Print this Article


බෞද්ධ උරුමය ගැන දරුවන්ට කියා දෙන්න

බෞද්ධ උරුමය ගැන දරුවන්ට කියා දෙන්න

මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ලොව විවිධ ඇදහීම්, ලබ්ධීන් ක්‍රියාත්මක ය. මේ සෑම ලබ්ධියකට ම පොදුවේ භාවිත කරන්නේ ‘ආගම’ කියන වචනය යි.

සිංහල, පාලි, සංස්කෘත භාෂා ව්‍යවහාරයන්ට අනුව විග්‍රහ කිරීමේ දී ‘ආගම’ කියන වචනයේ තේරුම මිතුරු ස්වරූපයෙන් පැමිණීම යන්න ය. සංස්කෘත ව්‍යාකරණ රීතියේ එය දැක්වෙන්නේ “මිත්‍ර වදාගමඞ” යනුවෙනි. එනම් මිතුරකුගේ පැමිණීම යන්න යි. වචන දෙකක් අතර පවත්නා පූර්ව අපර අකුරුවලට බාධාවක් නොකොට, මැදින් පැමිණ පිහිට වන්නා, පිළිසරණ වන්නා හෙවත් මිතුරා ය, මිතුරු ස්වරූපයෙන් පැමිණෙන්නා ය, යන අදහසයි ඉන් කියැවෙන්නේ.

බෞද්ධ ධර්මය ක්‍රියාත්මක වන ආකාරය අනුව ‘ආගම’ යන වචනය බුදු දහම වෙනුවෙන් භාවිත කිරීමට ඉතාමත් සුදුසුය. බුදු දහම කියන්නේ කිසිවෙකුට හානියක් නො කොට, ඉතාමත් මිත්‍ර ස්වරූපයෙන් පැමිණ පිහිටවන ඉගැන්වීමකි.

මීට වෙනස් ක්‍රමයක් ද වේ. ඒ ආදේශ ක්‍රමය යි. ‘සතෘ වදා දේශඞ’ ආදේශය යනු සතුරෙකු වැනියි. ව්‍යාකරණ නීති අනුව ආදේශය නම් වචන දෙකෙහි පූර්ව අපර අක්ෂර දෙක නැති කරගෙන මැදට පැමිණීම යන අර්ථය යි. ආදේශවෙනවා යන්නෙහි අදහස සතුරෙකුගේ පැමිණීමයි. මැදින් සිටින කෙනා නැති කරගෙන, විනාශ කරගෙන අලුතින් කෙනෙක් පැමිණ එතැන පිහිටීම කියන එකයි. මේ කියන ව්‍යාකරණයට අනුව නම් බුදු දහම ඒකාන්ත වශයෙන් ම ආගමකි.

ලොව වෙනත් ආගම් හි ස්වරූපය දෙස බලන විට එම ලබ්ධීන්ට වඩාත් ගැළපෙන්නේ ආදේශ කියන ස්වරූපය යි. වචනාර්ථයෙන් ගත් කල වෙනත් ලබ්ධීන්ට ‘ආගම’ යන වචනය භාවිත කිරීමට පුළුවන්කමක් නැත.

මෙහිදී අප කෘතවේදී ව සැලකිය යුත්තක් වේ. මිනිස් ශිෂ්ඨාචාර ඉතිහාසයේ බුදුදහම තරම් සමාන කළ නොහැකි වුවත් මිත්‍රශීලි ස්වරූපයෙන් ක්‍රියාත්මක වන ආගම් හෙවත් ලබ්ධීන් දෙකක් වනුයේ හින්දු සහ ජෛන ආගම් ය. හින්දු හා ජෛන ආගම් කිසිවෙකුට හානියක් නොකොට මිත්‍ර ස්වරූපයෙන් පැළපදියම් වන, ස්ථානගතවන ලබ්ධීන් ය.

මේ කරුණු සිහිපත් කළේ ඉතා වැදගත් සමාජ සංසිද්ධීන් කිහිපයක් මුල්කරගෙන ය. මේ දිනවල චීන බෞද්ධ ජනතාව අතර වන මිය ගිය වැඩිහිටියන් පිදීමේ උත්සවයක් ක්‍රියාත්මක වේ. හත්වන මාසයේ උත්සවය (Seven month Festival ) යනුවෙන් හැඳින්වෙන මෙම උත්සවයේ දී සිදු කෙරෙනුයේ මියගිය ඥාතීන්ට සැලකීම ය. ගරු කිරීම ය. චීනයට බුදු දහම ගෙන එන අවස්ථාවේ දී අවුරුදු පන් දහසකට වැඩි ශිෂ්ඨාචාරයක් ආරක්ෂා වී තිබුණි. ඒ තුළ විවිධ ඇදහීම්, පිළිගැනීම් තිබුණි. ඒ පිළිගැනීම් අතර මළවුන් පිදීම, වසරේ හත්වැනි මාසයේ සිදුකිරීම සිරිතක් ව පැවතුණි. බුදු දහම පැමිණීමත් සමඟම මේ සිරිත වඩාත් හරවත් ලෙස සංවිධානය වීමට පටන් ගැනුණි. එය ඥාතීන්ට පින් දීමේ උත්සවයක් බවට සංවිධානගත වුණි. ඒ අනුව බුදු දහම සම්බන්ධ කර ගනිමින්, චීන සංස්කෘතිය තුළ මේ උත්සවය අදටත් ක්‍රියාත්මක ය. මේ කරුණෙන් පැහැදිලි වන්නේ බුදුදහම යම් සමාජයකට ආවා නම් ඒ සමාජයේ පවත්නා සිරිත් විරිත් විනාශ නොකොට, ඒවායේ පාරම්පරික ගති සිරිත් විනාශ නොකොට, ඒවාට ධාර්මික අර්ථයක් දී ඉදිරියට පවත්වාගෙන යන ආකාරය යි.

මේ තත්ත්වය ඉතාමත් මැනවින් පෙනෙන්නේ ශ්‍රී ලාංකේ ය සංස්කෘතිය තුළ ය. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණීමට පෙර නොයෙක් විදිහේ පාරම්පරිකත ඇදහිලි ක්‍රම මෙහි ක්‍රියාත්ම වුණි. යක්ෂ, පේ‍්‍රත, අමනුෂ්‍ය වන්දනාව තිබුණි. පර්වත වන්දනාව, වෘක්ෂ වන්දනාව, මළවුන් පිදීමේ චාරිත්‍ර තිබුණි. බුදු දහම නිසා මේ විශ්වාස පුද පූජා ක්‍රම විනාශ වූයේ නැත. එහෙත් අපූර්ව දෙයක් සිදුවුණි. ඒ, මේ පුද පූජාවන්ට නව අර්ථ ලබා දීම ය. බෝධි වන්දනාව හඳුන්වා දුන්නේ වෘක්ෂ වන්දනය වෙනුවට ය .එමඟින් සිදුවූයේ වෘක්ෂ වන්දනාවේ ගතානුගතිකත්වය ඉවත් කොට නව අර්ථකථනයක් ලබා දීම ය. බෝධීන් වහන්සේට, බෝධි පූජා පවත්වන්නට ජන සමාජය යොමු වුණේ මේ බෞද්ධ සිද්ධාන්තය අනුව ය.මිය ගිය අයට පුද පූජා පැවැත්වීම වෙනුවට හත් දවසේ දානය, තුන්මාසේ දානය ආදි අලුත් චාරිත්‍රයක් බිහිවුණි. වෙනත් ලෙසකින් කියනවානම් පැරැණි සිරිත් විරිත්වලට බෞද්ධ ගතිය ආගම වුණි. මිත්‍ර ස්වරූපයක් පැමිණුනි. යාතිකා, යාග හෝම වැනි පුද වලට සෙත් පිරිත ආගම විය. එය සිරිත් සෙත් පැතීම බවට පත්වුණි. ඒ වගේම ලංකාවේ මන්ත්‍ර ශාස්ත්‍ර නිර්මාණය වූවා නම් ඒවාට ද බුදුගුණ මුල් විය. මේ සියල්ලක් ම ආධ්‍යාත්මික සංවර්ධනයට පාදක විය. ඒ නිසා ම අපි බුදු දහම ආගමක් ලෙස හඳුන්වමු.

විදේශීය ආක්‍රමණයන් සමඟ අපේ රටට පැමිණි ඇතැම් ලබ්ධීන්ගේ ස්වරූපය ආදේශ වීම ය. සතුරු ස්වභාවයක් ගැනීම ය. එනම්, ඒවා තිබෙන සම්ප්‍රදායට විරුද්ධ ය. උදාහරණ ලෙස ඇතැම් ලබ්ධීන් ප්‍රතිමා වන්දනයට විරුද්ධ ය. එහෙයින් ම ඒවා කඩා බිඳ දමා විනාශ කිරීමට ද පෙළඹේ. එමෙන් ම අනෙක් සිරිත් විරිත් ද විනාශ කරයි. අලුත් දේ හඳුන්වා දෙයි. එහෙත් ඒවා සිදු කෙරෙන්නේ බලහත්කාරයෙනි. සෑම රටක ම පාහේ දැකිය හැකි වන්නේ බලහත්කාරයෙන් ආදේශ වීමකි.

එහෙත් බුදු දහම ව්‍යාප්ත වූයේ ‘ආගම් කියන සංකල්පය තුළ ම ය. මෙහිදී අප උගත යුතු පාඩමක් වේ. චීන බෞද්ධ ජනතාව අතර හත්වැනි මාසයේ පූජාව, මළවුන්ට පින්දීම යන සංකල්පයට මාරු වූවා සේ , අපගේ ද සිරිත් විරිත්වලට බෞද්ධ ඌරුව, බෞද්ධ වර්ණය ,බෞද්ධ සිරිත්, බෞද්ධ චරිත ලක්ෂණ එකතු වී තිබේ. ඒ සියල්ල අපේ උරුමය යි. බුද්ධ වන්දනාව සඳහා මල්, පහන් ආදිය පූජා කිරීම, සෙත් ප්‍රාර්ථනා කිරීම ආදී මේ සියල්ල දර්ශනයට අදාළ ය. ඒ බුදු දහම නිසා අපේ අතීත උරුමය දීප්තිමත් වී තිබේ. අර්ථවත් වී තිබේ. ඒ අර්ථවත් වූ උරුමය අපේ දරුවන්ට ද නො මඳ ව ලබා දිය යුතු ය. මේ කරුණ තේරුම්ගත් පසු බුදු දහම කෙරෙහි තිබෙන ගෞරවයත්, සම්භානීයත්වයත් තව තවත් වඩා වර්ධනය වනු ඇත.