Print this Article


බුද්ධ පූජාවේ ලුණු ඇඹුල් බැලීම හොඳ ද? නරක ද?

බුද්ධ පූජාවේ ලුණු ඇඹුල් බැලීම හොඳ ද? නරක ද?

බුදුන් වහන්සේට සමාන උතුමාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවේ ම නැත. ඒ නිසාම උන්වහන්සේ අසම සම නම් වන සේක. ඒ උතුමාණන් වහන්සේට භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකා ආදී සිව් වණක් පිරිස විසින් මල්, පහන්, සුවඳ දුම්, කොඩි වැල්, ආහාර පාන, පලතුරු , ගිලන්පස, පැන් ආදිය පිරිනමා වැඳුම් පිඳුම් කරනු ලබති. බෝසතාණන් වහන්සේ දුෂ්කර කි‍්‍රයා කරන කාලයේ දෙව් බඹුන් ආදී පිරිස දිව්‍ය ඕජාවන්ගෙන් පවා බෝසත් සිරුර පෝෂණය කිරීමට සූදානම් වූහ.

බෝසතාණන් වහන්සේ වනගතව වාසය කරන කාලයේ වන සිවුපාවුන් පවා ආහාර පාන පූජා කළ අවස්ථා ද සම්බුදු සිරිතේ සඳහන්ව ඇත. දුප්පත් , පොහොසත්, ජාති , ආගම්, කුල මල භේද ආදී සීමාවන් නැති බුද්ධ පූජාව ජීවමාන බුදුන් වහන්සේගේ කාලයේ සිටම සිදු කරන ලදී. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වන දිනයේ දී වැළඳූ ප්‍රථම දානය වන සුජාතාවගේ කිරිපිඬු දානයත්, පිරිනිවන් පාන දිනයේදී වැළඳූ අවසන් දානය වන චුන්දසූකරගේ සූකරමද්දවයත් පිරිනැමූ පින්වතුන්ට සමාන ඵල සමානානිසංස ලැබෙන අතර එය සෙසු පිණ්ඩපාතයන්ට වඩා මහත්ඵල මහානිසංස වැඩි බවත් පරිනිර්වාණ සූත්‍රයෙහි වදාරා ඇත.

බුදුන් වහන්සේ අද ජීවමානව නොසිටියත් ජීවමාන බුදුන් වහන්සේ සේ සලකා සම්බුදු පිළිරුවට,සැදැහැති බෞද්ධයෝ ආහාර පාන ආදියෙන් බුද්ධ පූජාව තබන්නේ ගෞරව බහු මානයෙනි. විහාරස්ථානයකදී , නිවසක හෝ දානමය අවස්ථාවකදී උයා පිහා ගත් කොටසේ අග්‍ර වූ ආහාර කොටස බුද්ධ පූජාව වශයෙන් තැන්පත් කරනු ලැබේ.

කෙනෙකු ගේ ශ්‍රද්ධාව වැඩිවෙන තරමට , පුණ්‍ය සිතිවිලි , කුසල සිතිවිලි පෝෂණය වන තරමට,සිතේ පිවිතුරු බව ඇතිවන තරමට බුද්ධ පූජාව අර්ථාන්විත ය. අඳුරට යොමු වූ පාපී සිත මෙවැනි ආමිස පූජාවන්ට මූලික තැන දෙමින් බෞද්ධකම අර්ථවත් කරගැනීමට ඉවහල් වේ. බුද්ධ පූජාවෙන් අපේක්ෂා කරනු ලබන්නේ බුදු පියාණන් වහන්සේ සිහියට නඟාගෙන හෙවත් අරමුණු කරගෙන සිත සාදා ගැනීමේ වැඩ පිළිවෙළකි. ‘මාර්ටිං වික්‍රමසිංහ ශූරීන් බෞද්ධයාගේ බුද්ධ පූජාව , බුද්ධ වන්දනා, දානා මාන පින්කම් බෝධි පූජා කලාත්මක භාවනා වශයෙන් හඳුන්වා ඇත්තේ එහෙයිනි.

ආමිස පූජාවක් වන බුද්ධ පූජාව ප්‍රතිපත්ති පූජාවක් සඳහා පූර්ව කෘත්‍යයක් ද වෙයි. ගසක් සවි බල වීමට නම් එහි ඵලය හා අරටුව වැදගත් ය. බෞද්ධ ජීවිතයේ ඵලය ආමිස පූජාව වන අතර එහි අරටුව ප්‍රතිපත්ති පූජාව යි. බුදුන් වහන්සේ ඇතැම් අවස්ථාවල දී ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බවත් ,ආමිස දායාදයට වඩා ධර්ම දායාදය වැදගත් බවත් දේශනා කර ඇත. මේ බුද්ධ වචනය ඇතැම් අය වරදවා අර්ථ කථනය කළ ද එය ධම්ම පදට්ඨ කථා ධම්මාරාම වත්ථුවෙහි මෙසේ සඳහන් කර ඇත. ‘මල් සුවඳ ආදියෙන් මට පුද පූජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නොවෙත්. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ වෙත් යනුවෙනි.

බුදුන් වහන්සේට ලැබෙන ප්‍රත්‍ය පහසුකමක හෝ බුද්ධ පූජාවේ අඩු ලුහුඬු කමකට හෝ එහි රසයට හෝ නොඇලෙති. එය සම සිතින් විඳ දරා ගැනීම අසම සම වූ බුදුපියාණන් වහන්සේගේ සිරිත ය. එහෙත් පෘතග්ජන අපට ලුණු ඇඹුල් රසය නැතිනම් ආහාර අනුභව කිරීමට අපහසු ය. බුද්ධ පූජාවට තබන ආහාරයෙහි ඇතැම් බෞද්ධයන් ලුණු ඇඹුල් රසය බලන අතර තවත් සමහරෙක් එසේ කිරීම සුදුසු නැති බව දක්වති . එය බොහෝ විට සිදු වන්නේ කරුණු වරදවා වටහා ගැනීම හෝ තම චිත්ත සන්ථානයේ පැන නඟින ශ්‍රද්ධාවේ අඬු ලුහුඬුකම නිසා විය හැකි ය.

සෑම දෙයකටම මුල් වන්නේ තම සිත ය. එය ‘චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ බුද්ධ වචනයෙන් පසක් වෙයි. සිතේ ශ්‍රද්ධාව ඇති නම්, තබන බුද්ධ පූජාව පිළිවෙළට, පිළිවෙතින්, ප්‍රණීතව තැබිය යුතු ය. එවන් ප්‍රණීත වූ බුද්ධ පූජාවක් සඳහා පිසින ආහාරයෙහි ලුණු ඇඹුල් රසය බැලීම වරදක් නැත. වරද ඇත්තේ දිවට දැනෙන රසය අල්ලා ගනිමින් ලුණු ඇඹුල් රසය නිතර නිතර බලමින් ආහාරය ගිජු ලෙස අනුභව කිරීම ය. රසය උපාදානය නොකිරීමට උත්සාහවත් කිරීම සෑබෑ බෞද්ධයාගේ පිළිවෙත ය. සෑම පින්කමක්ම කළ යුත්තේ ප්‍රඥාව මූලික කරගෙන ය. ඒ අනුව ආමිස පූජාවක් වන බුද්ධ පූජාව ශ්‍රද්ධාව හා ප්‍රඥාව පදනම් කරගෙන තැබිය යුතු අතර එහි ලුණු ඇඹුල් රස බැලීම ද කළ යුත්තේ ප්‍රඥාගෝචරව ය.