවැති සැණකෙළියක් නැරැඹීමට ගොස් සිටි අවස්ථාවේ දී එය දුටු අයෙක් විහාරය අසල සිටි දායක මහතකුට ඒ බව පවසා තිබුණි. ඒ ඔස්සේ නා හිමියන්ට මේ බව සැල කෙරුණේ ‘ගමරාල කපුටු පිහාටුවක් වමනය කිරීම කපුටන් 7 දෙනකු වමනය කළ‘ අයුරිනි.

‘‘විහාරවාසී සාමණේර හිමිවරුන් රාත්‍රියේ හොරෙන් ගොස් චිත්‍රපට බලනවා‘‘ යනුවෙන් නායක හිමියන්ට පැමිණිල්ලක් ආවේ ය.

නායක හිමියන් ඒ සම්බන්ධ ව එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. එහෙත් දින දෙක තුනකින් පසුව යළිත් සැණකෙළි මේලාවක් නරඹන්නට පිරිස ගිය පසු, පසු දිනම නායක හිමියන්ට කතාව ඇදී ගියේය. ඒ සමඟම විහාරස්ථානයේ ප්‍රධාන දායකයන් තිදෙනකු විහාරස්ථානයට පැමිණියහ. ඔවුහු නායක හිමියන්ට පවා දොස් නඟමින් විහාරස්ථානයේ සිට කෑ මොර දෙන්නට වූහ.

‘‘ශාසනේ විනාශ කරන්න ආපු කාපාලුවො, මොකට මහණ කළාද?‘‘

‘‘නායක හාමුදුරුවොත් ඇහැ කන පියාගෙන ඉන්නවා, හෙට අනිද්දට මෙතන තව හොඳ හොඳ සෙල්ලම් වෙයි‘‘

ඒ ප්‍රකාශ හමුවේ වුවද නායක හිමියෝ නොසැලී සිටියහ. එයින් පැමිණි පිරිස තවත් ආවේගශීලීව කෑගැසූහ.

‘‘සිවුරු ගලවල ගහල එළවන්න තියෙන්නෙ‘‘

‘‘නායක හාමුදුරුවොත් මේවට වග කියන්න ඕන‘‘ එක් අයෙක් ආවේගශීලී ව නායක හිමියන් දෙසට ඇඟිල්ල දිගු කරමින් කෑගැසීය.

මේ සියල්ල දෙස බලා සිටි පදුමකිත්ති හිමියෝ දැඩි සේ කුපිත වූහ. තමන් වහන්සේට කුමන අපහාසය කළත් නායක හිමියන්ට දෝෂාරෝපණ කිරීම නම් උන් වහන්සේ නොඉවසූහ.

‘‘ ඇයි උඹලා කන්න බොන්න දීල ද අපව එළවන්න හදන්නෙ, අපේ නායක හාමුදුරුවන්ට බණින්න උඹල කවුද? සිවුරු ගලවල දාන්න හදන්නේ උඹලද, අපිට සිවුරු පෙරෙව්වෙ, මේ සිවුරු දා ගත්තෙ ගලවන්න නෙමෙයි බොල, අපවත් වුණු දාට තමයි මේක ගලවන්න වෙන්නෙ, බැහැපියව් මෙතනින් මගෙන් දොර පොල්ලෙන් කන්නෙ නැතුව‘‘ පදුමකිත්ති හිමියන්ගේ හඬව පැමිණි පිරිස තුෂ්ණිම්බූත වී උඩ බිම බලන්නට වූහ.

නායක හිමියන් ද පදුමකිත්ති හිමියන් දෙස එක එල්ලේ බලා පුදුම වූහ.

පැමිණි පිරිස පසු බැස ගියේ එතැනින් පසු වචනයකුදු නොදොඩා ය. විහාරස්ථාන භූමියෙන් එළියට බසින තුරු ඔවුහු පසු පස හැරී බැලුවේවත්, අනෙකා සමඟ කතා කෙළේවත් නැත.

එදින වෙනදා මෙන් නොව වැහි අඳුරු දිනයක් මෙන් නිහඬවම ගෙවී යන්නට විය. කිසිවෙක් වැඩි කතාබහක් ද නොවීය.

පසු දින උදෑසන පදුමකිත්ති හිමියන් පිරිවෙනට වැඩම කරන විට නායක හිමියන් පෙනෙන්නට සිටියේ නැත. නා හිමියන්ගේ කුටියේ දොර වසා තිබුණු හෙයින් උන් වහන්සේ උදෑසනම කොහේ හෝ වඩින්නට ඇතැයි උන් වහන්සේ මෙන්ම අනෙක් සාමණේර හිමිවරුද සිතූහ.

(මතු සම්බන්ධයි)