Print this Article


හැරයාම

හැරයාම

පටාචාරාවෝ සැවැත්නුවර නුවර හතලිස් කෙළක් ධනයකට හිමිකම් කියන සිටුවරයකුට දාව උපන් රූමත් දියණියකි.මනා වූ රූප සම්පත්තියෙන් යුක්ත වූ ඕ තොමෝ තුරුණු වියට පත් වූ පසු සිටුගෙදර මෙහෙකාර සේවයේ යෙදුණු දාසයෙකු සමඟ රහසිගත ප්‍රේමයකට අත්පොත් තබන ලදී.

දාසයා කෙරෙහි වූ සෙනෙහසින් තම මවුපියන්ටත් නොදන්වා රහසේම පටාචාරාවෝ ඔහු සමඟ පිටිසර ගමකට පලා ගියේය .

අනේක විධ දුක්ඛ දෝමනස්සයන් ට මුහුණ දෙමින් ජීවත් වූ පටාචාරවන් ට නොබෝ කලකින් සිය පළමු දරුවා ලැබෙන්න ට විය. එබැවින් ඇය මව කරා යෑමට සිය ස්වාමිපුරුෂයාගෙන් විමසූ විට ඔහු ඊට අවසර ලබානොදුන්නේ ය. මන්ද තමන් කළ වරදට දඬුවම් ලැබෙනු නියත බව දැනගෙන ය.

තම බිරිඳගේ බලවත් ඇවිටිල්ල නිසා ගමනට යාමට පිටත් වුවත් අතරමගදී දරු ප්‍රසූතිය වූ බැවින් නැවත වාසස්ථානය වෙත ගියේ ය. නැවත කල්යත්ම ඇය දෙවන දරු උපතට සූදානම් විය. එවර ද කලින් පරිද්දෙන්ම මාපියන් බැහැදැකීමට යාමේදී එම දරුවාත් ප්‍රසූත කරන්නට සිදුවිය. එදා ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට විය. එලෙසම වර්ෂාවෙන් අලුත උපන් දරුවා ආරක්ෂා කරගත යුතු බැවින් සිය සැමියා කොළ අතු කිහිපයක් කඩාගෙන විත් ආවරණයක් තනන්නට සිතා වනයට ගියේ ය. එවිට ඔහු අතු කපමින් සිටි ගස ළඟ වූ තුඹසකින් පැමිණ නාගයෙකු කෝපාවිෂ්ඨ ඔහුට දෂ්ට කළේය.

තම සැමියාගේ ප්‍රමාදය නිසා ඇය සිය වැඩිමහල් දරුවා ද අතින් අල්වා ගෙන එදින උපන් දරුවා තුරුලු කරගෙන හිමියා සොයා ගියා ය . එහිදී ඔහු මියගොස් සිටිනු දැක හඬා වැලපී කිසිවෙකු ගේ පිළිසරණක් සොයා ඉදිරියට ගියා ය. හිරු උදාවිය. අතරමග වූ ගඟකින් එතෙරවීම ට සිදුවූයෙන් ඇය ප්‍රථමයෙන් අලුත උපන් බිළිඳා එතෙරට ගෙනගොස් රෙද්දක දවටා ඉවුරේ තබා වැඩිමහල් දරුවා එතෙරට රැගෙන යාමට ගඟට බසිත්ම, ඉහළ අහසේ වූ උකුස්සෙකු පැමිණ ලේ කැටි බිලිඳා රැගෙන යනු දුටු පටාචාරා වෝ කලබල වී අත්පුඩි ගසන්නට විය.එය දුටු වැඩිමහල් දරුවා තමන්ට මව කතාකරනවායැ යි සිතා දියට බසිත්ම ඔහු දිය පහරක ගසාගෙන යන්නට විය.

දරුවන් හා සැමියාගේ අහිමි වීමෙන් බලවත් වූ ශෝකයට පත් පටාචාරා වෝ තම මාපියන් සොයා යන්නට විය.එහි යන අතරමග දී ඇයට අසන්නට වූයේ, පෙරදින රාත්‍රියේ වැටුණු වර්ෂාවෙන් සිටුගෙය බිඳ වැටී සියල්ලෝම මරණයට පත් වූ බවයි.

තම එකම පිළිසරණ වූ මවුපියන් මියගොස් තිබූ නිසා ඇය සිහි විකල්ව ඇඳීවත පවා අමතක ව පිස්සියක මෙන් නගරය පුරා වියරුවෙන් දිවයන්නට විය.

බොහෝ දෙනා ගේ නින්දා අපහාසයන්ට ලක් වූ ඇය එක් මනුෂයයෙකු ගේ මග පෙන්වීමෙන් බුදුරදුන් වෙත එළඹුණාය.

එහිදී බුදුන් වහන්සේ ගේ මහා කරුනා ගුණය නිසා ඇය පියවි සිහියට විත් සියල්ල තේරුම් ගන්නට විය.පසුව එහි වූ පිරිසෙන් ඇයට සලුවක් ලැබුණි. පියවි සිහියට පැමිණ තිබූ ඇය එය හැඳගත්තා ය.

සිය අත්දැකීම් තුළින් ජීවිතයේ අනිත්‍ය තාවය මෙනෙහි කළ ඇය දිනක තමා පය සේදූ දිය පොළොව විසින් උරා අවසන් වනු දැක සියලු සංස්කාරධර්මයෝ ද මෙසේම ක්ෂය වී යන බව දැන අවබෝධ කරගත්තා ය.එකෙනෙහ ිම රහත් බවට පැමිණි ඕ තොමෝ පසුකල බුදු සසුනේ විනයධර භික්ෂූණීන් අතර අග්‍රස්ථානය ලැබුවා ය.