Print this Article


සතියට මුල් තැන දෙන වස්සානය

සතියට මුල් තැන දෙන වස්සානය

මෙලොව ජීවත් වන අප හැම දෙනාට ම කාලය තරම් තවත් වටිනා යමක් නැහැ කියන මේ කථාව පරම සත්‍යයක්. ඇයි එහෙම වන්නේ. ගෙවීයන කාලය කවදාවත් නැවත ආපහු මේ භවය තුළ අප කිසිවෙකුට අත් විඳීන්නට හැකියාවක් නැහැ.මේ නිසා අප අතර තිබෙන වැදගත් ආප්තෝපදේශයක් ලෙස කාලය රන් හා සමානයි කියන මේ කියමන ව්‍යවහාර වෙනවා.

හැබැහින් ම රන්වලට මිලක් නියම කරන්නට පුළුවන් වුවත් කාලයේ අගය කවරමදාකවත් මිලෙන් නියම කරන්නට බැහැ. එනිසා කාලය රන්වලට සමාන කිරීමත් වැරදි යි. කාලය පිළිබඳ මේ අසාමාන්‍ය වටිනාකම තේරුම් ගත්තේත්, පැහැදිලිව අපට තේරුම් කළෙත්, අපේ බුදුරජාණන් වහන්සේ යි. ඒ නිසා ම බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේගේ දවසේ පැය විසි හතර කොටස් පහකට බෙදා වෙන්කරලා එම කාලයෙන් උන්වහන්සේ උපරිම ප්‍රයෝජන ගනිමින් දුකින් පෙළෙන සත්වයා දුකින් මුදවා ගත්තා.

මේ නිසා ම උන්වහන්සේ අපට වදාළා ”අජ්ජේව කිච්චං ආතප්පං කො ජඤ්ඤා මරණං සුවේ ” යනුවෙන්. එයින් උන්වහන්සේ අපට අනුශාසනා කළේ අද කළ යුතු දේ අද ම කරන්න. හෙටට කල් දමන්න එපා. කවුද දන්නේ අපි හෙට වෙනතුරු ජීවත් වෙයි ද කියා. මේ තමා උන්වහන්සේ එයින් අදහස් කළ අර්ථය.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් පසු ඇති කළ ප්‍රථම රහත් හැට නම අමතා ප්‍රකාශ කළේ ”චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහු ජන සුඛාය, අත්ථාය, හිතාය සදෙව මුනස්සානං, මා එකෙන ද්වෙ අගමිත්ථ.” මෙයින් උන්වහන්සේ අදහස් කළේ මිනිසත් බවක් ලබා ඇති අප විසින් කළයුතු මෙහෙවරේ තරම යි.

භික්ෂුවක් වශයෙන් අනුන්ගෙන් යැපෙන තත්වයක් මත එම මෙහෙවර වඩාත් වේගවත් විය යුතු නිසා උන්වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි, බොහෝ දෙවි මිනිසුන්ගේ යහපත පිණිස චාරිකාවේ යෙදෙන්න. එක් මගකින් දෙදෙනෙක් ගමන් කරන්න එපා. මාර්ග දෙකක් තෝරා ඒ මාර්ග දෙකේ අවට ජීවත් වන ප්‍රජාව සුඛිත කරන්න. දෙන්නෙක් එක පාරකින් වැඩියොත් ධර්ම ප්‍රචාරණ වේගය බාල වෙනවා. ප්‍රමාද වෙනවා කියලා. මෙහෙම අනුශාසනා කළ උන්වහන්සේ ද පාගමනින් තනියම චාරිකාවේ යෙදී බොහෝ මිනිසුනට මෙලොව පරලොව සුගතිය පිණිස අනුශාසනා කළා.

ඒ සත්වයා සුවපත් කරන්නට. කාලය වේගයෙන් ගෙවී යන නිසා ම යි. අප ජීවත් වන මේ කෙටි කාලය තුළ අපේ මෙහෙවර දිගු වගේ ම පුළුල් විය යුතු නිස යි. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ මෙසේ පොදුජන මෙහෙවර මේ ආකාරයෙන් ඉක්මන් කරද්දී ගෙවී යන කාලය අපතේ නොයවා පරාර්ථය පමණක් ම නොව ස්වාර්ථය සකස් කර ගතයුතු ආකාරය ද අනුදැන වදාළා.

එහි දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් කාලසටහන සමස්ත වර්ෂයට ම අදාළ කර දැක් වූවා. ඒ අනුව බලනවිට අවුරුද්දට ඇති මාස දොළහෙන් මාස නවයක් ම එනම් හතරෙන් තුනක් ම පොදු ජන මෙහෙවර පිණිස වෙන් කළ උන්වහන්සේ මාස තුනක් හෙවත් ඉතිරි කොටස වෙන් කළේ ඒ පොදු ජන මෙහෙවරෙහි යෙදෙන භික්ෂූන් වහන්සේගේ සුගතිය පිණිස යි. එහි දී උන්වහන්සේ සතියෙන් යුක්ත ව කල් ගත කරමින් බණ භාවනාවන්හි නියුතු වෙන්නට අවශ්‍ය කරනවා.

වස් කාලය කියන්නේ දඹදිව මධ්‍ය ප්‍රදේශයේ දේශගුණික තත්වය අනුව වැහි කාලය යි. මේ වැහි කාලය කුසීතව, මැලි කමින් අපතේ නො හැර උපරිම ඵල නෙලා ගතයුතු වෙනවා. ඉතින් මේ කාලය තුළ උපසම්පන්න භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයෙන් වැළකී සිටින්නේ එදා දඹදිව අන්‍යාගමිකයන් වෙතින් නැගුණු චෝදනාව නිස යි. මොකක් ද? මේ චෝදනාව.

ශ්‍රමණභවත් ගෞතම ශ්‍රාවකයෝ වැහි කාලයේ පවා ළාදලු සහිත තණකොළ පවා මඩිමින්, පොළොවෙන් නැගෙන කුඩා ප්‍රාණීන් පවා ඝාතනය වන හිංසා වන ලෙස ජනපද චාරිකාවේ යෙදෙමින් ආහාරය යදිනවා වැනි දෝෂාරොපණයන්. ඉතින් මෙයට සවන් දුන් බුදුරජාණන් වහන්සේ චාරිකාවෙන් වැළකෙන මේ කාලය අපතේ නො යවා දායක පිරිස් විසින් හදා දෙන ආවාසයක් වාසස්ථාන කොට ඔවුන් විසින් පිරිනමන සිවුපසයෙන් යැපෙමින් හෝ තමන් වහන්සේලාගේ විමුක්තිය පිණිස සතියෙන් කාලය ගෙවීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා.

මේ අනුදැන වදාළ ප්‍රඥප්තීන් අනුව එදා බුදුරජාණන් වහන්සේ දවසත් ඒ වගේ ම ලංකාවේ අනුරාධපුර සමයෙහි වැඩ වාසය කළ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා මෙන් ම ගිහි සැදැහැති පිරිස් සමහර විට දිවි පරදුවට තබා හෝ සතියෙන් යුක්තව කල් යවා වස් තුන් මාසය තුළ ම අවශ්‍ය පිළිවෙන් පුරා බවුන් වඩා මාර්ගඵලවලට පැමිණි බවට කොතෙකුත් නිදසුන් කථා පුවත් අපේ පාලි පෙළ පොත්වල මෙන් ම අට්ඨකථා සාහිත්‍යයෙහි සඳහන් වෙනවා.

බෞද්ධ ඉගැන්වීමට අනුව වර්ෂයේ මාස දොළහ සෘතු තුනකට බෙදෙනවා. හේමන්ත, ගිම්හාන හා වස්සාන වශයෙන් ඒ කාල පරිච්ඡේද තුන හැඳීන්වෙනවා. සිංහල බෞද්ධ මාස චක්‍රය අනුව ඉල් මාසයේ(නොවැම්බර්) අව පෑලවිය සිට මැදින් මාසයේ (මාර්තු)යෙදෙන පුර පසළොස්වක පොහෝ දින දක්වා වන මාස හතර හේමන්ත සෘතුව යි. ගිම්හාන සෘතුවට අයත් වන්නේ මැදින් මාසයේ(මාර්තු) අවපෑලවිය දින සිට ඇසළ පුරසළොස්වක් දා මාස හතරයි. ඇසළ මාසයේ පුරපසළොස්වක ගෙවී (ජූලි)අවපෑලවිය දිනයේ සිට ඉල් (නොවැම්බර්)මාසයේ පුරපසළොස්වක් දා දක්වා මාස හතර වස්සාන සෘතුව යි.

ඉතින් මේ කාල චක්‍රය අනුව බලන විට හේමන්ත සෘතුව(නොවැම්බර් මාසයේ මැද සිට, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසයේ මැද දක්වා) කාලය සුව පහසු කාලය ලෙස භාරත දේශවාසීන් පොදුවේ කල්පනා කරනවා. එහෙම වුණ ත් එහි ද සනීපදායක බවක් දක්නට නැහැ. මොක ද? සාමාන්‍යයෙන් මේ මාස හතරේ මුල් කාලය එම සුවදායක බව පෙනුණත් පසුවට දැඩි ශීත සමයක් බවට පත් වෙනවා.

වර්තමානයේ වුවත් මේ දැඩි ශීත සමය නිසා විශේෂයෙන් වයස් ගත ඇතැම් ජන කොටස් මරණයට පවා පත් වෙනවා. ඊ ළඟට එන්නේ ගිම්හාන සෘතුව යි. (මාර්තු මාසයේ මැද සිට ජූලි මාසයේ මුල් කොටස දක්වා කාලය යි. මේ කාලය ඉවසුම් නොදෙන තරම් දැඩි උෂ්ණයකින් යුක්ත යි. මේ උෂ්ණය ද ඉවසිය නොහැකි තරම් තත්වයන්ට පත් වී ඇතැම් ජනකොටස් මිය යන අවස්ථා අදත් තිබෙනවා. ඉතින් මේ මාස අට තුළ ම වැස්ස නැහැ. ඒ නිසා කිසියම් විධියකින් වැසි ගතියක් ඇති වුවහොත් එය අකල් වැස්සක් ලෙස යි භාරත වැසියන් කල්පනා කරන්නේ. ජූලි මාසයේ මැද සිට ඉල් මාසයේ මැද දක්වා මාස හතරක කාල සීමාව වස්සාන සෘතුව යි. ඉතින් එක දිගට වැස්ස පවතින කාලයක්. ඒ නිසා ම යි “වස්සානය” කියන්නේ.

මේ කාලය තුළ දඹදිව ඉන්දියාවේ පරිසරය හරිම ලස්සන යි. දූවිලි නැහැ. තනි කොළ පැහැයෙන් අවට පරිසරය බබළනවා. හැබැයි ගමනක් බිමනක් යාමට හෝ වැඩක් පළක් කර ගෙන නිදහසේ ජීවිකා වෘත්තිය කර ගෙන යෑමට බැරි තත්වයකයි ජනතාව ඉන්නේ. ඉතින් අද මේ සඳහා නවීන තාක්ෂණයෙන් පිළියම් යොදා ගෙන ජනතාව රැකී රක්ෂා කරමින් වර්ෂය පවත්වා ගෙන ගියත් එදා බුදුරජාණන් වහන්සේ දවස වැහි කාලය තුළ ජනතාව රැකීරක්ෂා ආදියෙන් ද වැළකී අනිකුත් කාලවල එක් රැස්කර ගන්නා ආහාරද්‍රව්‍ය වලින් ජීවිකාව කර ගෙන ගියා.

වස්විසීම පිළිබඳ ක්‍රම දෙකක් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා “පෙර වස් විසීම” හා “පසුවස් විසීම” යනුවෙන්. පෙරවස් වසනවා කියලා කියන්නේ ඇසළ මස පුන්පොහෝ දින පොහොය කොට පසුදින හෙවත් අවපෑලවිය දින ඉදිරි තුන්මාසය දක්වා වස් ඉටා ගැනීම යි. මෙම කාලය ඉල්මස පුර පළොස්වක දින මහා පවාරණය සිදු කිරීමෙන් අවසන් වනවා. එමෙන් ම එසේ වස් විසූ භික්ෂූන් වහන්සේට පමණක් ඉදිරි චීවර මාසය තුළ කඨින චීවරයක් පිළිගැනීමේ සුදුසුකම් ද සපිරෙනවා.

මෙම ලිපියේ ඉතිරි කොටස නිකිණි අව අටවක (11) පෝ දා පත්‍රයේ පළ වේ.