Print this Article


එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරු වුණා

එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරු වුණා

සමාජය යනු මිනිසුන් රැසකගේ එකතුවක් ය යන්න එතරම් ප්‍රාමාණික නිර්වචනයක් නොවේ. එකී සමාජය ජීවත් වන මානවයන් අතර අන්‍යොන්‍ය සුහදත්වය මත සිදු වන ක්‍රියාකාරකම්වලින් යුක්ත වීම එය වඩාත්ම නිර්වචනය වන බව පැහැදිලි කරුණකි.

ලෝකයේ ඉතා කුඩාම සමාජ ඒකකය වන්නේ පවුලයි.

නිවහනක් තුළ ජීවත් වන මව, පියා සහ දරුවන් අතර මෙම කුඩාම සමාජ ඒකකය ක්‍රියාත්මක වෙයි. සදාදරණීය වූ මව් සෙනෙහස, පිය සෙනෙහස, දරු සෙනෙහස කුඩා නිවහනක් තුළ යහපත් ව පවතින්නේ නම්, එය මහා සමාජය සාදු සම්මත මාවතකට ප්‍රවේශ කරලීමේ ප්‍රධානතම හේතුවයි. නිවහනක් තුළ පවතින අන්‍යොන්‍ය වූ දයාබර හැඟීම් පළුදුවන හැමවිට ම එය මහා සමාජය අපවිත්‍ර වීමට ඉතා තදින් ම බලපාන කරුණක් වන්නේ ය.

ප්‍රියශීලී මනසකින් අනෙකා දෙස බැලීමෙන් දැහැමි සමාජයක් නිර්මාණය කළහැකි බව බුදු දහම අප වෙත සදූපදේශයක් සම්පාදනය කරයි. එහි දී අවශ්‍ය වන ප්‍රධානතම ගුණාංග වන්නේ ඉවසීම හා විමසීමයි. ඉවසීමත් විමසීමත් මැනවින් පුරුදු කර තිබේ නම්, තමා මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයකට සාර්ථක විසඳුම් ලබා ගත හැකි ය.

බුදු දහම උගන්වන මෙම ධර්මෝපදේශවලට අනුගතව රචනා කළ ගීතවලින් ද ගිනිගෙන දැවෙන ජීවිත සුවපත් කර ගැනීමට මහත් වූ පිටිවහලක් ලබා දෙයි. හෙන්රි කල්දේරා මහත්මා විසින් ගායනා කරන ලද මෙම ගීතය එයට කදිම නිදසුනකි.

සේවය නිමකොට තම නිවහනට පැමිණෙන ස්වාමියා ට මිදුලේ තිබෙන ලොකු පාවහන් යුගලක සටහන් දක්නට ලැබේ. තමා නිවසේ නැති අවස්ථාවක තම නිවහනට කවුරුන් හෝ පැමිණ ඇති බව ඔහු තුළ මහත් සැකයක් උපදී. මෙවැනි අවස්ථාවල සමාජයේ බොහෝ උදවිය සිය බිරිඳගෙන් ඒ බව විමසමින් කුටුම්බය විනාශ කර ගන්නා අවස්ථා කොතෙකුත් අප අසා ඇත. එහෙත් මෙම කථකයා ඉක්මන් තීන්දු තීරණ ගැනීමට නො යයි. ඒ පිළිබඳ දැඩි ඉවසීමෙන් හා විමසීමෙන් කරුණු සොයා බලයි. තම බිරිඳට සහෝදරයන් නොමැත. තමාගේ සොහොයුරා ද අසනීපයෙන් පසුවෙයි. එසේ, නම් වෙනත් පුද්ගලයෙකු තමා නිවසේ නැති අවස්ථාවේ පැමිණියාදැ යි යන සැකයක් හට ගනී. ඔහු දිනක් සැඟ වී සිට මේ පිළිබඳ ව සොයා බලයි. සිදුවී ඇත්තේ කුමක් ද? තම පුතු තමාගේ පාවහන් පලඳා මිදුලේ ඒ මේ අත ඇවිදියි. එය දුටු අවස්ථාවේ දී එතෙක් තම සිත තුළ හටගෙන තිබූ සැකය දුරු වී යයි.

තමා මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයක දී කලබල නොවී

අවුල් ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුණා
මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙළිවුණා
මගේ පාවහන් පලඳා සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුණා
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුණා

ඉවසීමෙන් හා විමසීමෙන් කටයුතු කිරීමෙන් සියලු බාධක දියුණුවේ සාධක බවට පත්කර ගැනීමට හැකි බව බුදු දහම අපට පසක් කරයි. එසේ විමසා බැලීමේ දී ඉසවසීමේ කෙළවර ඉවසීම ම බව අපට අවබෝධ කරවයි. ඉවසීමට ලොව සීමා නැත. ඉවසීමේ සීමාව නම් වෛරයයි. එසේ ඉවසීමක් අපට බුදු දහම උගන්වන්නේ නැත. “ඉවසල ඉවසල බැරිම තැන එතනයි ඉවසිය යුතුම තැන” යන සනාතන දහම වෙත අපව රැගෙන යාමට කවියා ගත් උත්සාහය අතිශයින් ම ප්‍රශස්ත බව පැහැදිලි ය.

මෙම යථාර්ථවාදී දහමින් ඈත් වී වර්තමාන සමාජය කටයුතු කිරීමෙන් බොහෝ කුටුම්බයන් විනාශ වන අයුරු කො තෙකුත් දක්නට ලැබේ.

මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ//

බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි//
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
තිබුණා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා

අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩ වැදුණා//

මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙළිවුණා
මගේ පාවහන් පලඳා සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුණා
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුණා//