Print this Article


නිවනින් නිවී සැනසුණ චාලා මහ රහත් තෙරණිය

නිවනින් නිවී සැනසුණ චාලා මහ රහත් තෙරණිය

පෙර බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනවල බොහෝ පින්දහම් සිදුකර දෙව්, මිනිස් දෙගතියේ බොහෝ සැප විඳ කරන ලද පින් මහිමයෙන් මගධ රටේ නාලක බමුණු ගමේ රූපසාරි බැමිණියගේ කුසේ පිළිසිඳගෙන මෙලොව එළිය දුටු ඒ කුමරිය චාලා නමින් හැදී වැඩුණා.

ඒ චාලා කුමරිය අප ධම්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කල නැගණියකි. උන්වහන්සේට නැගණිවරු තිදෙනෙක් සිටියා. ඒ චාලා, උපචාලා, සීසුපාචාලා ලෙසින්. වයසින් මුහුකුරා යත්ම ඒ සොහොයුරියන්ට ගිහිගෙය ගිනි ගොඩක් සේ දැනුණා. තම සොහොයුරා ගිය මඟ ගොස් බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගැනීමට ඒ තිදෙනා ම තීරණය කළා.

එහෙත් බමුණු මත කරපින්නාගෙන සිටි රූපසාරි බැමිණියත්, වඩ්ගත්ත බමුණාත් එයට තදින්ම විරුද්ධ වුණා.

”අප බමුණු පරම්පරාවෙන් පැවත එන්නේ. බමුණෝ තමයි මහා බ්‍රාහ්මයාගේ කටින් උපන්නේ. එහෙම පරම්පරාවකින් එන අපට නුඹලා මෙසේ නිගා කරන්නේ ඇයි? අප ගේ වැඩිමහලු පුත්‍රයා මේ මහා ධනස්කන්ධයක් අතහැර දමා පැවිදි වීමට ශ්‍රමණයන් වෙත ගියා. මේ ධනයෙන් ඇති ඵලය කුමක්ද? කියායි ඔහු අපගෙන් ඇසුවේ. අපගේ බමුණු කුලය ඉදිරියට ගෙන යන්න සිටියේ ඔහුයි. ඉතා දක්ෂ කීකරු අපේ දරුවා ශ්‍රමණයන් සොරා ගත්තා. ඒ නිසා දුවේ අඩුපාඩුවක් නො කර ඇතිදැඩි කළ අපට මෙහෙම කරන්න එපා” ඒ මව්පියන් දැඩි ස්ථාවරයක සිටියා.

චාලා කුමරිය එවිට කියනවා “පියාණෙනි, ගෞතම සම්බුද්ධ ශාසනය මේ ජීවිතයේ දී ම ප්‍රතිඵල ගෙන දෙන එකක්. අපේ සොහොයුරු සාරිපුත්ත මහරහතන් වහන්සේ සියලු දුකෙන් නිදහස් වුණේ බුද්ධ ශාසනය නිසයි. එහි ලාමක ධර්ම විනයක් නොවේ තිබෙන්නේ. දුක් විඳින මේ සසරින් එතෙර වීමට තිබෙන එකම නෞකාව බුද්ධ ශාසනය යි. අප ද ඒ නෞකාවට ගොඩවීමට මහත් වූ ආශාවෙන් සිටින්නේ” .

ඇගේ බසට මව්පියන් මහත් සේ කෝප ගත්තා. ඒ වගේම දැඩි සේ විරුද්ධ වුණා.

චාපා කුමරිය තම නැඟණිවරුන්ට කියනවා “අපට කවදාවත් මව්පියන්ගේ අවසරයෙන් පැවිදි වීමට බැරිවේවි. ඒ නිසා අප ඔවුන්ගේ අවසරයක් නැතිව ම මේ ගිනි ගොඩක් වන් ගිහි ගෙය අතහැර දමා සදා සැපය ඇති ඒ අකාලික මුනි දහම තිබෙන බුද්ධ ශාසනයේ පැවිදි වෙමු” කියා.

එයට එකඟ වූ උපචාලා, සීසුපචාලා ගිහි ගෙය හැරයන්නට සූදානම් වුණා. “අප දමා යන්න එපා කියා “ සියලු දෙනා හඬා වැටෙද්දී ඔවුන් තිදෙනා භික්ෂුණී ආරාමය වෙත ගොස් පැවිදි වුණා.

චාලා තෙරණිය පිරිසගෙන් ඈත්ව කෙලෙස් තවන වීර්ය ඇතිව විදසුන් වඩා නොබෝ කලකින් සියලු සකල කෙලෙස් ප්‍රහානය කර මහරහත් භාවයට පත්වුණා.

නිවනෙහි ඇති සුවය විඳිමින් සිටින චාලා තෙරණිය දිනක් සැවැත් නුවර පිණ්ඩපාතයේ වැඩම කළා. පසුව විවේක සුවය සඳහා අන්ධ වනයට වැඩම කළා. ගසක් මුල සමාධි සුවයෙන් දවල් කාලය ගත කළා. මෙය දුටු පාපී මාරයා එතුමියගේ බ්‍රහ්මචාරි ජීවිතය මඟ හරවණු පිණිස එතුමිය වෙත පැමිණ,

”පින්වතිය, ඔබ කවුරුන් උදෙසා පැවිදි වුයේ ද? මට නම් පෙනෙන්නේ භික්ෂුණියක් වගෙයි. ඇයි තාපසියක් වෙන්න අකැමැති. මෝහයෙන් මුළා වෙලාද ඔබ මේ ඉන්නේ?

චාපා තෙරණිය දෑස් හැර මේ කවුරු ද කියා බැලුවා. එතුමිය දුටුවා තමා ඉදිරියේ සිටින්නේ පාපී මාරයා බව. එතුමිය උදානයක් ලෙස මෙසේ වදාළා.

මාරය, තාපසියන් සිටින්නේ බුදු සසුනේ නොවේ. ශාසනයෙන් බැහැරව යි. ඔවුන් නොයෙක් මත වාදවල එල්ලී ගෙනයි ඉන්නේ. ඒනිසා ඔවුන්ට මේ ධර්මය තේරෙන්නේ නැහැ. තාපසියන් මේ ධර්මයට අදක්ෂ යි.

මාගේ ශාස්තෘන් වහන්සේ ශාක්‍ය කුලයේ ඉපදුණ අසහාය ගුණ සමුදායක් තිබෙන උත්තමයෙක්. උන්වහන්සේ මට සියලු මිථ්‍යා දෘෂ්ඨියෙන් බැහැර කරන ධර්මය උගන්වා වදාළා.

උන්වහන්සේ මට දුක, දුක හට ගැනීම, දුක ඉක්මවා යන ආකාරය වගේම ඒ දුකෙන් නිදහස් වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් දේශනා කොට වදාළා. ඒ මිහිරි දහම මටත් අසන්නට ලැබුණා. ඒ වචනය පිළිගත් මම මේ සසුනට බැඳිලයි වාසය කරන්නේ. මමත් උතුම් සසුනේ ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.

මම දැන් හැම දෙයක් ගැනම ආශාව නැතිව ඉන්නේ. මෝහන්ධකාරය සුනුවිසුණු කර දැමූ මම ගැන ඔබ දැනගන්න ඕන ඔය ආකාරයට යි. මාරය මේ කරුණේ දී නැසුණේ ඔබම යි.

එය ඇසූ මාරයා මහත් දොම්නසට පත්ව "මේ භික්ෂුණිය නම් මගේ දැලට හසු නො වෙන, මා ඉක්මවා ගිය උත්තමාවියක්" යැයි සිතා එතැනින් අතුරුදහන් වුණා.