Print this Article


පිරිවෙන

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක්වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

****

සිව්පසයෙහි තෙවදෑරුම් සතුට

සිව්පසය, භික්ෂූන් වහන්සේ නමකගේ පැවැත්ම පිණිස අත්‍යවශ්‍යම කරුණකි. ඒ සිව්පසය ලබන භික්ෂූන් වහන්සේ තුන් ආකාරයකින් සතුටු විය යුතු ය. පළමුවැන්න යථාලාභ සන්තෝෂය යි. ඒ කියන්නේ සිව් පසය ලැබුණු පරිදි සතුටු වීම යි. සිව්පසය නොලැබුණා යැ’යි දුක් වන්නේ ද නැතිව, නීරසව ලැබුණා යැ’යි වෙනසක් ද නැතිව ඒ, ඒ ආකාරයට ලැබෙන සිව් පසයෙන් සතුටු වීමට පුරුදු වීම ය. දෙවැන්න යථාබල සන්තෝෂය යි. එනම්, තමන්ට ලැබුණු සිව්පසය රෝගයකට බෙහෙතක් දීමෙන් පහසුව ලැබෙන පරිද්දෙන් ඒ, ඒ ප්‍රත්‍ය පිළිබඳ ව, තමන්ට ලැබෙන දානාදී දේ පිළිබඳව සතුටු වීම ය. රස පිණිස නොවේ. අසීමිත ව කුස පුරවා ගැනීමට ද නොවේ. කුසගිනි, ක්ලාන්ත, කැරකිලි ආදිය දුරු කරගෙන මේ නිවන් මඟ පුර්ණය කර ගැනීමේ අරමුණ ඇතිකර ගැනීම ය.

තෙවැන්න සාරුප්ප සන්තුට්ඨි යයි. එයින් අදහස් වන්නේ තමන්ගේ තත්ත්වයට ගැළපෙන පරිදි සිව්පසයෙහි හුරු වීම යි. තමන්ට ලැබෙන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන මේ සිව් කරුණු සමහරු විශාල වශයෙන් බලාපොරොත්තු වෙති. කොපමණ දුන්නත් මදි ස්වභාවයක් ඇත. එසේ නොවී තමන්ට ගැළපෙන ලෙස සිව්පසය පිළිබඳ ව සතුටු විය යුතු ය. මහණ දම් පුරන භික්ෂූන් වහන්සේ මේ සිව් පසයට සුදුස්සෙක් වන්නේ තමන් වහන්සේ හරියට ශ්‍රමණ දම් පුරනවානම් පමණි. එසේ නැතිනම් ශ්‍රමණයන් වහන්සේ මැද (සංඝයා වහන්සේ මැද) වෙස් අරගෙන සිටින ශ්‍රමණ වේශධාරියෙක් බවට පත්වීම යි. එමනිසා ලොකු හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවෝ යැ’යි වෙනසක් නැතිව සිව් පසය පිළිබඳ මේ තුන් ආකාර සතුට භුක්ති විඳිය යුතු ය.

****

පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගය

ශ්‍රී ලාංකේය සම්භාව්‍යය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය පිරිවෙන් අධ්‍යාපනයයි. ශාසන භාරධාරී තෙරුන් වහන්සේලා මෙන් ම රජුන් තැනූ කේන්ද්‍රීය අධ්‍යාපනය පන්සල මුල් කොටගත් අධ්‍යාපනය පිරිවෙන් අධ්‍යාපනයයි. ආසියාකරයේ සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් නොව බටහිර ධනවත් රටවල වුව ද සංකීර්ණ ස්වරූපයේ අධ්‍යාපනික ප්‍රශ්න පාසල තුළින් ම විසඳීය නොහැකි බැව් අතීත අත්දැකීම් විසින් පෙන්වා දී ඇත.

පිරිවෙන් අධ්‍යාපනයේ හුදකලා බව, උදාසීනතාව හෝ සීමිත අධ්‍යාපන රටාව ආධ්‍යාත්මික ගුණ වගාවෙන් තොරව ධනයෙන් හා සංඛ්‍යාවෙන් මහත් ව වැඩෙන ටියුටරි අධ්‍යාපන ක්‍රමය පෝෂණය කිරීමෙහි ලා බලගතු හේතුවක් විය හැකි ය. ගිහි පැවිදි පෞරුෂ සංවර්ධනය කෙරෙහි හෝ සදාචාරාත්මක දියුණුව කෙරෙහි ටියුටරි අධ්‍යාපනයෙන් ප්‍රමාණවත් සේවයක් වන බැව් පිළිගත හැකි නොවේ. මෙවැනි ප්‍රතිවිරෝධී බලවේගයන්ට සාර්ථකව මුහුණ දීමට නම් පිරිවෙන් අධ්‍යාපනය ද ජාතික අධ්‍යාපන ක්‍රමය තුළට ජයග්‍රාහී ලෙස ප්‍රවිශ්ට වී අනභිබවනීය තත්ත්වයක් එය තුළ ප්‍රතිෂ්ථාපනය කර ගත යුතුව පවතී. එය කළ හැකි වනුයේ පටු ක්‍ෂේත්‍රයකට පමණක් සීමා වී පවතින අධ්‍යාපන ක්‍රමය භික්‍ෂු චර්යා ධර්මවලට මෙන් ම රටෙහි සංවර්ධන අවශ්‍යතාවලට ද ගැලපෙන පරිදි විවිධාංගීකරණයක් තුළිනි. නිකරුණේ විනාශ වෙමින් පවතින වටිනා මානව හෝ භෞතික සම්පත් මැනැවින් අනාවරණය කර ගැනීමට තරම් අවබෝධ ඥානයක් හා විවේක බුද්ධියක් ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවශ්‍යයෙන් ම තිබිය යුතු ය. සිංහල රජ දවසේ සිට පොදු ජනතාවගේ හදවතට හා බුද්ධියට වඩාත් සමීපව තිබූ පන්සල හා පිරිවෙන මෙරට ජනතාව නිවැරදි මාර්ගයකට අවතීර්ණ කරනු ලැබූයේ අධ්‍යාපනය තුළිණි. වැවයි දාගැබයි සංකල්පය තුළ ආර්ථික හා ආගමික සුසංගතතාව මත පැරැණි ගැමි සමාජය පිරිවෙන් අධ්‍යාපනය විසින් යථායෝග්‍ය ලෙස මෙහෙයවන ලදි.තත් ස්වරූපයන්ට අනුගත වෙමින් වර්තමාන රජය පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා ගනු ලැබ ඇති පියවර රැසකී. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ගේ සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ පූර්ණ අනුග්‍රහය සහ මඟ පෙන්වීම මත පිරිවෙන් අධ්‍යාපන උපදේශක දොඩම්පහළ සිරි රාහුල හිමිපාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් සහ වත්මන් පිරිවෙන් අධ්‍යක්‍ෂ වටිනාපහ සෝමානන්ද හිමිපාණන් වහන්සේගේ නියාමනයෙන් මේ වන විට පළාත් මට්ටමෙන් ගරු ආණ්ඩුකාර තුමන්ලා සහ පළාත් ප්‍රධාන ලේකම්වරු , පළාත් අධ්‍යාපන ලේකම්වරු මෙන් ම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු ඇතුළු අධ්‍යාපන බලධාරින්ගේ සහයෝගය ඇතිව පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව මධ්‍යම පළාතේ එවැනි සුවිශේෂී සාකච්ඡාවක් පසුගිය දා එනම් 2020/07/17 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී , මධ්‍යම පළාත්

ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ ගරු මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් නන්දන ගලබොඩ මැතිතුමන් මෙන් ම මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඊ.පී.ටී.කේ ඒකනායක මැතිතුමන් මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්‍ෂතුමිය ඇතුළු මධ්‍යම පළාතේ සියලුම කලාප අධ්‍යක්‍ෂතුමන්ලා සහ තුමියන්ලා මෙන් ම අධ්‍යාපන බලධාරීන් සහභාගී වූහ.

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය, විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ( පිරිවෙන් ) පූජ්‍යපාද හේනේපොල නන්ද සිරි අභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරී මහා විහාර පිරිවෙන්පති ජනාධිපති උපදේශක පූජ්‍යපාද නාරම්පනාවේ ආනන්ද අභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළුව අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ හිමිපාණන් වහන්සේ ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරී ස්වාමීන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කළහ.එහි දී පිරිවෙන් අධ්‍යක්‍ෂ ස්වාමීන් වහන්සේ සහ සහකාර අධ්‍යක්‍ෂ කන්තලේ විජිතවංශ ස්වාමීන් වහන්සේ විසින් පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ වර්තමාන තත්වය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිරිවෙන් පද්ධතියට දැක්විය යුතු සහයෝගය පිළිබඳ කරුණු දැනුම්වත් කළ අතර පළාත් අධ්‍යාපන ලේකම් තුමන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ තුමන් මෙන් ම සංස්කෘතික අධ්‍යක්‍ෂ තුමිය ඇතුළු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ මහත්ම මහත්මීන් කරුණු රැසක් ඉදිරිපත් කරන ලදී.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමන් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ 2021 වසරේ සිට වාර්ෂික පිරිවෙන් අධ්‍යාපන සැලසුම් වෙනුවෙන් මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන මඟින් මිලියන 30ක ප්‍රතිපාදන මුදලක් ලබාදීමටත් මධ්‍යම පළාත් පිරිවෙන් සම්පත් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සුදුසු ස්ථානයක් ලබාදීමටත් පියවර ගන්නා බවයි. එසේ ම පිරිවෙන් පද්ධතියේ උන්නතිය වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා බව ද ප්‍රකාශ කරන ලදී.

****

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ