Print this Article


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඉතිහාසය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඉතිහාසය

ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට හා උන්වහන්සේට වැඳුම් පිදුම් පැවැත්වීමට සැදැහැවතුන් ගෙන ඇති උත්සාහය දළදා ඉතිහාසය තුළ සටහන් වී ඇත. දහනව වැනි සියවසේ විසූ ඉංග‍ී‍්‍රසි ජාතික වෛද්‍යවරයෙකු වූ ජෝන් ඩේවි විසින් රචිත ‘ලංකාවේ අභ්‍යන්තරය එහි ජනතාව හා දිවයිනේ චාරිකා පිළිබඳ විස්තරයක්’ නැමැති ග‍‍්‍රන්ථයේ දළදා මාළිගාව වූ කලී රාජ්‍ය පිළිබඳ පූජනීය ස්ථානයයි.

බුදුරජාණන් වහන්සේගේ වාම දන්ත ධාතූන් වහන්සේ මෙහි ඇති හෙයින් රටේ ඇති අති උත්තම පූජනීය ස්ථානය මෙයයි. මුළු දිවයිනම දළදා වහන්සේට පූජා කොට තිබේ. ‘‘ලෝකයේ පවත්නා අනර්ඝතම වස්තුව මෙය යැයි යහපත් බෞද්ධයෝ කල්පනා කරති.” යනුවෙන් දක්වා තිබීමෙන් දළදා වහන්සේ අති පූජනීය වස්තුවක් බවට පත් වී තිබුණ බවට ගම්‍යමාන වේ.

මහනුවර දළදා මාලිගාව ස්ථාපිත කිරීමට ප‍‍්‍රථමයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල සහ කෝට්ටේ යන අග නගරවල දළදා මාලිගා පිහිටා තිබූ බවට සාහිත්‍ය මූලාශ‍‍්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ‍‍්‍රවලින් සනාථ වේ. මහාවංසයේ සහ එළුදළදා වංසයේ සඳහන් විස්තර අනුව මහනුවර රාජධානියේ ප‍‍්‍රථමයෙන්ම දළදා මන්දිරයක් ඉදිකරනු ලැබුවේ

පළමුවැනි විමලධර්මසූරිය (ක‍‍්‍රි.ව. 1592- 160) රජතුමා විසිනි. සිය රජ මැඳුර ආසන්නයේ ඉදිකළ මෙම මන්දිරය දෙමහල් විය. නැවත එය ඔහු විසින්ම තෙමහල් මන්දිරයක් බවට පත් කළ බවට එළුදළදා වංසයේ සඳහන් වෙයි. සෙනරත් රජතුමාගෙන් අනතුරුව රාජ්‍යයට පත් දෙවැනි රාජසිංහ රජු සතුරන් මැඬ රට සාමයෙහි පිහිටුවා පැරැණි දළදා මැඳුර පිහිටි තැන දෙමහල් දළදා ගෙයක් කරවී ය. අවුරුදු 31ක් පමණ වූ සුළු කාල පරිච්ඡේදයක් ඇතුළත නැවත දළදා මාලිගාවක් ඉදි කිරීමට සිදුවුණේ පෘතුගීසි ආක‍‍්‍රමණයන්ගේ ප‍‍්‍රතිඵල වශයෙන් ඇති වූ විනාශය නිසා විය හැකි බව මහාචාර්ය කුඹරුගමුවේ වජිර හිමියෝ විශ්වාස කරති. මින් අනතුරුව දෙවැනි විමලධර්මසූරිය රජු ද දළදා මන්දිරයක් ඉදි කර වූ බව මහාවංසයේ සඳහන් වේ. එය මනෝඥ වූ කර්මාන්තයන්ගෙන් බබළන අලංකාර තෙමහල් මන්දිරයක් ලෙස හඳුන්වා ඇත. 18 වැනි සියවසේ මුල් භාගය වනවිට මේ මන්දිරය මුළුමනින් ම වාගේ දිරාපත් වී ගෙන යන තත්ත්වයකට පත් වී තිබිණි. මේ නිසා වීර පරාක‍‍්‍රම නරේන්ද්‍රසිංහ රජු එම තෙමහල් මන්දිරය දෙමහල් කොට තැනවීය. ඉන් පසුව බලයට පත් විජය රාජසිංහ රජු දළදා පූජා කටයුතුවල යෙදුණු අතර දළදා මැඳුර විචිත‍‍්‍ර වස්ත‍‍්‍රයෙන් අලංකාර කරවී ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු ද දළදා මැඳුර සකසා අලංකාර කරවීය. ශ්‍රී රාජාධිරාජසිංහ රජු ද පෙර රජුන් මෙන්ම දළදා පූජා කටයුතු කඩ නොකළ අතර සිංහලයේ අන්තිම රජු වූ ශ්‍රී වික‍‍්‍රම රාජසිංහ රජු දළදා මැඳුරට නවාංගයක් එක් කරමින් පත්තිරිප්පුව ඉදි කරවීය. මහනුවර දළදා මන්දිරය පිළිබඳ ව මහාවංසයේ හා එළුදළදාවංසයේ සඳහන් මෙම ඓතිහාසික විස්තර අනුව දැනට පවත්නා දළදා මැඳුර ශ්‍රී වීර පරාක‍‍්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස ඉදි කළ මන්දිරය ලෙස සඳහන් කළ හැකි ය.

දළදා මන්දිරය ඉදිකර ඇත්තේ නගරයට නැඟෙනහිර පසින් වූ රාජකීය ගොඩනැගිලිවලින් සමන්විත උස් භූමියක ය. දැනට මේ භූමි භාගයට නැඟෙනහිර පසින් වූ උඩවත්ත කැළය, දකුණු පසින් බෝගම්බර වැව ද, උතුරු පසින් පැරණි රාජ මාලිගාව ද, බස්නාහිර පසින් නාථ දේවාලය ද පිහිටා තිබේ. මෙලෙස දළදා මාලිගය මූලික කොට ඒ වටා බිහි වූ කලා නිර්මාණ විවිධත්වයක් ගනී. විශේෂයෙන් ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පය, චිත‍‍්‍ර කලාව, මූර්ති කලාව, කැටයම් කලාව සහ වෙනත් සෙසු සුළු කලා නිර්මාණ රාශියක් මේ ඔස්සේ වැඩි දියුණු වූ බව පෙනේ. බෞද්ධාගමික සංකල්පීය පසුබිමක් තුළ ඒ සියලූ දෑ වර්ධනය විය. මෙසේ බිහි වූ නිර්මාණ අතර දළදා මාලිගාවේ ප‍‍්‍රවේශය, සඳකඩ පහණ, වාහල්කඩ, ඇත් රූ කැටයම් යුගල, ප‍‍්‍රධාන දොරටුව අභියස පිහිටි ආලින්දය, කිඹිහි මුහුණක් සහ මකර තොරණකින් සමන්විත ශෛලමය උළුවස්ස, හේවිසි මණ්ඩපය, පල්ලේමාලය, පත්තිරිප්පුව, දළදා මාලිගාවේ අභ්‍යන්තර ස්තූපය, දළදා මාලිගය, දළදා මාලිගයේ පහළ මාලයේ ගල් උළුවස්ස, ගන්ධ කුටිය සහ සිතුවම් කලාව සඳහන් කළ හැකි ය. මෙහිදී පත්තිරිප්පුව දළදා මාලිගයේ වාස්තු විද්‍යාත්මක සෞන්දර්යය හොඳීන් ධ්වනිත වන ගෘහ නිර්මාණයක් ලෙස සැලකිය හැකි ය. වර්තමානයේ මහනුවර දළදා මාලිගයේ සංකේතයක් වශයෙන් ද මෙය භාවිතයට ගැනෙනු දැකිය හැකි ය.

පත්තිරිප්පුව දළදා මාලිගයට පසුකාලීන ව එක් කළ කොටසක් බව මීට ඉහතදී සඳහන් කර ඇත. අටපට්ටම් හැඩැති පත්තිරිප්පුව ද්විත්ව පාදමක් මත ගොඩනැඟුවකි. එහි මුල්ම පාදම දිය අගලට යට වී ඇති අතර, දිය අගලින් මතුවී පෙනෙන කොටස ආයතාකාර බොරදමකින් හා අධෝවෘත්ත පද්මයක ආකාරයෙන් ද, සෘජු මුහුණතකින් හා උද්ධෘත පද්මයක කොටසකින් ද සමන්විත වේ. ඊළඟ කොටස එකිනෙකට ඉහළින් පිහිටි බොරදම් තීර තුනකින් ද, අධෝවෘත්ත පද්මයෙන් ද, කෙළින් මුහුණතින් ද, කුමුදු බොරදමින් ද, උද්ධෘත පද්මයෙන් ද කෙළවර වේ. ඒ මත බිත්තියක් මෙන් සෘජුව නැඟී යන කොටසකි. එහි සරල බව නැති කිරීමට සමාන්තර ව්‍යාජ ස්ථම්භ පිහිටුවා ඇත. මෙහි අටපට්ටම් පාදමේ එක් පැත්තක හරි මැද කීර්ති මුඛයක් සහිත මකර තොරණක් නිරූපණය වේ. එය සකස් කර ඇත්තේ ඇතුළට පිවිසිය හැකි ව්‍යාජ දොරටුවක ආකාරයකට ය. ඉන්පසු බිත්තිය ඉහළට නැගීයයි. එය සරල ය. එහෙත් හරස් අතට විහිදී යන කුමුදු බොරදම් නිසා චාම් බව නැති වේ. මෙය අටපට්ටම් හැඩැති ගෘහයක් වන බැවින් ඒ සඳහා පිවිසීමට දොරටු අටක් ඇත. අටපට්ටම් හැඩැති සුවිසල් කුලුනු අටක් මත වහල රඳා පවතී. මෙම කුලුනු මුල සහ අග එක ලෙස සකස් කළ ද්විත්ව කුලුන හිස්වලින් සමන්විත ය. මේ කුලුනුවල පහත කොටස නයිපෙනවලින් ද, ඉහළ කොටස බෝපත් කාඟුල් යන චිත‍‍්‍ර මෝස්තර රටාවන්ගෙන් ද අලංකෘත වී තිබේ. මෙහි වහළ කෙළවර වන්නේ කැණිමඬලෙනි පියස්ස සඳහා භාවිත කළ පරාල ද රිද්මයානුකූල රටාවන්ට අනුව කැටයම් කර තිබෙනු දැකිය හැකි ය. පත්තිරිප්පුව මහල් දෙකකින් සමන්විත අතර, පහත මාලයට පිවිසීම සඳහා දොරටු තුනක් දක්නට ලැබේ. එය දෙපසින් දොරටු දෙකක් සහ ඇතුළතින් පහතට බැසීමට ලී තරප්පුවක් වශයෙනි. පත්තිරිප්පුවට පිවිසීමට මාර්ග දෙකක් ඇත. එකක් පල්ලේ මාලයේ ඉදිරිපස ආලින්දයෙන් පිවිසිය හැකි අතරම අනික වන්නේ ශෛලමය මකර රුව සහිත ප‍‍්‍රධාන දොරටුවට දකුණු පසින් පිහිටි දොරටුවයි.

වර්තමානය වනවිට පත්තිරිප්පුව දළදා මාලිගයේ පුස්තකාලය ලෙසට භාවිත වන අතර එහි වටිනා පුස්කොළ පොත් සහ අවශේෂ කෘතීන් ගණනාවක් තැන්පත් කොට ඇත. ආනන්ද කුමාරස්වාමි සඳහන් කරන ආකාරයට පත්තිරිප්පුව භාවිත කර ඇත්තේ රජතුමාට සහ බිසෝවරුන්ට දළදා පෙරහර නැරඹීමට ය. ඒ අනුව දළදා මාලිගයේ ඓතිහාසික ප‍‍්‍රවෘත්තිය ඉදිරිපත් කළ හැකි අතර මෙම දළදා මාලිගයට පැමිණෙන ශ‍‍්‍රද්ධාවන්තයින්ට විරල වස්තුවක් මෙන්ම ඒ වෙනුවෙන් සිදු කෙරෙන විරල ගණයේ වත්පිළිවෙත් සහිත ජීවමාන ඉදිරිපත් කිරීමක් මෙන්ම ජීවිතයේ අතිශයින්ම සංවේදී අත්දැකීමක් ද වන්නේ ය.