Print this Article


මේ වස්සාන කාලයයි

මේ වස්සාන කාලයයි

තථාගත බුදු සසුනෙහි වැදගත්කමින් යුතු උතුම් පොහෝ දිනයක් වශයෙන් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකි ය. භික්ෂූ, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසට ම උදාර පෞරාණික බුද්ධ නියමයන් ඉටු කරන පෙහෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක පෝය දිනය සලකනු ලැබේ.

බුද්ධ ශාසනය ආරක්ෂා වීමටත්, ගුණධර්ම වර්ධනයටත් භික්ෂූන් වහන්සේ මෙන් ම ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය. ඒ වගේ ම මේ දෙපාර්ශවය තුළින් ඉටුවිය යුතු යුතුකම් නියම අවස්ථාවල නිසි ලෙස ඉටු විය යුතු ය. ඒ වගේ ම නිකිණි පුන් පොහෝ දිනය භික්ෂූන් වහන්සේ හා ගිහියා අතර අන්‍යෙන්‍ය සම්බන්ධතාවක් ඇතිවන ගිහි පැවිදි දෙපාර්ශවය තුළින් යුතුකම් ඉටුවන දිනයක් ලෙසින් ද සඳහන් කළ හැකි ය .

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය ඓතිහාසික වශයෙන් බොහෝ සෙයින් වැදගත් ය. ඒ නිකිණි මාසයේ සිදු වූ වැදගත් සිදුවීම් අතර ප්‍රධාන වන්නේ බුදුරජාණන් වහන්සේ වස් විසීමට අනු දැන වැදැරීම ය.

බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පැමිණ අවුරුදු විස්සක් තුළ එනම්, පඨම සම්බෝධිය කාලය තුළ කිසිදු විනය නීතියක් පනවා තිබුණේ නැහැ. ශාසනයෙහි ආරක්ෂාව උදෙසාත්, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසකගේ ම ශාසනික ඇවතුම්, පැවතුම් හි මාර්ගය සැකසීම උදෙසාත්, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් මඟ උදෙසාත් උපකාර වන ආකාරයෙන් විනය ශික්ෂා පද පැනවීම සිදුවන්නේ ඉන් අනතුරුවයි.

“පඨම සම්බෝධිය කාලය තුළ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූයේ “ඕවාදපාතිමෝක්ෂ” දේශනාවයි. “ඕවාදප්‍රාතිමෝක්ෂ” නම් උතුම් ශ්‍රී සද් ධර්මය නැවත නැවත මෙනෙහි කරවමින්, ඒ උතුම් ධර්ම මාර්ගයේ හැසිරෙන ලෙස භික්ෂු, භික්ෂුණීන්, උපාසක, උපාසිකා නම් සිව් පිරිසට ම මඟ පෙන්වා දෙනු ලැබූ දේශනාවයි. පඨම සම්බෝධියෙන් අනතුරුව සිදුවන විනය ශික්ෂා මාර්ග පිළිවෙළහි තවත් එක් අවස්ථාවකි, වස්සූපනායික ධර්ම මාර්ගය. එනම් වස් විසීමේ ශික්ෂා පද පැනවීමයි.

මහා වග්ග පාලියෙහි දැක්වෙන ආකාරයෙන් ප්‍රථම බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට වස් විසීමේ ප්‍රඥප්තියක් නො පනවන ලදී. එහෙයින් භික්ෂූහු ඉන් අව පෑළවිය සිට මැදින් පුර පසළොස්වක දක්වා වූ මාස හතරක් පමණ දිනැති හේමන්ත කාලයෙහි දී ත් , මැදින් දින අව පෑළවිය සිට ඇසළ පුර පසළොස්වක දක්වා වූ මාස හතරක් පමණ දිනැති ග්‍රීෂ්ම කාලයෙහිදීත්, ඇසළ අව පෑළවිය සිට ඉල් පුර පසළොස්වක කාලය අතර මාස හතරක් පමණ වර්ෂා කාලයේ දී ත්, එනම් හේමන්ත, ගිම්හාන, වස්සාන සෘතු තුනෙහි ම සැරිසරා ධර්ම මාර්ගය කියා දී පිණ්ඩපාත චාරිකාවෙහි භික්ෂූන් වහන්සේලා හැසිරෙති.

මෙම සිදුවීම සිදු වූයේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ විසූ සමයේ ය. භික්ෂූන් වහන්සේලාගේ මෙම චාරිත්‍ර ධර්ම උල්ලංඝණය කරමින් සිදු කරනු ලබන චාරිකා දුටු බොහෝ මනුෂ්‍යයෝ මෙසේ ප්‍රශ්න නඟන්නට විය. කුමන කරුණක් හෙයින් ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයන් වහන්සේලා පණ ඇති තෘණ පැළෑටි තලමින්, පොඩි කරමින්, පාගමින්, නොයෙක් ආකාරයේ ක්ෂුද්‍ර ප්‍රාණීන් තළමින්, ඔවුන් මත පා තබමින් ගමින් ගමට ගමන් කරන්නාහු ද? තීර්ථක, නිඝණ්ඨ, ජෛන, ආජීවක, පරිබ්‍රාජික තාපස ආදී විවිධ අන්‍ය ශාසනවල වෙසෙන්නා වූ තවුසන් පවා මේ වැසි සමය මාස හතරක කාලය ගත කිරීමට විවේකස්ථාන සොයා එහි වෙසෙති.

කුමක් හේතුවෙන් මේ ශාසනයේ භික්ෂූහු පමණක් එසේ අනුගමනය නොකරන්නේ ද? පක්ෂීහු පවා මේ වැසි කාලයෙහි ගස් මුදුන්වල කැදලි බැඳගෙන එක් තැන්ව වසනවා. කුමක් හේතුවෙන් මේ භික්ෂුහු එසේ නො වෙසෙත් දැයි මහත් උද්ඝෝෂණයක් සිදු කළා. මේ ආකාරයෙන් නින්දා කරන, අවමන් කරන, දොස් කියන මනුෂ්‍යයන්ගේ බස් ඇසූ ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයන් වහන්සේලා මෙම කාරණය බුදුරජාණන් වහන්සේ හමුව දන්වා සිටි සේක.

මේ නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේට “අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තං” යනුවෙන් “මහණෙනි, මම වස්සාන සෘතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි’යි භිකෂූ න් ඇමතූ සේක.

එනම්, වස් විසීමට භික්ෂූන් වහ්නසේලාට නියම කළාහ. මෙහි සරල අදහස වන්නේ, මහණෙනි, වස්සාන කාලයෙහි වස් එළැඹීමට අවසර දෙමි. තථාගත බුදුරජාණන් වහන්සේ ඒ සමාජ මතයට ජන මතයට ගරු කරමින්, එදිනෙදා පැවැති ඒ සිරිත් විරිත්වලට ගරු කරමින් භික්ෂූන් වහන්සේලාටත් මේ වස් තුන් මාසයක කාලය තුළ එක් තැනෙක වැඩ වාසය කරන ලෙස විනය ප්‍රඥප්තිය පැනවූහ. මහණෙනි, පෙර වස් එළඹීම ය, පසු වස් එළඹීම ය යැයි වස් එළඹීම් දෙකකි. ඇසළ අව පෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. නිකිණි අව පෑළවිය දිනයෙහි පසු වස් එළඹිය යුතු ය.

වස් විසීමේ චාරිත්‍රය සේ ම, එය විනය ප්‍රඥප්තයක් හැටියට සැලකිය හැකියි. චාරිත්‍රයක්, විනය ප්‍රඥප්තියක් යන මේ දෙකට ම අමතර ව වඩාත් ම වැදගත් කරුණ වන්නේ, මේ කාලය භික්ෂූන් වහන්සේලා විසින් නිවන් මඟ අරමුණු කර මාර්ගඵල අවබෝධය ලබා ගැනීම උදෙසා සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන කාලයක් හැටියට දැක්වීමයි.

මෙම ධර්ම කතාවට අනුව පිණ්ඩපාතයේ හැසිරීමත් භාවනායෝගී භික්ෂුවකට හෝ භික්ෂුණියකට බාධකයක් විය හැකියි. මෙම කාලය තුළ එක් තැනක වැඩ සිටීමෙන් සැදැහැති ගිහි පිරිස් විසින් දානය ආරාමයට හෝ විහාරයට හෝ කුටියට ම රැගෙනවිත් පිළිගැන්වීම නිසා උන්වහන්සේලාට පිණ්ඩපාතයේ හැසිරීමට තිබූ කාලය ඉතිරි කරගත හැකියි. එම කාලය චිත්ත සමාධිය පිණිස, ඵල ප්‍රඥාව, විමුක්තිය පිණිස යොදාගත හැකියි. බොහෝ භික්ෂූන් වහන්සේලා එය එසේ ම සිදු කළහ. ඒ නිසා මාර්ගඵල අවබෝධය ලැබීමට උපකාරවන වටිනා ම කාලයක් හැටියට මෙම වස් කාලය සඳහන් කළ හැකියි.