ඊර්ෂ්‍යා කළොත්
ඇති දේත් නැති වෙයි
පන්සිය පනස් ජාතක පොතේ ඇතුළත් 'දුම්මේධ ජාතක කතාව' ඇසුරිනි
අනුරාධපුර කුට්ටම්පොකුණ විහාරාධිකාරී
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
කිවුලතලාවේ
සමිත හිමි
“ඊර්ෂ්‍යාව බොහෝ අපරාධයන්ගේ මූල බීජය වේ. එයින් තමාට ඇති ධන සම්පත් පවා නැති වී
යන්නේ ය.”
එදා මෙන් ම වර්තමානයේත් මිනිස් සමාජය බෙහෙවින් ම පාප සිතිවිලි වලින් පිරී පවතිනවා.
ආත්මාර්ථකාමි මිනිස් සමාජයක ඉපිද ආගමක් දහමක් නැති අමුතුම සත්ව කොට්ඨාසයක් වෙලා
ජීවත් වන එකම පිරිස මේ මිනස් සමාජය වෙන්නට ඇති කියලා වෙලාවකට සිතෙනවා. ඒ තරමට ම
ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් හිත් දූෂ්‍ය වෙලා. කෙනෙකුගේ දියුණුවීම, රූප ශ්‍රිය, බලය,
සමාජ තත්වය දැකලා සතුටු නොවී ඉවසා ගත නොහැකි, දරා ගත නොහැකි පිරිසක් අප අතරේ
සිටිනවා. ඔවුන් කෙසේ හෝ මාන බලන්නේ අනෙකාව පීඩාවට පත් කොට තමන් නැඟී සිටීමට පමණයි.
එවැනි මිනිසුන් අද පමණක් නොව එදත් මේ සමාජයේ ජීවත් වුණා. භවත් ගෞතම බුදු රජාණන්
වහන්සේ වැඩ සිටි සමයේ ද එවැනි ලාමක වූ කෙලෙස් ධර්මයක් වන ඊර්ෂ්‍යාවෙන් පීඩිත ව බුදු
රජාණන් වහන්සේට පවා හිරි හැර කරන්නට යෙදුණු දේවදත්ත හාමුදුරුවෝ වගේ අයත් සිටියා.
දවසක් බුදු රජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩම කරන අවස්ථාවක වැඩිමහලු භික්‍ෂූණ්
වහන්සේලා දේවදත්ත හාමුදුරුවන්ගේ එවැනි පාප කර්මයක් ගැන කතා බහ කරමින් සිටයා.
බුදු රජාණන් වහන්සේ “ මහණෙනි මා එන්නට පෙර ඔබ කුමන කරුණක් ගැන කතා කරමින් සිටියා ද?
” යි විමසුවා
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප මහණකමට නුසුදුසු කතාවක් නම් කළේ නැහැ. දේවදත්ත
ස්ථවිරයන් වහන්සේ ඔබ වහන්සේගේ දෙතිස්මහා පුරිෂ ලක්ෂණ, අසූ අනුව්‍යංජන භ්‍යාමප්‍රභා
ආදි වූ රූප ශ්‍රී දැකත් මෛත්‍රියෙන් තොරව ඊර්ෂ්‍යාව උපදවා තමාටත් එවැනි රූපයක්
නැතැයි සිතා තථාගතයන් වහන්සේ නසන්නට සැරසෙනවා.
ඒ ගැනයි අප මේ කතා කරමින් උන්නේ ” කියලා, රැස්ව සිටි භික්‍ෂූණ් වහන්සේලා පිළිතුරු
දුන්නා.
“ මහණෙනි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ දැන් පමණක් නොව පෙර සසරේ අප එකට ඉපිද හමු වුණ
ආත්ම භාවයන්වලදිත් මේ විදියටම මා කෙරෙහි ඊර්ෂ්‍යවෙන් කටයුතු කොට මා නසන්නට සැරසුණා.
කියලා තථාගතයන් වහන්සේ මතක් කළා.
එවිට භික්‍ෂූණ්ගෙන් එම දේශනාවට ආරාධනා ලැබුණු බුදු පියාණන් වහන්සේ අතීතයේ දී
දේවදත්ත හාමුදුරුවෝ ඊර්ෂ්‍යාවෙන් තමන් නසන්නට සැරසුණු කතා පුවත ගෙනහැර වදාළා.
යටගිය දවස මගධ රටේ රජගහ නුවර මගධ නම් රජ කෙනෙකුන් රාජ්‍ය විචාරණ සමයේ අප මහා
බෝසතාණන් වහන්සේ ඇත් කුලයක ඉපිද ශරීර වර්ණයෙන් ස්වේත වර්ණ වී විසිතුරු වූ රූප
ශ්‍රීයෙන් අලංකාර ව එම මගධ රජ්ජුරුවන්ට වාහනය වී සිටිනා සේක. එක දවසක් මගධ
රජ්ජුරුවෝ සර්වාලංකාරයෙන් සරසන ලද මංගල හස්ති රාජයාගේ පිටට නැඟ ආඩම්බරයෙන් මහත් වූ
සෙනඟ පිරිවරාගෙන පෙරහරින් වීදි සංචාරය සඳහා පිටත් වුණා. ඒ යන අතරවාරයේ මඟ දෙපස
සිටින රට වැසියන් මංගල හස්තියා දැක සතුටු සිතින් ” මෙවැනි ආරෝහ පරිනාහ රූපශ්‍රියක්
ඇති ඇත් රජෙකු චක්‍රවර්ති රජ කෙනෙකුන්ටම මිස මෙවැනි රජ කෙනෙකුට සුදුසු නොවන්නේ
යැයි” ඇත් රජුම වර්ණනා කළා. එම වර්ණනාවන් රජතුමාට ද ඇසුණා. රජතුමා සිතන්නේ “ රට
වැසියන් මා වර්ණනා කළේ නැහැ. තරිසන් සතෙකු වූ ඇතු වර්ණනා කළා. මේ ඇත් රජු නැසිය
යුතු” යැයි සිත සිතා මහත් ඊර්ෂ්‍යාවක් සමඟ ද්වේෂයක් ඇත් රජු කෙරෙහි ඇති කරගෙන තමයි
එදා රජතුමා ගමන නිමා කළේ. ඊර්ෂ්‍යාවෙන් පීඩිත වූ සිත ද්වේෂයෙන් ගිනිගෙන දැවෙද්දි ම
පෙරළා රජ ගෙට පමිණි රජතුමා ඇත් ගොවුවා කැඳවා ඇතු නසන්නට කතිකා කරගත්තා. ඒ අනුව ඇත්
ගොවුවා විසින් ම ඇතු නහවා නැසීමට අණ දුන්නා. එයට එකඟ නොවුණු ඒ පින්වත් ඇත් ගොව්වා
ඇතු නැසීමට අකමැති බව සඟවා රජතුමාට මෙහෙම කව්වා “ රජතුමනි, රජගහ නුවර පිහිටි
වේපුල්ල පර්වතයට ඇතු නැංවිය යුතුයි.
එහි දී ඇතු නසන්නෙමි.” ඉන් පසුව ඇතු නහවා සරසාගෙන පර්වත මුදුනට නැංගා. රජතුමාත්
අමාත්‍ය මණ්ඩලය පිරිවරාගෙන පර්වත මුදුනට නැංග ඇතු ප්‍රපාතය ආසන්නයේ තුන් පයින්
සිටුවන්න යැයි ඇත් ගොව්වට කිව්වා. එයින් ඇතා ප්‍රපාතයෙන් පහළට වැටෙතැයි රජතුමා
සිතුවා. එහෙත් ඇතා වැටුණේ නැහැ. පසුව ඉදිරිපස අත් ඔසවා පසුපස පා දෙකෙන් සිටුව වයි
අණ දුන්නා. එයින් ද ඇතු වැටුණේ නැහැ. තවත් කේන්ති ගත් රජතුමා ඇතාව තනි කකුලෙන්
සිටුව වයි කීවා. එසේ කළත් ඇතා නොවැටෙන නියාව දැක ඇතාගේ සතර පයම ඔසවා ප්‍රපාතය දෙසට
මෙහෙය වන්න යැයි ඇත් ගොව්වාට අණ කළා.
එවිට ඇත් ගොවුවා සිතන්නේ “දැන් රජ්ජුරුවන් වහන්සේ ඇතා නැසීමේ ප්‍රයෝගයක් කළා.
මෙයින් ඇතු ගලවා ගතයුතුයි” සිතා ඇත් ගොව්වා ඇතාගේ කන්තල ළඟට කිට්ටු වී රහසින් ඇතුට
මෙහෙම කිව්වා. “ ඇත් රජුනි, අප මහ රජතුමන් ඔබ නසන්නට උත්සහ කරනවා. එනිසා ඔබට
හැකිනම් මෙතනින් අහසට පැන නැඟී බරණැස් නුවරට පළා යන්න.” ඒ ක්‍ෂණයෙන් ම පෙර කරන ලද
පින් බලයෙන් සෘද්ධි බලය පහළවී පුළුන් රොදක් අහසට පාවී යන්නාක් මෙන් ඇතා අකාශයට පැන
නැංඟා. එවිට ඇත් ගොව්වා ද ඇතු පිටට නැඟ මගධ රජු දෙසට හැරී “ රජතුමනි, ඔබ වැනි පින්
මද රජෙකුට පහළවන ඇතකු නොවෙයි මේ. මෙවන් හස්ති රාජයෙකුගෙන් නුඹට කුමන ප්‍රයෝජනයක් ද?
නුඹ වැනි නිවට රජෙකුට මංගල වාහනයට සුදුසු නොවෙයි.” කියා බරණැස් නුවරට ගොස්
රජ්ජුරුවන්ගේ අංඟන සමීපයෙහි අහසෙහි සිටියා. ඒ ආශ්චර්යය දුටු රට වැසියන් මහත්
සන්තෝෂයට පැමිණ බරණැස් රජුට දැන්වූවා. රජතුමා වහ වහා එතැනට පැමිණ “ මා නිසා මගේ
සේවයට පැමිණි ඇතෙක් වී නම් බිමට බසීවා” යි. ආරාධනා කළා. එවිට ඇතු බිමට බැස්සා.
ඒ වෙලාවේ ඇත් ගොව්වා ඇතු පිටින් බැස රජුට වැන්දා. “ දරුව, මෙවන් මහානුභාව සම්පන්න
ස්වේත වර්ණ හස්තියෙකු අරගෙන කුමට ආවේද ? ” යි බරණැස් රජතුමා ඇසුවා.
එවිට ඇත් ගොව්වා මගධ රටේ දී වුණ සියලු පුවත් පවසා සිටියා. “දරුව, නුඹ කළ දේ යහපත්
ක්‍රියාවක්. මේ හස්ති රාජයාත්, ඔබවත් බරණැස් රාජ්‍යට පිළිගන්නවා.” යැයි කියා නුවර
අලංකරණය කළා. ඇත් ගොව්වා ලවා ඇතු නහවා කවා පොවා සර්වාලංකාරයෙන් සරසා මහත් හරසර ඇතිව
පෙරහරින් මංගල හස්ති වාහනයට පමුණුවා තනතුරු ද පදානය කළා. පසුව බරණැස් රාජ්‍ය තුන්
කොටසකට බෙදලා හස්තියාට එක කොටසකුත් තව කොටසක් ඇත් ගොව්වාටත් දුන්නා. ඉතිරි කොටස
බරණැස් රජු ගෙන දැහැමෙන් සෙමෙන් රාජ්‍ය පාලනය කොට තිදෙනාම කර්ම ආයුෂ විඳ පරලොව
ගියා.
“එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් සාරිපුත්‍ර ස්ථවිරයෝ යි. ඇත් ගොව්වා නම් ආනන්ද
ස්ථවිරයෝ යි. ඊර්ෂ්‍යාවෙන් ද්වේෂයෙන් පිඩිත ව මහත් අපරාධයක් කරන්නට සැරසුණු මගධ රජු
මෙකල දේවදත්ත ස්ථවිරයන් වෙයි. එසමයෙහි ස්වේත වර්ණ ඇත් රජුව උපන්නේ බුදු වූ මම් ම
වේ” දැයි වදාරා බුදු රජාණන් වහන්සේ ඒ අතීත ජාතක කතා දේශනාව නිමවා වදාළා. |