Print this Article


සිංහල අටුවා පාලි භාෂාවට නැඟූ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමි

සිංහල අටුවා පාලි භාෂාවට නැඟූ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමි

මෙම ලිපියේ මුල් කොටස පසුගිය අව අටවක පෝදා පුවත්පතේ පළ විය.

බොහෝ දෙනෙකගේ කුතුහලයට තුඩු දුන් වාර්තාගත සිද්ධියක් වන්නේ බුද්ධඝෝෂ හිමි, විසුද්ධි මාර්ගය ලියා එය මහා විහාරවාසී භික්‍ෂූන් වහන්සේලාට පිළිගන්වන්නට සූදානම් ව සිටිය දී දෙවියන් විසින් එය අතුරුදහන් කරනු ලැබීම ය.

නැවත දෙවන වරට ද ලියා අවසන් කොට තිබිය දී එය ද මුල් පිටපත සේ ම අතුරුදහන් වීමත්, තෙවනවර ලියා පිළිගැන්වීමට සූදානම් වූ විට මුලින් ලියූ පිටපත් දෙක ද හමු වී විසුද්ධි මාර්ගයේ පිටපත් තුන ම එළිදැක්විණ. මෙම පිටපත් තුන ම අර්ථයෙන් දල ග‍‍්‍රන්ථයෙන් ද, පූර්වාපර වශයෙන් ද, ථෙරවාදයෙන් ද, පෙළින් ද, පදයෙන් ද, ව්‍යඤ්ජනයෙන් ද වෙනසක් නො වී ය. බුද්ධඝෝෂ හිමියන්ගේ ගැඹුරු පාණ්ඩිත්‍යය හා විශිෂ්ට ලේඛන කෞශල්‍යය එමගින් මනාව පැහැදිලි වේ. ඒ දුටු භික්‍ෂූන් වහන්සේලා බෙහෙවින් තුටු පහටුවි‘නිසැකයෙන් ම මේ තෙම මෙතේ බෝසත්හු ය’’ යි නැවත නැවත කියා ඝෝෂා කොට අටුවා සහිත පිටකත‍‍්‍රය ඇතුළත් පොත් ප‍‍්‍රදානය කළ හ. පසු ව උන් වහන්සේ මහා විහාරබද දූරසංකර ග‍‍්‍රන්ථාකර පිරිවෙණ වෙසෙමින් බොහෝ සිංහල අටුවා කතා ඒ සියල්ලන් ගේ ම මූල භාෂාව වූ මාගධී භාෂාවට පෙරලූ හ. ථෙරවාදී සෑම ආචාර්යවරයෙක් ම ඒවා පෙළ පොත් තරමට ගුරුතන්හි තැබූ හ.

බුද්ධඝෝෂ හිමි වැඩ සිටි ස්ථාන අතර දූරසංකර පිරිවෙණට අමතරව මහා විහාරයට දකුණින් වූ පධානඝරය ද වෙයි. එසේම ලෝවාමහාපායේ පහත මාලය ද ග‍‍්‍රන්ථකරණයෙහි යෙදීම සඳහා උන් වහන්සේට වෙන්කර දී තිබුණි. මහා විහාරයේ ග‍‍්‍රන්ථාකරය හෙවත් පුස්තකාලය ද උන් වහන්සේට පරිහරණය කිරීමට ඉඩකඩ සලස්වා තිබුණි. මේවායෙහි වැඩ සිටි බුද්ධඝෝෂ හිමියෝ විසුද්ධි මාර්ගය සේ ම පහත දැක්වෙන අටුවා ග‍‍්‍රන්ථ ද සංස්කරණය කළ හ.

සමන්තපාසාදිකා (විනය අටුවාව)

සුමංගල විලාසිනී (දීඝනිකායේ අටුවාව)

පපංචසූදනී (මජ්ක්‍ධිම නිකාය අටුවාව)

සාරත්ථප්පකාසිනී (සංයුත්ත නිකාය අටුවාව)

මනෝරථ පූරණී (අංගුත්තර නිකාය අටුවාව)

කංඛාවිතරණී (ප‍‍්‍රතිමෝක්ෂ අටුවාව)

පරමත්ථජෝතිකා (ඛුද්දක පාඨ අටුවාව)

ධම්මපදට්ඨකථා

ජාතකට්ඨකථා

අත්ථසාලිනී (ධම්මසංගණී අටුවාව)

සම්මෝහවිනෝදනී (විභංග අටුවාව)

පරමත්තදීපනී (පංචප්පකරණ අටුවාව)

මෙම ග‍‍්‍රන්ථවල විශාලත්වය හා විවිධත්වය ගැන සලකන විට ඒ සඳහා දැරූ පරිශ‍‍්‍රමය කෙතෙක් බැරෑරුම් වූවක් ද යන්න වටහාගත හැකි ය.

බුද්ධඝෝෂ හිමි අටුවාකරණයේ දී භාවිත ක‍‍්‍රම ශිල්ප කිහිපයක් සමන්ත පාසාදිකාවේ සංක්‍ෂිප්තව දැක්වෙයි.

මුල් කෘතියේ බස බැහැර කිරීම

හෙළටුවාවල පැවති ප‍‍්‍රමාද ලියවීම් බැහැර කිරීම

දිගු විස්තර බැහැරලා සංක්‍ෂිප්ත කිරීම

තත්කාලීනව පැවති සියලූ විනිශ්චයන් ඇතුළත් කිරීම

පාලි භාෂාවේ ව්‍යාකරණ විධි නො ඉක්මවීම.

මේ අනුව බුදුගොස් හිමියෝ පාලි අට්ඨකථා රචනා කළේ හුදෙක් හෙළ අටුවාවන් හි පරිවර්තන ලෙස නො ව සංස්කරණමය භාෂා පරිවර්තන ලෙසිනි. එකී පාලි අටුවාවන් ඊට සාක්‍ෂි දරයි. බුදුගොස් හිමි භාවිත කළ එකී ක‍‍්‍රමවේදය ම උන් වහන්සේ ගෙන් පසුව පාලි අටුවා ලියූ ආචාර්යවරු ද භාවිතයට ගත් හ. පාලි අටුවා පොත්වලින් අඩකටත් වඩා සපයා ඇත්තේ බුදුගොස් හිමියන් ය බෞද්ධ අට්ඨකථාචාරීන් අතර උන් වහන්සේ ශ්‍රේෂ්ඨතමයා ය. එකී උත්තරීතර චරිතය වටා විවිධ ජනප‍‍්‍රවාද ගෙතී ඇත්තේ ඒ නිසා ම ය. උන් වහන්සේ ලොව පහළ වූයේ බුදුරදුන් ගේ පර්යාප්ති ශාසනය දීර්ඝ කාලයක් නිර්මලව පවත්වාගෙන යාම සඳහා පාලි අට්ඨකථා රචනා කිරීමට ය. යන ජනප‍‍්‍රවාදයක් ද ඇත. ඒ නිසා ම ලංකාවේ අටුවා ගැන කතා කරන සෑම තැනෙක ම බුද්ධඝෝෂ හිමියන් ට‘ අටුවාචාරීන් වහන්සේ’’ යන උත්තම අභිධානයක් යොදා ගැනෙයි.