Print this Article


අමා මහා නිවනට වැඩි මුත්තා මහ රහත් තෙරණිය

අමා මහා නිවනට වැඩි මුත්තා මහ රහත් තෙරණිය

මුත්තා මහ රහත් තෙරණිය අප ගෞතම බුදු සසුනේ සියලු කෙලෙස් නසා රහත්බවට පත් තවත් එක් තෙරණි නමක්.

ඇය සංසරේ මිනිස් ජීවිතයක් ලද සෑම ආත්මයක ම සුවසේ පින් දහම් කළා. කිසිදාක පිනට නිගා කළේ නැහැ. එකම පින නැවත නැවත කළා. පින ගැන වර්ණනා කළා. බොහෝ දෙනා පිනෙහි සමාදන් කළා. සෑම බුදු සසුනක දී ම වාගේ ඇය සසර දුකෙන් එතෙර වීමට ප්‍රාර්ථනා කරමින් දහමෙහි හැසිරුණා.

විපස්සී බුදු රජාණන් වහන්සේගේ බුදු සසුන බැබළෙන කාලයේ දී ඒ ගමේ ම එක නිවසක සුන්දර නුවණැති දියණියක් ව ඉපදුණා. ඇය ඒ ජීවිතයේ දී ද සසරේ පුරුද්දට මෙන් බොහෝ පින් දහම් කළා. දුකෙන් පිරුණ මේ සසරින් එතෙර වේවා!යි නිතරම ප්‍රාර්ථනා කළා.

එක් දිනක් විපස්සී ශාස්තෘන් වහන්සේ මාවතක වඩිනු දුටු ඒ දියණිය පහන් සිත උපදවාගෙන පසඟ පිහිටුවා වන්දනා කළා. පසුකලක මරණයට පත් ඇය, ඒ කරගත් පිනට දෙව්ලොව දෙවඟනක් ලෙස ඉපදුණා. එයින් චුතව නැවත නැවත දෙව්ලොව ඉපදීමට තරම් ඇයගේ ඒ චිත්තප්‍රසාදය බලවත් වුණා.

අපගේ ගෞතම බුුදුරජාණන් වහන්සේගේ බුදු සසුන ලොව බබළන කාලයේ ඇය දෙව්ලොවින් චුතව සැවැත්නුවර බමුණු කුලයට නෑකම් කියමින් ඉතාමත් පින්වන්ත දියණියක් ලෙස උපත ලැබුවා. ඇගේ නම මුත්තා යි.

තරුණ වයසේ දී මුත්තා ගිහි ගෙය ගැන කළකිරුණා. පැවිදි ජීවිතේ සුන්දරබව වැටහුණා. දිනක් ඇය මව්පියන්ට මෙහෙම කිව්වා.

”ගිහි ගෙදර වෙසෙන අප හරියට මොනරු වගේ කියලයි බුදුරජාණන් වහන්සේ උපමා කරලා තිබෙන්නේ. මොනරා ඉතා සුන්දරයි. විශාල පිල් කළඹක් තිබෙනවා. ඒ පිල් කළඹ ලස්සන වුණත් මහා බරක්. ඒ වගේ යි අපේ මේ ගිහි ජීවිතේ. බැඳීම් නිසා හරි බරයි. සැහැල්ලුවක්, සංසිඳීමක් ඇත්තේ ම නැති තරම්. ඇස, කන, නාසය, දිව, කය කෙතරම් පිනවුවත් ඇතිවීමක් නැහැ. සිත අප මුලා කරන්නේ වැද්දෙක් මහා වටුකුරුලු රංචුවක් ක්ෂණයකින් දැලට හසුකර ගන්නවා වගෙයි. නමුත් පැවිදි බව ඉතා සුන්දරයි. සහැල්ලුයි. සරලයි. වගකීම් නැති නිසා ඒ ජීවිතේ බරක් නැහැ. හරියට දිය මත පා වෙවී සිටින හංසයෝ වගේ. ඒ නිසා අම්මේ, තාත්තේ මට බුදු සසුනේ පැවිදිවීමට අවසර දෙන්න” කියා ඇය ඉල්ලා සිටියා.

මව්පියන් තම දියණියගේ මහා නුවණැති බව දැක “දියණිය, අපේ සතුටත් ඔබ සතුටින් සිටිනවා නම් පමණයි. ඔබ කැමැති දේ කරන්න” යි අවසර දුන්නා. ඇය මහා ප්‍රජාපති ගෝතමි මහ රහත් තෙරණිය වැඩ සිටි ආරාමයේ පැවිදි වූවා. තෙරණින් වහන්සේලාට උපස්ථාන කළා. උන්වහන්සේගෙන් කමටහන් ලබා ගත්තා. හුදකලාවේ භාවනාවේ යෙදුණා.

බුදුරජාණන් වහන්සේ දුටවා ඇගේ පින හොඳින් මෝරා ඇති බව. එතුමිය දැන් සිත එකඟ කරගෙනයි සිටින්නේ. භාග්‍යවතුන් වහන්සේ ජේතවානාරාමයේ වැඩ සිටිය දී ම එතුමිය සිටි ස්ථානයට ආලෝක ධාරාවක් විහිදුවා ඇයගේ ඉදිරියේ පෙනී සිටින්නා ලෙස සෘද්ධියක් පා ගාථාවක් වදාළ සේක.

”මුත්තාවෙනි, මඟ පිළිවෙළින් තිබේ. එනිසා කාමාදී යෝගයන්ගෙන් මිදෙන්න. එයින් මිඳුණ සිත් ඇත්තියක් වන්න. රාහු ග්‍රහයාගෙන් සඳ ගැලවී යන්නාක් මෙන් කෙලෙස්වලින් මිදෙන්න. මාරයාගෙන් ගැලවෙන්න. කෙලෙස් නමැති ණය දුරුකර ණයෙන් නිදහස් වී රට වැසියාගේ දානය වළඳන්න. යමෙක් කෙලෙස් දුරු නො කර සිව්පසය වළඳයි නම්, ඔහු ණයකාරයෙක් වෙනවා” යැයි අවවාද කළ සේක.

ඒ අවවාදය මත පිහිටා මුත්තා තෙරණිය නොබෝ කලෙකින් අරහත්භාවයට පත්වුණා.

දිනක් එතුමිය උදානයක් ලෙද මෙම ගාථාව වදාළා. මුදිතා ගුණයෙන් සමන්විත සත්ත්වයා සසර සයුුරෙන් එතෙර කරවන්නා වූ ලෝවැසියන්ට ශ්‍රේෂ්ඨයා වූ විපස්සි බුදුරජාණන් වහන්සේ වීදියේ වඩිනු දැක, මම ඒ මාවතට පැමිණ උන්වහන්සේ ඉදිරිපිට යටිකුරු ව වැතිරුණෙමි. අනුකම්පා සහගත වූ ලෝකනාථයන් වහන්සේ මාගේ කෙසඟ පාගමින් වැඩි සේක. එයින් මා තුළ හටගත් පැහැදීම චේතනාවෙන් මම දෙව්ලොව ඉපදුනෙමි. මේ ජීවිතයේ දී සියලු කෙලෙස් දවා බුදුරජාණන් වහන්සේගේ අවවාදය ඉටු කළෙමි”.

එතුමිය පිරිනිවන් පානතෙක් ම මෙම ගාථාව නැවත නැවත වදාළා.