Print this Article


සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ

සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ

ගජබා රජතුමාට යුද්ධ ජයග්‍රහණයෙන් පසුව සෝමවතී විහාරයෙහි වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ “ ගාමිණී අභය යුද ජී” යන ගෞරව නාමය පිරිනැමූහ. එතුමා රාජකීය ඇළක් කපා ඒ ඇළෙන් වැඩ කරන කුඹුරු මෙම සෝමවතී විහාරයට පූජා කළ බව දිග්ගලේ පර්වත ලිපියක ක්‍රි.ව.112 දී ගජබා රජතුමා විසින් සටහන් කර ඇත.

සම්බුද්ධ ශාසනයේ පවත්නා අටමහා කුසල් අතර ප්‍රධාන කුසලය සිදු කෙරෙන කඨින චීවර පුණ්‍යෙත්සවය පැවැත්වීමේ ආරම්භක අවස්ථාව වන භික්‍ෂූන් වහන්සේ වස් විසීම මෙම 04 වන දින සිදු කරනුයේ අසීමිත භක්ත්‍යාදර ගෞරවයෙනි.

වැඩිවශයෙන් භික්‍ෂූන් වහන්සේ වස් විසීම සිදු කරන්නේ ඇසළ පොහෝ දින වුවත් මෙම වර්ෂයේ වස්සාන සෘතුව උදාවන්නේ ද ජූලි මස 20 වන දින හෙයින් වස් සමාදානය වස්සාන සෘතුවේදීම සිදු විය යුතු නිසා මෙම අගොස්තු මස 03 වන දිනට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහෝ දින ලෝකවාසී සියලුම ථේරවාදී භික්‍ෂූන් වහන්සේ පොහොය කොට පසු දින වස් සමාදානය සිදු කරති.

එම නිසාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩවසන සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස පවත්වනු ලබන ශ්‍රී දකුණු දළදා පෙරහර සිහිත ඇසළ උත්සවය මෙම වර්ෂයේදී ජූලි මස 03 වන දින පැවැත්වීමට තීරණය කළත් ලෝකයේම පවත්නා කොරෝනා නැමති වසංගතය නිසා භික්‍ෂූන් වහන්සේ සහිත මහජනතාව එකී වසංගතයෙන් බේරා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් ශ්‍රී දකුණු දළදා පෙරහර කල්දමා ඇසළ උත්සවය පමණක් පවත්වමින් ඒ සියල්ලම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ලෝකයාට ශ්‍රවණය කිරීමට සැලැස්වීමත්, සර්ව රාත්‍රි පිරිත් සජ්ඣායනාව පහන් වන තෙක් දේශනා කොට සකල ලාංකීය ජනතාවටත් සකල ලෝකයාටත් තුණුරුවන්ගේ සහ දළදා සමිඳුන්ගේ ආශීර්වාදය ලබා දීමට අති ගෞරවාර්‍හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ ද ආශිර්වාද පෙරටුව කටයුතු සූදානම් කර ඇති බව මෙහිලා සතුටින් සිහිපත් කරමු.

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති බුදුරැස් විහිදෙන සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ පොළොන්නරුවේ සිට කිලෝමීටර් 40 පමණ ඈතින් ඉපැරණි සේරු නුවර රජ කළ සිව රජු විසින් පරිත්‍යාග කරන ලද මහවැලි ගඟ අසබඩ, එදා සේරු නුවරට ද ඉන් පසුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් වූ ද වර්තමානයේ උතුරු මැද පළාතට අයත් භූමි භාගයක සේරු පර්වතය (වර්තමාන කන්දකාඩු පර්වතය) සමීපයෙහි පිහිටා ඇත.

එදා මහවැලි ගඟෙන් එගොඩ මුළු ප්‍රදේශය ම දක්‍ෂිණ ප්‍රදේශය නමින් හැඳින් වූ අතර නැගෙනහිර දෙසින් සේරු නම් සුවිශාල ප්‍රදේශයක් ද, දකුණු දෙසින් ලෝණ නම් සුවිශාල ප්‍රදේශය ද කන්දඋඩරට ගිරි නම් සුවිශාල ප්‍රදේශයක් ද පැවතුණි.

කාවන්තිස්ස රජුගේ නැගෙණිය වන සෝමවතී දේවිය හා කැලණි තිස්ස රජුගේ බෑණා වන ගිරි අභය කුමරු, ස්වර්ණමාලී නම් ස්වකීය දියණිය හා එම ගිරි ජනපදය ද දුටුගැමුණු කුමාරයාට භාර කොට සේරු ජනපදයේ සිට ශිව රජුවෙත පැමිණියේ ය. ශිව රජු ඉමහත් සතුටට පත්ව මහවැලි ගඟෙන් බස්නාහිර එළාරයන්ගේ රාජධානිය තිබූ නිසාත්, මහවැලි ගඟ සීමාකොට ස්වකීය සේරුනුවරින් කොටසක් පරිත්‍යාග කළේ ය. සෝම නමින් එම නගරය සකස් කොට ඉතා දර්ශනීය වූ නගරයක් ඉදිකොට වාසය කළ බව සිංහල ධාතුවංශය, පාලි ධාතුවංශය, ජිනකාලමාලි ආදී ග්‍රන්ථයන්හි දැක්වේ.

මෙහිදී සුවිශාල ජනපදයක් වූ සේරුනුවර ම ගිරි අභය රජු හා සෝමවතී දේවිය සේරුනුවර පර්වතයට සහසම්බන්ධ ව චෛත්‍යයක් ඉදි කොට දකුණු දළදා වහන්සේ තැන්පත් කළ බව සඳහන් වේ. “මහා දෙවත්ථේරස්ස සිස්සො මහින්දත්ථෙරො නාගභවනං ගන්ත්වා දක්ඛිණදාඨං ගහෙත්වා තම්බපණ්ණියං සෙරුනගරං පරිහරිත්වා ගිරිඅභයස්ස සෙරුනගර පබ්බතන්තරෙ චෙතියං ඨපෙසි. ” “පාලි ධාතුවංශය”.

සිංහල ධාතු වංශයේ සඳහන් වන්නේ නුවරට නොදුරු ළං නොවූ සල් වනයක මහා අරිට්ඨ තෙරුන් වහන්සේගේ වංශයෙහි මිහිඳු නම් ථෙරනමක් සමග සැටදෙනකුන් වහන්සේලා සමග වැඩවසන මොහොතේ උන්වහන්සේලා දැක වැඳ උන්වහන්සේලා සමඟ සාකච්ඡා කොට විහාරස්ථානය ඉදිකිරීමට අවසර ලබා ගත් බව සිංහල ධාතු වංශයෙහි 33 පිටුවෙහි “අභය රජ.... නුවරට නොදුරු නොලං තැන මහත් වූ සල්වනයකි. රම්‍ය වූ භූමි භාගයක් දැක සතුටුව එතැන් හි වාසය කරන්නා වූ මහා අරිට්ඨ නම් තෙරුන් වහන්සේගේ වංශයෙහි වූ මිහිදු නම් එක් තෙර කෙනෙකුන් වහන්සේ නායක කොට ඇති සැටදෙනකුන් වහන්සේ දැක වැඳ ඔවුන් වහන්සේලාගේ ඉරියා පථයෙහි පැහැදෑ මිහිඳු තෙරුන් වහන්සේ හා කථා කරන්නේ ස්වාමීනි, නුඹ වහන්සේට මෙතැන් හි විහාරයක් කරවනු අභිප්‍රාය ඇත්තෙමෙයි කීයේ ය.තමන් වහන්සේ පරිහරණය කරන්නා වූ බුදුරදුන්ගේ දකුණු දළදා වහන්සේ දෙවා වදාළ සේක.මහත්වූ පූජාකොට දාගැබට වඩමා ඉතා සිත්කළු වූ දියබුබුළක් බදු වූ ආකාර ඇති කෛලාස කූඨ පර්වතයසේ ඉතා ධවල වූ දාගැබ කරවූයේ ය. එතැන්හි පංචාවාසයකින් යුක්ත වූ විහාරයක් ද කරවීය.”ආදි වශයෙන් සුවිශාල චෛත්‍යයක් ද ,විහාරයක් ද තෙරුන් වහන්සේලාට තවත් විහාර හැටක් ද කරවූ බව සඳහන් වන අතර, එම සියලුම ගොඩනැඟිලිවල නටඹුන් සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ නැගෙනහිර දෙසින් අභිනව මහවැලි නදිය හා පර්වතය දක්වාම විහිදී ඇත. චෛත්‍යරාජයාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට වෙනත් ස්ථානවල දක්නට නොලැබෙන මල් ආසනත්, කුඩා මළුව සහිත ආරක්‍ෂක විහාරයත් හා ඒ වටා සුවිශාල විහාරස්ථාන පෝය සීමා ආදිය ද නටඹුන් මෙන්ම චෛත්‍යරාජයා වටා තවත් පරිවාර චෛත්‍ය නටබුන් වී ඇති අයුරින් මෙම විහාර සංකීර්ණයේ ඓතිහාසික මෙන් ම ඉමහත් වටිනාකම මෙයින් පැහැදිලි වේ.

චෛත්‍ය රාජයා සමීපයෙහි සෙල්ලිපි 03 ක් හා දිග්ගල නම් එරික්සෝන් ගලෙහි සෙල්ලිපි 08 ක් පමණ දැනට ඇති ඒවායින් කීපයක් කියවීමට නොහැකි තත්වයට විනාශවී ඇත. එම සෙල්ලිපිවලින් එදා දේවානම් පියතිස්ස රජතුමන්ගේ සහෝදර මහානාග කුමාරයා රෝහණයට යන විට එතුමාගේ නමින් ම මෙම විහාරස්ථානය ඉදිකොට භික්‍ෂූන් වහන්සේලා වැඩ විසූ බව “පජින නක අරබ” පශ්චිම නාගාරාමය” යනුවෙන් ද මෙම විහාරස්ථානයේ මුල් නම විය. එම විහාරස්ථානයේ ම සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු මෙම චෛත්‍යරාජයා හා සංඝාවාස හැටක් ඇතුළු විහාරාරාංග කළ බවත් එම සියලුම විහාරාරාංගවල නටඹුන් සෝමවතී චෛත්‍ය රාජයාට නැගෙනහිර දෙසින් අලුත් මහවැලි ගඟ ළඟ ඇති කන්දකාඩු පර්වතය දක්වා විහිදී ඇති බව දක්නට ලැබේ.

එසේම විහාරස්ථානයෙහි පරිභෝජනය සඳහා අඩපිටි නම් ගම දිග්ගලේ ඇති පර්වත ලිපියක ද, රජතුමාගේ රජලි නම් කුඹුරු යායෙන් කිරිය සියයක් හෙවත් අක්කර 800 ක් පූජා කර ඇති බව චෛත්‍යරාජයාගේ ප්‍රාකාර බැම්ම සමීප පුවරු ලිපියේ සඳහන් වේ.

ගජබා රජතුමාට යුද්ධ ජයග්‍රහණයෙන් පසුව සෝමවතී විහාරයෙහි වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ “ ගාමිණී අභය යුද ජී” යන ගෞරව නාමය පිරිනැමුවහ. එතුමා රාජකීය ඇළක් කපා ඒ ඇළෙන් වැඩ කරන කුඹුරු මෙම සෝමවතී විහාරයට පූජා කළ බව දිග්ගලේ පර්වත ලිපියක ක්‍රි.ව.112 දී ගජබා රජතුමා විසින් සටහන් කර ඇත. ක්‍රි.ව. 164 දී කනිට්ඨ තිස්ස රජතුමා තොටුපොළ 03 ක බදු චෛත්‍ය ස්ථානයට ලබා දෙමින් රජතුමාගේ වැවේ වැඩවලින් විහාරයේ රාජකාරී කරන පිරිස නිදහස් කොට විධිමත් ලෙස රාජකාරී කරන ලෙස සැලැස් වූ බවත් මෙම දාගැබේ හා පෝය සීමාවෙහි සංවර්ධන කටයුතු සිදු කිරීමටත් නියම කර ඇත. නියමාකාර ලෙස රාජකාරී නොකළහොත් කහවණු 500 ක දඩයක් (වර්තමාන මුදලින් කෝටි 40 ක මුදලක්) නියම කර ඇති අතර, ස්ථානයෙහි නඩත්තුවෙන් පසු ඉතිරිවන මුදල් භික්‍ෂූන් වහන්සේලාගේ සිව්පසය සඳහා යෙදවිය යුතු බවට ආඥා පැන වූ පර්වත ලිපියක් ද වේ. එම කරුණු ම සඳහන් චෛත්‍ය රාජයා සමීපයේ ඇති පුවරු ලිපියක් ද පිහිටු වීමෙන් පෙනී යන්නේ මෙම ස්ථානයෙහි තිබෙන ඉමහත් වටිනාකමයි. එකම කරුණු ශිලා ලේඛන දෙකක ලියා ඇති බවට මෙතෙක් ලෝකයේ කිසිදු තැනකින් හමුවී නොමැති වීම ද මෙම ස්ථානයේ ඇති සුවිශේෂත්වය විදහාපාන්නකි.

පොළොන්නරු යුගයේදී බු.ව. 1700 දී මහාපරාක්‍රම බාහු රජතුමාගේ බිසව වන ලීලාවති රැජින දොළොස් දහස් රටින් (ගිරුවා පත්තුවෙන්) ඇඹූල්පත් ගම පූජා කර ඇති බවට සඳහන් ශිලා ලේඛනයක් චෛත්‍ය රාජයා සමීපයේ පවතී. මහාපරාක්‍රම බාහු රජතුමා ගිරිතලා වැවේ සිට කඳුරුවඩමන් වැවට ජලය ගෙනගොස් ඒ වැවෙන් සෝමවතී නමින් ඇළක් ඉදි කර ඇති බව මහාවංශයේ 79 වන පරිච්ඡේදයේ සඳහන් වේ. ක්‍රි.පූ. 02 වන සියවසේ සිට ක්‍රි.පූ. පළමු වන සියවස දක්වාම “පශ්චිම නාගාරාමය” යන නාමයත්, පළමු සියවස වන විට “මණිඅගිය” යන නාමයත්, එතැන්පටන් පොළොන්නරු යුගය වන විට “සෝමවතී” යන නාමයත් යන නම් තුනකින් කලින් කල මෙම සෝමවතී චෛත්‍ය රාජයා හඳුන්වා ඇති බව උක්ත කරුණුවලින් පැහැදිලි වේ.

ශ්‍රී දකුණු දළදා වහන්සේ මෙම සෝමවතී චෛත්‍ය රාජයා තුළ වැඩ වසන බවට විශ්වාස කළ හැක්කේ චෛත්‍යරාජයාණන් වහන්සේ තුළින් බුද්ධ රශ්මි මාලා විහිදීමත්, ෂඩ්වර්ණ රශ්මියෙන් බබළන සතරාකාර කරඬු චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළින් මතු වීමත්, බුදු රජාණන් වහන්සේගේ රූපයත්, බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර ආදී දෙවිවරුන් ගේ රූපත්, සුදු ඇතුන්, සුදු අශ්වයන් චෛත්‍ය රාජයා තුළින් මතුවීමත් ආදි ආශ්චර්යයමත් දේ දැකීමට ලැබී ඇති අතර, ඒ සියල්ලම ඡායාරූප ගතකර විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ මුළු ලෝකයාටම දැකබලා ගැනීමට සලස්වා ඇති අතර චෛත්‍යරාජයා තුළින් හේවිසි, ගණ්ඨාර, මිණිගෙඩි ආදී මධුර නාදයත්, පිරිත් දේශනා කරන ශබ්ද ඇති වීමෙන් අසන දකින හැම දෙනාම අපමණ ශ්‍රද්ධාවෙන් යුතුව අප වෙතින් මේ පිළිබඳ නිරන්තරයෙන් විමසීම් කරති.

මෙවන් ආශ්චර්යමත් සිද්ධීන් දැකීමට හා ඇසීමට ලැබීම නිසා ම මෙම සෝමවතී චෛත්‍ය රාජයා 1946 වර්ෂයේ දී මුස්ලිම් හා සිංහල සැදැහැවත් ජනතාවගේ දැනුම් දීම හා ඉල්ලීමත් අනුව මේ පිළිබඳව විධිමත් ලෙස කරුණු සොයා බලා සත්‍යතාවය වටහා ගැනීමෙන් පසුව මහනුවර මල්වතු මහා විහාරයේ කාරක සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි, ගරුතර පහමුණේ ශ්‍රී ගුණානන්‍ද අනුනාහිමියන් ඇතුළු මල්වතු මහා විහාරයීය මහා සංඝරත්නයත්, එකී සිංහල හා මුස්ලිමි සැදැහැවත් පිරිසත් පොළොන්නරුවේ සිට කි.මි. 40 ක් පමණ දුරගෙවා මහා ඝන කැලයේ හේවිසි ශබ්ධය හා ගිනි ජාලාවක් දැක ඒ ඔස්සේ ගොස් ගරා වැටීතිබූ සෝමවතී චෛත්‍ය රාජයා සොයා ගත්හ.

එතැන් පටන් එළිපෙහෙළි කටයුතු සිදු කොට 1966 වසරේ දී මුල්ගල් තබා 1981 වර්ෂයේ දී කොත් පැළඳවීමේ උත්සවයෙන් පසු 1983 වර්ෂයේ පටන් ත්‍රස්තවාදී ග්‍රහණයට හසු වුව ද ත්‍රස්තවාදීන් විසින් චූඩාමාණික්‍ය ගලවා චෛත්‍යරාජයා සමීපයෙහි දමා පලාගිය අතර, අප විසින් යුද හමුදාවේ ආරක්‍ෂාව ඇතිව එම චූඩා මාණික්‍ය ලබාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා රජයේ අනුග්‍රහයෙන් 2002 වර්ෂයේ දී නැවතත් පැළඳ වීය.