Print this Article


අමරණීය වූ ගෞරවනීය නාමය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේ

අමරණීය වූ ගෞරවනීය නාමය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේ

“ඉති අහමිධදානාදීවසා අප්පමත්තෝ
සතත මනුසරන්තෝ බෝධි සත්තේ ගතීතේ
පරහිත නිරතත්තෝ පාරමී පූරයිත්වා
විජිය සකලමාරේ බුද්ධභාවං ලභෙය්‍යං”

මෙම ගාථාව අප ගුරුදේව අග්ගමහා පණ්ඩිත, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙයාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් ලියන ලද “බෝධිසත්ව ප්‍රාර්ථනා” නැමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද්දකි.

නිරතුරුව අභීත බෝසතාණන් වහන්සේලා අනුගමනය කරමින්, අනුන්ගේ හිතසුව පිණිස කටයුතු කරමින්, බුද්ධත්වය සඳහා අවශ්‍ය දානාදී පාරමී ධර්මයන් සම්පූර්ණ කර අනාගතයෙහි දී සියලු මාරයන් පරාජය කොට බුදු බව ලබම්වා යනු ඉහත සඳහන් ගාථාවෙන් පෙන්නුම් කරන උතුම් ප්‍රාර්ථනාව යි.

තමන් වහන්සේ විසින් ම රචිත බෝධිසත්ව ප්‍රාර්ථනා නැමැති ග්‍රන්ථය තුළින් මුළුමණින් ම පෙන්නුම් කර ඇත්තේ බුද්ධත්වය සඳහ අවශ්‍ය පිළිපැදිය යුතු පූජනීය ,උතුම් ගුණාංග සමුදායකි.

මහනාහිමියන්ගේ මුළු චරිතාපදානයම ඒ උතුම් බුද්ධත්වය අරමුණු කරගත් ප්‍රතිපත්ති සමුදායකින් අලංකෘත වූ බව ඒ ශ්‍රේෂ්ඨ චරිතය ඇසුරු කළ අධ්‍යයනය කළ හැම දෙනාටම ප්‍රත්‍යක්ෂ කරුණක් වනු ඇත.

මේ නිසාම මේ උතුම් චරිතය වන්දනීයය, පූජනීය ය. මුන් වහන්සේ සීල තේජසින් බැබළුණ හ. ගුණ තේජසින් බැබළුණහ. ප්‍රඥා තේජසින් බැබළුණහ.ධර්ම තේජසින් බැබළුණහ. පුණ්‍ය තේජසින් බැබළුණහ.

සතියෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පරහිතකාමී ව මුළු ජීවිතය ම කැපකළ ශ්‍රේෂ්ඨ යතිවරයෙකි. මේ උදාර බෝසත් චරිතය අධ්‍යයනය වර්තමාන සමාජයට මහත් ආලෝකයකි.

මහනාහිමියන්ගේ උදාර මෙහෙය තුල ජාති, ආගම්, වර්ණ, කුල, උගත් නූගත්, දුප්පත්, පොහොසත්, ලොකු කුඩා වැනි කිසිදු ප්‍රභේදයක් දක්නට නොලැබිණි. සීලයෙන් සංයුත වු මහනාහිමි භික්ෂුවක් තුළ තිබිය යුතු උදාර ගුණ සමුදායෙන් සෝභමානවත් වූහ. නමුත් ඒ සිල්වත් බව අන් අයට ප්‍රදර්ශනය කරන්නට වත්, ඒ තුළින් ලාභ,ලෝභ, කීර්ති, ප්‍රශංසා ලබන්නටවත් නොසිතූ නොපැතූ මහනාහිමියෝ, අව්‍යාජ , අවංක චරිතාපදානයකින් යුක්ත වූහ. මේ උතුම් බුද්ධ පුත්‍රයාණෝ පරිත්‍යාගශීලිත්වයෙහි ඇලුණු කෙනෙකි. කිසිම දෙයක ඇලීමක් බැඳීමක් නො මැතිව පියාපත්වල බර පමණක් උසුලමින් කූඩුව අතහැර යන කුරුල්ලෙකු මෙන් තමන් වහන්සේ වෙත ලැබුණු සියල්ලම අන් අයට පරිත්‍යාග කළහ. පරපුරෙන් තමන් වෙත ලැබුණු ඉඩකඩම් පාසල්වලට, විහාරස්ථානවලට, අහිංසක අසරණ ජීවිතවලට පරිත්‍යාග කළ අයුරු ඒ අනුපාදාන චරිතය ප්‍රත්‍යක්ෂව ම අපට පෙන්නුම් කර ඇත. සතා සිවුපාවාට පවා කරුණාවෙන්, මෛත්‍රියෙන් කටයුතු කළ මහනාහිමි මෘදු ගුණයෙන් සෝභමානවත් වූහ. උන්වහන්සේ ආශා කළේ පොතට පමණි. පොත පත කියැවීමෙන් අපමණ සතුටක් වින්දහ. එය උන්වහන්සේ තුළ පැවැති අතෘප්තිකර ආශාවකි.

උන්වහන්සේගේ දැනුම බුදුදහමට පමණක් සීමා නොවිණි. ලෝකයේ සියලුම ආගම් පිළිබඳ ව උන්වහන්සේ ගැඹුරින් හදාරා තිබිණි. විවිධ භාෂා, දර්ශන විද්‍යාව, මනෝ විද්‍යාව, ගණිතය, ඉතිහාසය, සංගීතය, චිත්‍රකලාව, ඡ්‍යොතිෂය වැනි විෂයයන් පිළිබඳ ව ගැඹුරින් හදාරා තිබුණි. උන්වහන්සේ කියවා ඇති, උන්වහන්සේගේ පුස්තකාලයේ පැවැති විවිධ විෂයයන් අළලා ලියවි ඇති පොත්පත් දෙස බලන විට මේ තරම් පොත් කන්දරාවක් කියවූයේ කෙසේදැයි අපට සිතාගතවත් නොහැකි ය.

බටහිර උගතුන් සමග බුදුසමය පිළිබඳව කතා කරන විට නවතම විද්‍යාත්මක සොයා ගැනීම් ද ඉදිරිපත් කරමින් සාකච්ඡා පැවැත් වු අවස්ථා අප බොහෝවිට දැක ඇත.

එංගලන්තයේ වැඩ සිටින විට කතෝලික පූජකයන් පුහුණුූ කරන ආයතනයක බුදුසමයේ දැක්වෙන පුනර්භවය පිළිබඳ දේශනයක් පවත්වන ලෙස උන්වහන්සේට ආරාධනාවක් ලැබී ඇත. දේශනය අවසන් වූ විට “පුනර්භවය විද්‍යාත්මක ව ඔප්පු කරන්නේ කෙසේදැ’යි කෙනෙක් ප්‍රශ්න කළහ. එයට පිළිතුරු දෙන මහනාහිමි, ඔහුට මලක් ගැන සිතන්න යැයි කීය. ඔව් මම මලක් ගැන සිතුවෙමියි කීවිට ඔබ සිතූ මලේ නම කුමක්දැයි ඇසී ය. මා සිතුවේ රෝසමලක් යැයි ඔහු පිළිතුරු දුණි. හා ! හොඳයි, ඔබ සිතුවේ රෝස මලක් බව මේ පිරිසට ඔප්පුකර පෙන්වන ලෙස ඉල්ලා සිටියහ. ප්‍රශ්නකරු නිරුත්තර විය. මේ ලෝකයේ සෑම දෙයක්ම විද්‍යාත්මක ව ඔප්පු කරන්න බැහැ. ඔබ එය තේරුම් ගන්නයැයි පිළිතුරු දෙමින් පැරැණි බයිබලයේ සමහර කොටස් කටපාඩමින් කියමින් ඒ තුළින්ද කරුණු ඉදිරිපත් කළහ.

එයින් පසු හැමදෙනාම නිහඬව විශ්මයෙන් බලා සිටියහ. විවිධ සාකච්ඡාවලදී උන්වහන්සේ දෙන ලද පිළිතුරු දෙස බලන විට විවිධ විෂයයන් පිළිබඳ ව මොනතරම් දැනුම් සම්භාරයකින් යුක්ත ද යන්න ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වී ඇත.

තමන්වහන්සේ වෙත ලැබුණු තනතුරු ගෞරව සම්මාන වැනි කිසිම දෙයක් ප්‍රදර්ශන භාණ්ඩයක් කරගන්නට උන්වහන්සේ කටයුතු නොකළහ. වෙනත් බොහෝ අය මෙන් ඒවා භාවිත නොකළහ. ලිපි ලේඛනවල තම නම පමණක් සඳහන් කිරීමට වග බලා ගත්හ. මොනතරම් ප්‍රශ්න ගැටලු පැවිදි සමාජය තුළ සුහදශලී ව ප්‍රියශීලීව අනතිමානී ව කටයුතු කළහ.

සිංහල, පාලි සංස්කෘත, ඉංගී‍්‍රසි වැනි භාෂාවලින් එම භාෂා ශෛලීන්ට අනුගත ව ඉතාම ව්‍යක්ත ව කතා කිරීමටත්, ලිවීමටත්. තිබූ කුසලතාවය ප්‍රදුම එළවන සුළුය. මීට අමතරව දෙමළ, හින්දි, බුරුම වැනි භාෂාවලින් කතා කිරීමටත්, ලිවීමටත් උන්වහන්සේට හැකියාව තිබිණි. ලැටින්, ගී‍්‍රක් වැනි භාෂාවන් පිළිබඳව ද උන්වහන්සේට පුළුල් දැනුමක් තිබිණි. කාව්‍ය රචනයෙහි මෙන්ම ගීත නිර්මාණයෙහි ද චිත්‍ර, මූර්ති, කැටයම් ශිල්පයෙහිද උන්වහන්සේ සතු කුසලතාවය පූර්ව ජන්මවලින් ලද දායාදයක් වන්නට ඇතැයි අපට සිතේ. මහනාහිමි ඇඳි චිත්‍ර, ගීත, කාව්‍ය අදත් අප සතුව ඇත. වයස අවුරුදු අනූව ඉක්මවුව ද උන්වහන්සේ සතුව තිබූ පරිගණක දැනුම ඉගෙනීමට වයස බාධාවක් නොකරගත යුතු බවට මහඟු ආදර්ශයකි.

සිත පිළිබඳවත්, සිත තුළ ගොඩනගා ගත හැකි චිත්ත ශක්තිය පිළිබඳවත් පෙර අපර දෙදිග ලියවී ඇති පොත පත කියැවීමෙන් ද, චිත්ත ශක්තිය ගොඩනඟාගත් විවිධ ඍෂිවරුන් මුණ ගැසී ඔවුන් හා සාකච්ඡා කර ලැබූ අධ්‍යයනය තුළින්ද චිත්ත ශක්තිය වර්ධනය සඳහා ඔවුන් අනුගමනය කළ ක්‍රියාදාමයන් ප්‍රායෝගික ව අත්හදා බැලීම් තුළින් ද, තම ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ඇත. විශේෂයෙන් වායුව, ජලය , පොළොව, ආලෝකය වැනි ස්වභාවික ශක්තීන් හා විශ්ව ශක්ති තමන් තුළට

ප්‍රවිෂ්ඨ කර ගැනීම තුළින් ඒ ශක්ති විශේෂ ය. අන්‍යයන්ගේ යහපත හා ශුභ සිද්ධිය වෙනුවෙන් යොදාගත් අවස්ථා අප බොහෝ විට දැක ඇත. නමුත් ඒ ශක්ති විශේෂය අන්‍යයන්ට ප්‍රදර්ශනය කරන්නට උන්වහන්සේ කටයුතු නොකළහ. 1896 අගෝස්තු 24 වන දින උපත ලද මහනාහිමියෝ 1998 ජූලි 18 දින අපවත් වී වදාළහ.

මහනාහිමි අපවත් වී අවුරුදු 22 ක් ගතවුව ද බෞද්ධ අබෞද්ධ හැම දෙනාගේම හදවත් තුළ ජීවමාන ව වැඩ සිටින උතුම් බුද්ධ පුත්‍රයකු ලෙස ආනන්ද මෛත්‍රෙය යන ගෞරවනීය නාමය අමරණීයත්වයට පත්ව ඇත. මේ නිසාම උන්වහන්සේ පිළිබඳව ලියන ලද පොතපත හා ලිපි ලේඛන පාඨකයා කියවන්නේ නොතින් ආසාවෙනි.

මෙවැනි උදාර චරිතාපදානයකින් පාඨකයාට ගත හැකි දේ බොහෝ ය. බුදුදහම පිළිබඳ නිවැරැදි චින්තනයක් ඇතිකර ගැනීමටත්, ජීවිත නිවැරැදි මගට යොමුකර ලීමටත්, නූතන තාක්ෂණික ලෝකය තුළ අසහනයට , ආතතියට පත් ජනතාවට සුවදායක, මානසික සැනසීමක් ලබා දීමටත් මෙම උතුම් චරිතය මහඟු පිටිවහලක් වනු ඇත.