Print this Article


ස්වර්ණහංස ජාතක කතාව: තණ්හාව නිසා සියල්ල නැති කරගත් බැමිණිය

ස්වර්ණහංස ජාතක කතාව:

තණ්හාව නිසා සියල්ල නැති කරගත් බැමිණිය

තුන්ලෝකාග්‍ර වූ අප අමාමෑණි තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයේ එක්තරා උපාසකයෙක් වත්තක ලූණු වගා කළා. එතුමා බොහෝම ශ්‍රද්ධා සම්පන්න කෙනෙක්.

ඒ නිසා බොහෝ භික්‍ෂූන් වහන්සේලාටත් ලූණු කඩා පූජා කළා. අවශ්‍ය අවශ්‍ය පරිදි ප්‍රමාණයන් නියම කොට උන්වහන්සේලාට ම කඩාගෙන යාමටත් අවස්ථාව ලබා දුන්නා. භික්‍ෂූණ් වහන්සේ පමණක් නොව භික්‍ෂූණින් වහන්සේලාටද ලූණු අවශ්‍ය ප්‍රමාණයන් කඩා දුන්නා. විටෙක උන් වහන්සේලාටම කඩා ගෙන යාමටත් ඉඩ දුන්නා.

මේ ආකාරයට කාලය ඉක්ම යද්දි දිනක් උත්සවයක් සඳහා බොහෝ දෙනා උපාසකයාගේ ගෙට පැමිණ ලූණු කඩාගෙන ගියා. එදා ම නන්දා නම් භික්‍ෂූණින් වහන්සේ නමක් උපාසකයාගේ ගෙදරට පැමිණියේ ලූණු රැගෙන යාමටයි. “ උපාසකයෙනි, මටත් ලූණු දෙන්න.” යැයි ලූණු ඉල්නවා. නමුත් ඒ වෙලාවේ උපාසකයා පැමිණි අනෙක් අයට ලූණූ ලබා දෙන අවස්ථාව වූ නිසා මෙහෙණියට ම කඩා ගන්න යැයි කිවුවා. “ පින්වත් මෙහෙණින් වහන්ස, මම මේ වෙලාවේ අන් අයට ලූණූ බෙදමින් සිටින්නේ. ඒ නිසා ඔබ වහන්සේ වත්තට ගොස් ලූණු තුනක් කඩා ගන්න. ”

යැයි කිවුවා. මෙහෙණින් වහ්නසේ තමන් වහන්සේ සමඟ පැමිණි අනික් මෙහෙණියත් කැටිව වත්තට ගොස් උපාසකයා නියම කළ ප්‍රමාණයටත් වඩා ලූණු කඩාගෙන ගියා. එය දුටු උයන්පල්ලා “ මම සිටිත්දිත් අකටයුතුකම් සිදු වන එක නොවටිනා දෙයක් ”යැයි සිතුවා. ඔහු කෑ ගහලා එම අකටයුත්ත ගැන උපාසකයාට කිවුවා. උපාසකයාගේ සිත කළකිරීමට පත් වුණා. ඒ ඇසු බොහෝ භික්‍ෂූණින් වහන්සේලාත් එම මෙහෙණියට දොස් නැඟුවා. භික්‍ෂූණ් වහන්සේලාත් එම පුවත අසා කනගාටු වුණා පමණක් නොව “ භික්‍ෂූණ් වහන්සේලා නම් දුන් දෙයක් හැර නුදුන් දෙයක් කිසි විටක නොගත යුතු බව කියමින් දොස් නැගුවා. බුදුරජාණන් වහන්සේ, “එසේ දැඩි තෘෂ්ණාවෙන් යුක්තව තමන්ට අයිති නොවන දේවල් ගැනීමෙන් සහ තමන්ට ලැබෙනවට වඩා නැතිනම් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලෝභ සිතින් උදුරා ගැනීමෙන් ද තමාට හිමිව තිබූ

වස්තුවත් විනාශ වී යනවා. ලැබෙන්න තිබෙන වස්තුවත් නැති වී යනවා. එනිසා ලැබුනු දෙයෙහි සතුට උපදවා ගතහැකි නම් බොහෝ දේ ඉදිරියට ලැබෙයි. එසේම දැනට ලැබී තිබෙන අත ඉතුරු වස්තුවත් ආරක්‍ෂා වෙනවා. නිතරම තමන් ලද දෙයින් සතුටු වන්න පුරුදු වන්න.” යැයි

කියමින් භික්‍ෂූණීන් වහන්සේට අවවාද කොට “ මහණෙනි , නන්දා මෙහෙණින් වහන්සේ පෙරත් බෝහෝ තෘෂ්ණා ඇත්තියෙකි.” යැයි වදාරා ආරාධිත වූ තථාගතයන් වහන්සේ ඒ අතීත කතාව දේශනා කළා.

පෙර දඹදිව බරණැස් නුවර බ්‍රහ්මදත ්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයේ අප මහා බෝධි සත්ත්වයෝ බමුණු කුලයක ඉපිද නන්දාය, තත්වනීය, සුන්දරීනන්දනී යයි දූවරු තුන් දෙනෙක් ලබා දැහැමෙන් සෙමෙන් බිරිඳ සමගින් ජීවත් වුණා.

දූවරුන් තුන් දෙනා අන්‍ය කුලයන් සඳහා විවාහ කර දීමටත් මත්තෙන් බෝධිසත්වයන් වහන්සේ හදිසියේ මිය ගියා. මරණින් මතු ස්වර්ණ හංසයෙකු ව ඉපදුණා. එම හංසයාට ජාතිස්මරණ ඥානය පහළ වුණා. අනතුරුව එම හංසයා තමන් හංසයෙකු ව ඉපදීමට පෙර භවය පිළිබඳව සිහිපත් කරන්නේ බමුණු කුලයක ඉපිද දූවරුන් තුන් දෙනා සමගින් ජීවත්ව සිටි අයුරු දැක්කා.

එහෙත් දැන් එම දරුවන ් ඇතුළු තම බිරිඳ අනුන්ට බැලමෙහෙකම් කොට ජීවත් වන බව දැක ශෝකි වෙලා සිතන්නේ “ රත්තරන්වල ින් මගේ පියාපත් සැදී ඇති නිසා ඒවා ඔප දමා ආභරණ සැකසීමට සුදුසු ලෙස පවතිනවා. එබැවින් දෙමසකට වරක් දූන් තුන්දෙනාත් බැමිණියත් ජීවත් කරවීම සඳහා රන ් පියාපතක් බැගින් ලබා දෙනවා.” යි සිතා දවසක් තමන්ගේ ගෙදරට පැමිණියා.

පැමිණ පළයක් මත වසා සිටියා. දූන ් තුන් දෙනා හංසයාව දැකලා අහනවා ‘ඔබ කවුරුන් ද?’ කියලා “ දරුවෙනි මා පෙර භවයේ ඔබලාට පියා වූ බ්‍රහ්මණයායි. මා මෙහි ආවේ ඔබලාටත් ඔබගේ

මෑණියන්ටත් සංග්‍රහ පිණිස යි. මේ මාගේ රන් පියාපත ගෙන විකුණා සැප සේ ජීවත් වන්න. ” යැයි කියමින් රන් පියාපතක් හෙළා නැවතත් හිමාලයට ඉගිළ ගියා. මේ අයුරින් දෙමසකට වරක් රන් පතක් ලැබුණා. ඔවුන් එය විකුණා සතුටින් ජීවත් වුණා.

ටික කලෙකට පසුව දිනක් බැමිණිය සිතන්නේ, “ තිරිසන් සතා නම් එක් හිතක් නැති කෙනෙකි. අනාගතයේ සිත වෙනස් වී රන් පත් දීම නතර කළොත් වන්නේ මහත් නපුරක්. ජීවත් වීමට වෙන මඟක් ඇත්තෙත් නැහැ. ඒ නිසා හංසයාගේ පියාපත් සියල්ල ලබා ගැනීම යහපත් ” යනුවෙන් අදහසක් පහළ කරගෙන දූන් කැඳවා මෙහෙම කිවුවා. “ඔබලාගේ පියාණන් අප නැවත රක්‍ෂා කරනවා. නමුත් තිරිසන් ආත්මයක නිසා සිත් වෙනස් වෙන්න පුළුවන්. දිනක මෙහි නොඑන්නට සිතුවොත් අපි මොක ද කරන්නේ.

එ නිසා මාගේ පි‍්‍රය දූවරුනි, අපි හංසයා මෙවර පැමිණි කල පියාපත් සියල්ල උදුරා ගනිමු.” “ මෑණීයනි අපගේ පියාණන්ගේ ශරීරයට එය මහත් වේදනාවක් වේවි. එබැවින් අපි කිසිවිටෙක එසේ නොකරමු.”

බැමිණිය කෙසේ කීවත් දරුවන් එම නොමනා කටයුත්තට කැමති කරවා ගත නොහැකි වුණා.

මේ අතර හංසයා නිවසට පැමිණියා. බැමිණිය උපන් දැඩි තෘෂ්ණාවෙන් පෙළෙන්නේ තම දූවරුන්ට නොහැකි නම් මම් ම විසින් පියාපත් උදුරා ගන්නවා යැයි සිතා. හංසයාට ආදරයෙන් කතා කළා. “ මා පිය ස්වාමි පුත්‍රය, මා කරා පැමිණෙන්න.” යැයි කීවා. බෝසතාණෝත් තම

පෙර බිරිඳ බැවින් ඇය සමීපයට ගියා. සැණින් හංසයා අල්ලා ගත් බැමිණිය වහා වහා රන් පියාපත් ගලවා ගත්තා. බෝධි සත්වයෝ ද එය මහත් වේදනාවෙන් නමුත් ඉවසා සිටියා. එහෙත් ගැලවූ රන් පියාපත් කාළවර්ණ වුණා. බෝධි සත්වයෝ යා නොහැකිව වේදනාවෙන් ගෙහිම සිටියා.

පසුව දෙවෙනිව ආ පියාපත් සුදු පාට බැවින් හංසයා අත හැරියා. බෝධි සත්වයෝ නැවත එම නිවසට නොඑන සිතින් නික්ම හිමාලයට ම ගියා.“ මහණෙනි තණ්හාව නම් අත ඇති ධනයත් ලැබෙන්නට ඇති ධනයත් විනාශ කරනවා නොවේ ද ? ලද දෙයින් සතුටුව දැහැමෙන් සෙමෙන් ජීවත්වීම මොන තරම් වටිනවා ද? ” යනුවෙන් අනුශාසනා කළා.

“එසමයෙහි තණ්හා අධික වූ බැමිණිය නම් මෙකල නන්දා භික්‍ෂූණින් වහන්සේයි. දරුවන් තුන් දෙනා මෙසමයෙහිත් දූවරුවන් තිදෙනාමයි. එකල ස්වර්ණ හංසව උපන්නේ ලොව්තුරා බුදු වූ මම් ම නොවේදැයි ” වදාරා ස්වර්ණහංස ජාතක කතාව නිමවා වදාළා.