Print this Article


දෙලොව සුවපත් කරන සීලය සහ සිහිය

දෙලොව සුවපත් කරන සීලය සහ සිහිය

කවුරුත් සංවරකම ඇති කර ගත යුතු යි. එය බුදුරජාණන් වහන්සේ ක්‍රම පහකට දේශනා කර වදාළ සේක. එය අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පංච සංවර විනය සූත්‍රයේ සඳහන් වෙනවා. ශීල සංවරය, සති සංවරය, ප්‍රඥා සංවරය හෙවත් ඥාන සංවරය, ඛන්ති සංවරය, වීර්යය සංවරය යනුවෙනි. මේ සංවරය කොයි කවුරු වුණත් දියුණු කළ යුතු යි. එය මෙලොව, පරලොව සංසාරෙට ම ප්‍රයෝජනවත්. කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරය, ආදී සංවර තුනක් තිබෙයි.

කයෙන්, ව චනයෙන්, සිතෙන් සිදුවන වැරැදිවලින් ඈත්වීම වශයෙනි. දස අකුසලයෙන් ඈත්ව දස කුසල් කිරීම සංවරකම යි. මෙහිදී බුදුන් වහන්සේ කරුණු පහක් ගෙනහැර දක්වා ඇත.

පළමුවැන්න ශීල සංවරය යි. ගිහි අයට ඇත්තේ පංචශීලය යි. පෝයට අටසිල් ගැනීම, සතුන් මැරීම, සොරකම, කාම මිත්‍යාචාරය, බොරුව, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම ආදී කරුණු රකින්නට අපහසු නැහැ.

සවස් කාලයේ බොහෝ සෙනඟ මත් වතුර හල් වල පිරී සිටිනවා. බලන්න, කෙතරම් අවාසනාවක් ද? බුදු දහම ඇති කාලයක අසිහියෙන් ඉඳ, අසිහියෙන් මිය පරලොව ගොස් නරකාදියට වැටෙයි. ඒ නිසා මත්ද්‍රව්‍ය භාවිතයෙන් විශේෂයෙන් ඈත් විය යුතු යි. කවුරු වුණත් තම පියාණන් මත්වතුර භාවිත කරනවාට කැමැති නැහැ. අසල්වාසී පිරිසත් එයට කැමැති වන්නේ නැහැ. මෙලෙස මත් වතුර භාවිත කරන්නන් බේබාද්දා යනුවෙන් හඳුන්වනවා. ඒ නිසා නුවණ මෙහෙයවා හොඳින් කා බී සිහි නුවණින් ජීවත්ව, සිහි නුවණින් අවසන් ගමන යා යුතු යි. එලෙස අපට ඉතිරි වන්නේ ජීවිතයේ කරන පින් දහම් පමණ යි. පන්සිල් කඩ කිරීමෙන් අවාසනාවන්ත ජීවිතයක් උදා වී මරණින් මතු සුගතියක් නොදැක නරකාදී දුකට පත් වෙයි. පන්සිල් රැකීමෙන් ඕනෑම සම්පතක් ලැබෙන බව ධර්මයේ පෙන්වා දෙනු ලබයි. එසේනම්, කවුරුත් නුවණ මෙහෙයවා පන්සිල් රැකගත යුතු යි. කාය, ව ාග් දෙකේ සංවරය පංචශීලය වෙයි. භික්ෂූන් වහන්සේලාට සාමණේර සහ උපසම්පදා ශීලය වෙයි. භික්ෂුණීන් වහන්සේලාට සාමණේර සහ උපසම්පදා ශීලය වෙයි. භික්ෂුණීන් වහන්සේලාට භික්ෂුණී සීලය වෙයි.

එසේනම්, ශීලය පිළිබඳ මනා වැටහීමකින් සිත, කය, වචනය සංවර කරගෙන කටයුතු කරන්න. සමාජයට හොඳ නම තබාගන්න කවුරුත් උත්සාහ කරන්න. පන්සිල් කඩ කරන්නන්ගේ ජීවිතයට ලොකු කැළලක්. ඔවුන්ට බේබද්දා, කුඩු කාරයා, ආදී කැත නාමයන් පට බඳිනවා. ඒ නිසා තමනුත්, ද රුවනුත් හොඳින් හදාගෙන බුදුන් වහන්සේ පෙන්වා දෙන නිවැරැදි මඟ යන්න

දෙවැන්න සති සංවරය යි. එනම් සිහි කල්පනාව යි. බණ ඇසීම, දෙයක් සටහන් කිරීම, ගමන් බිමන් යාම, අධ්‍යාපනය හොඳින් හැදෑරීමට , රැකියාව කිරීම ආදිය සිහි කල්පනාවෙන් කළ යුතු යි. එහෙමනම් බාහිර සහ ආධ්‍යාත්මික අංශයට සිහි කල්පනාව ප්‍රධාන වෙයි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ආදී උත්තරීතර ධර්මයන් ලබන්නේ ද සිහි කල්පනාව මුල් කරගෙන යි. එසේනම්, බුදු දහමේ හැටියට සිහි කල්පනාවට ප්‍රධාන තැනක් ලැබෙයි. එසේනම් ශීල සංවරය සේ සති සංවරයත් හොඳින් දියුණු කර ගන්න. ශීලය සහ සිහිය මෙලොව මෙන් ම පරලෙව ගමන ද සුවපත් කරයි.

තෙවැන්න ඥාන සංවරය යි. එනම්, නුවණ යි. එසේනම්, කවුරු වුණත් සිහි නුවණින් වැඩ කටයුතු කළ යුතු යි. රැකියාවට, අධ්‍යාපනයට, ගෙදර දොර දෛනික වැඩකටයුතු ආදියට නුවණ ප්‍රධාන වෙයි. නුවණ නොමැති නම් ව්‍යංජනයකට ලුණු නැහැ වාගේ. රැසවත් බව නැහැ. ඒ නිසා කවුරුත් සියලුම දේ නුවණින් පිරික්සා බලා කළ යුතු යි. බුදු දහමේ ප්‍රඥාවට සුවිශේෂී තැනක් ලැබෙනවා. සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර වූවා. පන්සිල්, අටසිල් රකින විටත්, දන් හැන්දක් බෙදුවත් සිහි නුවණ තිබිය යුතු යි. ධර්ම දේශනා, දානමය පින්කම් ලෝකයට පෙනෙන්න නොකළ යුතු යි. ඒ නිසා නුවණට තැනක් දී කටයුතු කරන්න මහන්සි ගන්න. බුදු ගුණ භාවනාවෙන් හොඳින් නුවණ ලැබෙයි. සියලු සංස්ඛාරයෝ අනිත්‍යය යි, දුක්ඛ යි යනුවෙන් මෙනෙහි කරද්දී හොඳින් නුවණ ලැබෙයි. හොඳම නුවණ ඇත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට යි.

සිව්වන සංවරය ඉවසීම යි. එනම් ඛන්ති සංවරය යි. ගේ දොර වාසය කරන මව් පියන්, දරුවන් ඉවසීම හොඳින් දියුණු කිරීම හරිම වැදගත්. වාද භේද, අසමඟිකම් ඉවතලා වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන්.

පස්වැන්න විරිය සංවරය යි. එනම්, උත්සාහය යි. කම්මැළිකම දුරලා බලවත් උත්සාහයකින් යුක්තව කටයුතු කළ යුතු යි. උත්සාහය නැතිනම් කරන කියන වැඩ කටයුතුවල සාර්ථකත්වයක් නැහැ. උත්සාහය නැතිනම්, ශීලය, සිහි නුවණ, හොඳින් පිහිටුවාගන්නට බැහැ. උත්සාහය නැති පුද්ගලයා ‘ මඩේ සිටවපු ඉන්නක්’ වැනි යි. උත්සාහයට බුදු දහමේ විශේෂිත නාමයන් රාශියක් ඇත. උත්සාහවන්තයා ඉදිරියටම ගමන් කරනවා.

කාය සංවරය, වචී සංවරය, ම නෝ සංවරය හොඳින් දියුණු කළ විට ශීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, ක්ෂාන්ති සංවරය, විරිය සංවරය ලබෙනවා. මේ ගැන හොඳින් ඉගෙන ජීවිතයත් දහමට සම්බන්ධ කර සම්මා දිට්ඨියේ පිහිටා ගෙන කටයුතු කර, සතර අපා දුකෙහි බියකරු බව වටහාගෙන සුගතියේ ඇති වැදගත්කම, නිවනේ ඇති අති වැදගත්කම කල්පනාවෙන් උත්සාහයෙන් කවුරුත් වැඩකටයුතු කළ යුතු යි.