Print this Article


අටලෝ දහම ජීවිතයට සවියකි

අටලෝ දහම ජීවිතයට සවියකි

මුලු ජීවිතය විදහාලන කුඩයක් ය
අටලෝ දහම එහි එක එක නනයන් ය
මිනිසා විසින් එය උසුලන කණුවක් ය
මරණය කුඩය අකුලන පොඩි ඇණයක් ය

සුළු දෙයකට පවා කම්පාවීම බොහෝ දෙනාගේ ස්වභාවය යි. බුදුරජාණන් වහන්සේ අපට අභියෝග, බාධක ජය ගෙන ජීවිතය පිළිවෙළට ඔපවත් කර ගන්නා ආකාරය ධර්මය තුළින් පෙන්වා දී ඇත. ලොව ජීවත් වන සියලු සත්ත්වයනට පොදුවේ බලපාන ධර්මයකි අටලෝ දහම. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ ප්‍රමුඛ කොටගත් ඕනෑම තරාතිරමක ජීවත් වන කෙනකුට වුව ද, මෙම අෂ්ටලලෝක ධර්මය පොදුවේ බලපාන බව සනාථ වේ.

ලාභෝ අලාභේ-අයසෝ යසෝ ච
නින්දා පසංසා ච-සුඛං ච දුක්ඛං
එතේ අනිච්චා මනුජේසු ධම්මා
අසස්සතා විපරිනාම ධම්මා

ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සුඛය, දුක්ඛ යන මේ ධර්මයෝ සත්ත්වයන් කෙරෙහි පෙරැළෙන ස්වභාවයෙන් යුක්ත ය. මෙම ධර්ම අට හරියටම චක්‍රයක් මෙන් ලෝක සත්ත්වයා වෙත සුබ, අසුබ දෙ අංශයෙන් ම විපාක දෙන්නේ ය. එයින් පැන යෑමට කිසිවකුටත් නොහැකි ය. ලාභයක් ලැබෙන තැන අලාභය ද ඇත. ඒ ආකාරයෙන් සැප ළඟ දුක ද, යසස ළඟ අයස ද, ප්‍රශංසාව ළඟ නින්දාව ද පවතී. එසේ වුව ද සමහර අයට මෙහි යථාර්ථය අවබෝධ කර ගැනීමට අපහසුවීම හේතු කොටගෙන සිත කම්පාවට පත් කරගෙන නොයෙක් ප්‍රශ්න ගැටලු ඇති කර ගන්නවා පමණක් නොව ජීවිතය ද අහිමි කරගන්නා අවස්ථා නැතිවා ම නොවේ.

සිහි නුවණින් යුතු පුද්ගලයා නම් වෙනසට බඳුන් වන මෙම අටලෝ දහම ගැන නුවණින් දැක එතුළින් කම්පාවට පත් නොවේ. එම දහම් තුළින් පණ්ඩිතයාගේ සිත නො කැළැඹෙන අතර, ඒ කෙරෙහි ඇලීමට ද ගැටීමට ද පත් නොවේ.

ලාභය ළඟ අලාභයත්, කීර්තිය ළඟ අපකීර්තියත් පවතින බව සිතන්නේ සීමිත පිරිසකි. සැපක් ලැබුණ තැන එයින් උදම් වී එය තමයි ජීවිතය කියා සිතන්නට වැඩි දෙනෙක් පුරුදු වී සිටිති. ඒවා ලැබෙනවාත් සමඟ ම එහි අනෙක් පැත්තත් ලැබෙන්නට හැකියාව ඇති බව සිතන්නේ පණ්ඩිතයන් ය. කන්දක් නැග්ගොත් පල්ලමක් ද ඇත කියා කියමනක් තිබේ.

පණ්ඩිතයාගේ සිතෙහි කිසිම මොහොතක අටලෝ දම් කෙරෙහි විරෝධයක් නූපදී. ඔහු නිවැරැදි ලෙස එහි ඇති ස්වභාවය දැකීමට සමර්ථ වේ. කෙලෙස් නැති කල ශෝක නැති කල නිර්වාණාවබෝධය කරා යෑමට ඔහු උත්සාහ කරයි.

මේ ආකාරයෙන් බලන කල අටලලෝ දහම ලෝක ධර්මතාවක් බවත්, අප කැමැති වුව ද, අකැමැති වුව ද එයට මුහුණ දීමට සිදුවන බවත් පැහැදිලි ය. එම දහම් අට බුදුරජාණන් වහන්සේ උදෙසා ද නොයෙක් අයුරින් බලපෑ ආකාරය බුද්ධ චරිතය පරිශීලනය කිරීමෙන් දැන ගත හැකි ය. වේරංජාවේ වස් විසීම, චිංචි මානවිකාව බුදුරදුනට අභූත චෝදනා නඟමින් කුසෙහි දර මිටියක් බැඳගෙන ඒම, තීර්ථකයන්ගේ් නො මනා හැසිරීම, දේවදත්ත තෙරුන්ගේ් තර්ජන ගර්ජන හා තාඩන පීඩන ආදී නොයෙක් දේ තුළින් බුදු හිමිට ද අටලෝ දහමට මුහුණ දීමට සිදු විය.නමුදු කිසිදු තැනක දී බුදුරදුන් කම්පා වූ බවක් හෝ, උදම් වූ බවක් හෝ දක්නට නොලැබේ.

එය මුළු බුද්ධ චරිතය පුරාම දැකිය හැකි සුවිශේෂි කරුණකි. එය මහරහතුන් ඇතුළු ආර්ය ශ්‍රාවකයන් තුළ ද දක්නට ලැබේ.

අටලෝ දහමෙහි කම්පා නොවී සිටීමට හැකිනම් ඔහු බුද්ධිමතෙකි පණ්ඩිතයෙකි. ඔහුට අටලෝ දහම ජීවිතයට සවියක් මිස බාධකයක් නො වනු ඇත. කම්පා නො වී ජීවිතයක් ජයගත හැක්කේ කෙසේද? බුදුරජාණන් වහන්සේ ජීවිතයට හසුවන සියලු දේ ම සුබ අසුබ දෙඅංශයම සම්පිණ්ඩනය කොට අටලෝ දහම තුළින් දක්වා ඇත. අපට එම දෙඅංශයටම මුහුණ දීමට සිදුවේ. එක පැත්තක් පමණක් නො සිතිය යුතු ය. අටලෝ දහමට සමාන ව මුහුණ දී දෙ පැත්තෙන් එක් පැත්තක හෝ අන්තයට නො වැටී සමබර ව සිටිය යුතු ය.

කොපමණ ගල් බොරලු තිබුණත් අතරමග
යා යුතු තැනට යනවාමයි ගලන ඟග

ඒ ආකාරයෙන් ජීවිතයට එළැඹෙන සියලු ප්‍රශ්න, ගැටලු , බාධක දුක් කම්කටොලු ඉවසීමෙන් යුක්තව ජය ගත යුතු ය. ඉවසීමෙන් සැනසීම ලැබේ යන්න තුළද විශාල අර්ථයක් ගැන් වී ඇත.ජීවිත අතහැර යෑම හෝ ජීවිතයෙන් පලා යෑම නියම බුද්ධිමත් පුද්ගලයෙකුගේ ස්වභාවය නොවේ. එය බාල මෝඩ පුද්ගලයන්ගේ ස්වභාවය යි. බුද්ධිමතාගේ පණ්ඩිතයාගේ ස්වභාවය වන්නේ අටලෝ දහමට සමබර ව මුහුණ දී ජීවිතය ජය ගැනීම ය. “මා නිවත්ත අභික්කම” නො නැවතී ඉදිරියට ම යන්න. ඒ බුදු වදන ද සිත් දරාගෙන ජීවිතය ජය ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.