Print this Article


ආර්ය ශ‍‍්‍රාවක ප‍‍්‍රතිපදා 05 : සිත පිරිසුදු කරන සම්පසාදන ශ්‍රද්ධාව

ආර්ය ශ‍‍්‍රාවක ප‍‍්‍රතිපදා 05

සිත පිරිසුදු කරන සම්පසාදන ශ්‍රද්ධාව

ගෞතම ශාසනය තුළ ආර්ය ශ්‍රාවකයෙක් වූ සුප්‍රබුද්ධ ගෙදර යන විට සක්දෙව් මහරජතුමා “සුප්‍රබුද්ධය, නුඹ හැමදෙනා අතරම මහා පිළිකුළට ලක් වු කුෂ්ට රෝගියෙක්. ඒවගේම අසරණ දිළින්දෙක්. මම නුඹට අප්‍රමාණ රන් රිදී කහවණු වස්තු සම්පත් දෙන්නම්. බුදුරජාණන් වහන්සේ බුද්ධ නොවේ. ධර්මය ස්වාක්ඛාත නොවේ. සංඝයා සුපටිපන්න නොවේ” යි වචනයක් කියන්න යැයි ඉල්ලුවා.

ඒ ඒ අවස්ථාවල ශ්‍රද්ධාව යෙදෙන ආකාරය අනුව ශ්‍රද්ධාවේ විවිධ ප්‍රභේද තියෙනවා.අපි ඒවාත් දැනගෙන, අවබෝධ කර ගෙන සිටිය යුතුයි. එතකොටයි මේ වෙලාවේ මගේ සිතේ තියෙන්නේ මේ මේ ශ්‍රද්ධාව කියලා අවබෝධ වෙන්නේ.

පළමුවෙන් ම සම්පසාදන සද්ධාව හා සම්පක්ඛන්ධන සද්ධාව දක්වාල තියෙනවා. ඒ මෙහෙමයි.

“සා පනෙසා සම්පසාදන ලක්‍ඛණා ච සද්ධා සම්පක්‍ඛන්‍ධන ලක්‍ඛණා ච සද්ධා”

තමන්ගේ චිත්ත සන්තානයේ හට ගත් රාගාදී කෙලෙස් යටපත් කරලා, සිත මැනවින් ප්‍රසාදයට පත් කරන්නේ සම්පසාදන ශ්‍රද්ධාවයි.

මේ සම්පසාදන ශ්‍රද්ධාව හරියට සක්විති රජුගේ උදක ප්‍රසාද මාණික්‍ය වගෙයි. සක්විති රජ කෙනෙකුට මහා රත්න හතක් පහළ වෙනවා. එයින් එක රත්නයක් තමයි උදකප්‍රසාද මාණික්‍ය. මේ මැණික දියසෙවෙල් ඇති, මඩ ඇති, බොර වූ අපිරිසුදු ජලයකට බහාලුවොත් (දැම්මොත්) මොහොතකින් ඒ ජලයේ තියෙන දියසෙවෙල්, මඩ, බොර ගතිය නැති වෙලා ජලය පිරිසිදු වෙනවා. ඒ තමයි උදකප්‍රසාද මාණික්‍යයේ බලය. මේ විදියටම රාගාදී කෙලෙස් ධර්මවලින් අපිරිසුදු වෙලා තියෙන සිතේ සම්පසාදන ශ්‍රද්ධාව ඇති වුණාමත් ඒ මොහොතේ ම කෙලෙස් ධර්ම නැති වෙලා සිත පිරිසුදු වෙනවා. ඒ තමයි සම්පසාදන ශ්‍රද්ධාවේ බලය.

මෙහි ඇති උපමා උපමේය පැහැදිලි කරනව නම් එහි ජලය මෙන් සිත ද, හඳුනා ගත යුතුයි. ජලයෙහි වූ දියසෙවෙල් , මඩ බොර ගතිය මෙන් , සිතේ වු රාගාදී කෙලෙස් ධර්ම හඳුනා ගත යුතුයි, උදකප්‍රසාද මාණික්‍ය මෙන් සම්පසාදන ශ්‍රද්ධාව හඳුනා ගත යුතුයි. උදකප්‍රසාද මාණික්‍ය ජලයේ බහාලූ මෙහොතේම ජලය අතිශයින් පිරිසුදු වෙනවා. එපරිද්දෙන් ම සම්පසාදන ශ්‍රද්ධාව ඇති වුණු මොහොතේ ම රාගාදී කෙලෙස් ධර්ම යටපත් වෙනවා. කෙලෙස් සංසිඳෙනවා. සිත ප්‍රසන්න වෙනවා. සිත නිර්මල වෙනවා. සිත පිරිසුදු වෙනවා.

මේ විදියට සම්පසාදන ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ දන්දීම්, සිල්ගැනීම්, භාවනා කිරීම් සිදු කරන්න පටන් ගන්නවා.

ඉදිරියට පැනපැන කුසල් කිරීමට පොළඹවනු ලබන්නේ සම්පක්ඛන්ධන ශ්‍රද්ධාවයි. මේ සම්පක්ඛන්ධන ශ්‍රද්ධාව හරියට යුද්ධයට දක්‍ෂ නිර්භීත යෝධ භටයෙක් වගෙයි. කිඹුල්ලු , දැතිමෝරු ආදී නපුරු සතුන්ගෙන් පිරුණු ගංගාවක් වෙත පැමිණෙන බියගුළු මිනිස්සු මේ නපුරු සතුන්ට බයේ ගඟට බහින්නේ නැතිව ඉන්නවා. යුද්ධයට දක්‍ෂ යෝධ භටයා කඩුවකුත් අතට අරගෙන කිසිම බයක් නැතිව ගඟට බැහැල “බිය නොවී මා පසුපස එන්න” යි කියමින් ඉදිරියෙන් ම යනවා. ඉදිරියට එන කිඹුල්ලු ආදී සතුන්ට කඩුවෙන් කොටා වළක්වනවා. මේ විදියට එගොඩ සිටින අය මොගොඩටත්, මෙගොඩ සිටින අය එගොඩටත් ඇරලවනවා. දානාදී පින්කම් කිරීමට ඉඩ නොදී ප්‍රමාද කරවන ලෝභ ද්වේශ මෝහාදී අකුසල ධර්ම යටපත් කරනු ලබන්නේ, දානාදී පින්කම්වල සිත පෙරටුව පිහිටවනු ලබන්නේ සම්පක්ඛන්ධන ශ්‍රද්ධාවයි.

මෙහි ඇති උපමා උපමේය පැහැදිලි කරනව නම්, ගංඟාව මෙන් සිත හඳුනාගත යුතු යි. ගඟෙහි සිටි කිඹුල්ලු ආදී සතුන් මෙන් ලෝභාදී අකුසල ධර්ම හඳුනාගත යුතු යි. යුද්ධයට දක්‍ෂ යෝධ භටයා මෙන් සම්පක්ඛන්ධන ශ්‍රද්ධාව හඳුනා ගත යුතුයි.

ඊළඟට සද්දහන හා ඕකප්පන ශ්‍රද්ධාව දක්වා තියෙනවා. ඒ මෙහෙමයි. “ අපරො යො සද්දහන ලක්‍ඛණා සද්ධා ඔකප්පන ලක්‍ඛණා සද්ධා වා”

බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය කෙරෙහි ස්වල්ප මාත්‍රයකවත් කිසිදු සැකයක් නූපදවමින් විශ්වාස කිරීම, ඇදහීම සද්දහන ශ්‍රද්ධාවයි. අටුවාව එය

“ථොකමත්තම්පි සංසයං අකත්‍වා නවඅරහාදි බුද්ධගුණෙ සද්දහතීති සද්දහන සද්ධා”

යනුවෙන් හඳුන්වා තියෙනවා.

ප්‍රතිවිරුද්ධ කිසිදු පාපී ධර්මයකින් සෙලවිය නොහැක්කේ ඕකප්පන ශ්‍රද්ධාවයි. අචල ශ්‍රද්ධාව, අවෙච්චප්පසාද ශ්‍රද්ධාව යනුවෙන් හඳුන්වන්නේ ද මේ ඕකප්පන ශ්‍රද්ධාවයි. ඕකප්පන ශ්‍රද්ධාව ඇති වෙන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා තුළයි. ඒ නිසයි මේ ශ්‍රද්ධාව වෙනස් නොවන්නේ. ස්ථීරව පිහිටන්නේ. අටුවාව මෙය “මග්ගෙන ආගත සද්ධා නාම සිලාපඨවියං පතිට්ඨිත සිනෙරුවිය අචලා හොති. සා පනෙසා මනුස්සෙ ඨපෙත්‍වා දෙවමාරාදීනිපි චාලෙතුං න සක්‍කා” යනුවෙන් හඳුන්වා තියෙනවා.

සෝවාන් ආර්ය මාර්ගයෙන් ඇති වුණු මෙම ශ්‍රද්ධාව සල පොළොවෙහි පිහිටි මහාමේරුව මෙන් සෙලවිය නොහැකියි. මේ ශ්‍රද්ධාව මිනිසුන්ට තබා, දිව්‍ය මාරාදීන්ටවත් සොලවා වෙනස් කරන්න බැහැ. ඒ බව සුප්‍රබුද්ධ කුෂ්ට රෝගියාගේ කතාවෙන් වඩාත් පැහැදිලි වෙනවා.

දරුණු කුෂ්ට රෝගයකින් පෙළෙන සුප්‍රබුද්ධ නම් දිළිඳු මනුෂ්‍යයෙක් රජගහනුවර වාසය කළා. වණ වූ තුවාල නිසාත්, අපිරිසිදුකම නිසාත්, ශරීරයෙන් මහා ගඳක් හමන නිසාත් මිනිස්සු මොහුව එළවා ගත්තා. මොහු රජගහනුවර මිනිස්සුන්ට අප්‍රිය වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැනකට ගිය සුප්‍රබුද්ධ ඈත කෙළවරේ ඉඳගෙන ධර්මය අහගෙන සිටියා. සෝවාන් වෙන්න මොහු තුළ තිබුණු හේතුසම්පත් දැකපු බුදුරජාණන් වහන්සේ සුප්‍රබුද්ධ ඉලක්ක කරගෙන ම ධර්මය දේශනා කළා. අවසානයේ සුප්‍රබුද්ධ සෝවාන් වුණා.

ගෞතම ශාසනය තුළ ආර්ය ශ්‍රාවකයෙක් වූ සුප්‍රබුද්ධ ගෙදර යන විට සක්දෙව් මහරජතුමා “සුප්‍රබුද්ධය, නුඹ හැමදෙනා අතරම මහා පිළිකුළට ලක් වු කුෂ්ට රෝගියෙක්. ඒවගේම අසරණ දිළින්දෙක්. මම නුඹට අප්‍රමාණ රන් රිදී කහවණු වස්තු සම්පත් දෙන්නම්. බුදුරජාණන් වහන්සේ බුද්ධ නොවේ. ධර්මය ස්වාක්ඛාත නොවේ. සංඝයා සුපටිපන්න නොවේ” යි වචනයක් කියන්න යැයි ඉල්ලුවා. මෙය ඇසූ සුප්‍රබුද්ධ “නුඹ කවරෙක්දැයි” අසා සක්දෙව් රජතුමා බව දැන “ශ්‍රක්‍ර දේවේන්ද්‍රය, නුඹ ලජ්ජා නැති මහා අන්ධ බාලයෙක්. මෙවැනි අපරාධ කතා කියන නුඹ මා හා කතා කරන්නවත් සුදුසු නැහැ. නුඹ මට අසරණ දිළින්දෙක් යැයි පැවසුවා ට හොඳීන් දැන ගන්න. මම ශ්‍රද්ධාදී සප්ත ආර්ය ධනයෙන් ආඪ්‍ය වූ මහා පෙහොසතෙක්. මහා ධනවතෙක්. නුඹ වැනි එක ශ්‍රක්‍රයෙක් නෙවෙයි ශ්‍රක්‍රයන් දහසක් ආවත් මාගේ ශ්‍රද්ධාව වෙනස් කරන්න, සොළවන්න නොහැකියි කියමින් උදම් ඇනුවා. මෙය ඇසූ ශ්‍රක්‍රයා එතනින් ඉක්මණින්ම අතුරුදහන් වුණා. බලන්න ඕකප්පන ශ්‍රද්ධාව කෙතරම් බලවත් ද, ස්ථීර ද කියලා.