Print this Article


ආර්ය ප්‍රතිපදාවට ළං වෙමු

ආර්ය ප්‍රතිපදාවට ළං වෙමු

" ඉපදුණා නම් ලෙඩවීම, දිරාගෙන යෑම, මරණයට පත්වීම, වෙන්වීම සිදු වෙනවා. අප කැමැති පරිදි කිසිවක් සිදුවන්නේ නැතැයි කියමින් හැඬීමෙන් මේවායින් ගැලවෙන්න බැරි බව පැහැදිලියි. මුළු ජීවිත කාලය පුරාම හඬ හඬා වැළපෙමින් සිටියත් ප්‍රතිඵලයක් නොවන බව නම් පැහැදිලියි. අපට කළ හැකිව පවතින්නේ ලද ජීවිතය තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට උරුම බව දැනගෙන සද්පුරුෂව, පස්පව්, දස අකුසලයන්ගෙන් බැහැරව, ලෞකික ලෝකය තුළ නිවැරැදි මඟකි ජීවිතය පවත්වා ගැනීමයි. ධර්මාවබෝධය පිණිස මාර්ගය සකසා ගැනීමයි. ඒ අවබෝධය ඔස්සේ ජීවිතය පවත්වන විට දිරාගෙන යෑම තුළ අපි දකින්නේ ජීවිතයේ යථා ස්වභාවයයි. ලෙඩදුක් ඉදිරියේ අපි දකින්නේ ද, ජීවිතයේ යථා ස්වභාවයයි."

අතීත පුණ්‍ය ධර්මයන්ගේ විපාකයක් ලෙස ඔබට යමක් ලැබිය හැකි ය. යමෙක් මුණ ගැසිය හැකිය. ඒ ලැබූ දේ අතර ඔබේ නීරෝගීකම, පෙනුම, සහජ හැකියාවන් ද තිබිය හැකි ය.

ඒ වගේ ම ඔබට උපතින් ම මුණ ගැසුණු මව්පියන්, පසු කලෙක සොහොයුරු සොහොයුරියන්, ස්වාමි භාර්යා, හිතමිතුරන්, ඥාතීන් වශයෙන් දැකිය හැකිය. ඒ වගේ ම ඔබගේ උත්සාහය, නුවණ, අධිෂ්ඨානය ඔස්සේ ඔබ ලද උගත්කම්, සම්පත්, ධනය, තනතුරු මේවා ද විය හැකි ය.

මේවා ඉදිරියේ ඔබ සිත පවත්වා ගත යුත්තේ තණ්හා මද මාන දිට්ඨීන්වලින් තොරවයි. එයට හේතුව මේ සියල්ලක් අනිච්ච, දුක්ඛ, අනත්ත නම් ති‍්‍රලක්ඛණ ධර්මයට යටත් නිසයි. එසේ නොවු‍ණොත් සසරගත පුණ්‍ය, ධර්මයන්ගේ විපාක ලෙසත්, මෙලොව ජීවිතය අධිෂ්ඨානය, උත්සාහය හා නුවණ නිසාත් ඔබ විසින් ඒ සැප යැයි ලැබූ දේ ඉදිරියේ ඔබ විසින් තෘෂ්ණාවෙන් කටයුතු කිරීම නිසා ඒවා දුක්ඛ දෝමනස්ස බවට පත්විය හැකියි.

එනම්, ඔබේ දැඩි ආශාව නිසා සම්පත් ඔබ ළඟ තිබුණත්, ලෞකික වශයෙන් ඔබ ලබාගත් දැනුමක් තිබුණත් සිත තුළ තරහව , වෛරය, අමනාපය, දැඩි ආශාව නිසා ඔබට දුකක් ඇතිවිය හැකියි. දැඩි ආශාව ඔස්සේ ඔබ ලද දේ අන් අයට අයිති වේ දෝ යන සැකය, බිය ඇතිවිය හැකියි. තමා ලද දෙයට වඩා වැඩි යමක් ලබන්නට ආශාවක් ඇතිවිය හැකියි. අන්‍යයන්ගේ දේට පවා ආශාවක් ඇති කරන අභිච්ඡා නම් වූ අකුසල ධර්මයට ඔබ යොමුවිය හැකියි. ඒ වගේ ම මදමාන දිට්ඨීන් නිසා බොහෝ දෙනාගේ අවමානයට ලක්විය හැකියි. ඒ වගේ ම ඔබට බොහෝ පිරිසක් නැතිව යා හැකියි. නිවහන තුළ ම මව්පියන්, දරුවන්, ස්වාමි භාර්යාවන් වශයෙන් විරසක විය හැකියි. එහි දී සම්මත ලෝකය තුළ සතුට ලෙස ඔබ උපයාගත්, සපයාගත් බොහෝ දේ දුකට පත්විය හැකියි. එය වඩාත් ම අපට අත්විඳීන්න සිදු වන්නේ සමීප අයගෙන් ම පවා බොහෝ විටක ඔවුු නොවුන් කෙරෙහි අසන්නට ලැබෙන අදහස් නිසා ය. අපට මොන සම්පත් ලැබී තිබුණත්, බාහිර වශයෙන් උගත්කම් තිබුණත්, බාහිර සමාජයෙන් ප්‍රශංසා තිබුණත් අප අතර සතුටක්, සමගියක්, ලෙන්ගතුකමක් නොමැතිවීම නිසා තනිකම, පාළුව, හුදෙකලාව අමනාප එවැනි සිතිවිලිවලින් හා අකුසල ධර්මයන්ගෙන් අපේ ජීවිත පිරීගත් බවයි.

ජීවිතයේ යථාර්ථය තේරුම් නොගෙන බොහෝ දෙනා අමතක කරන සැපයැයි ළංකරගන්නා දේ පවා දුක මත උරුමව පවතී. දුකට පත් නොවෙන්නට නම් සීලයෙහි පිහිටා කුසලාරම්මණයන් කෙරෙහි සිත සිහිය පිහිටුවා ගැනීම කළ යුතුයි. හටගත්ත සෑම දෙයක් ම නැතිව යන්නේ නම්, මේ සැප වුණත්, දුක වුණත් කැමැති, අකමැති කුමක් වූවත් මගේ නොවන බව ඒ තුළ මම නොවන බව මගේ වසඟයේ, මගේ ආධිපත්‍යයේ කිසිවක් නොපවත්නා බවට සිත පුරුදු කර ගැනීම අවශ්‍යයයි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූයේ මෙය ආර්ය ප්‍රතිපදාවක් හැටියටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කරන භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ වේවා. උපාසකයෙක්, උපාසිකාවක් හෝ වේවා. ඒ හැම කෙනෙක් ම ඒ ආර්ය ප්‍රතිපදාවට ළංවිය යුතුමයි.

සම්මත ලෝකය තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඉදිරියේ සත්ත්වයා බියට පත්වෙන බව සැබෑවකි. එනමුත් ඒවා සසරේ ස්වභාවය බවත්, උපදින සියලු සත්ත්වයන්ට උරුමවන දේ බවත්, භාග්‍යවතුන් වහන්සේ ජීවිත කතාවේ මුල් අවස්ථාවේදී ම සිතන්නට යැයි අපට මහා කරුණාවෙන් දේශනා කළා.

ඉපදුණා නම් ලෙඩවීම, දිරාගෙන යෑම, මරණයට පත්වීම, වෙන්වීම සිදු වෙනවා. අප කැමැති පරිදි කිසිවක් සිදුවන්නේ නැතැයි කියමින් හැඬීමෙන් මේවායින් ගැලවෙන්න බැරි බව පැහැදිලියි. මුළු ජීවිත කාලය පුරාම හඬ හඬා වැළපෙමින් සිටියත් ප්‍රතිඵලයක් නොවන බව නම් පැහැදිලියි. අපට කළ හැකිව පවතින්නේ ලද ජීවිතය තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට උරුම බව දැනගෙන සද්පුරුෂව, පස්පව්, දස අකුසලයන්ගෙන් බැහැරව, ලෞකික ලෝකය තුළ නිවැරැදි මඟකි ජීවිතය පවත්වා ගැනීමයි. ධර්මාවබෝධය පිණිස මාර්ගය සකසා ගැනීමයි. ඒ අවබෝධය ඔස්සේ ජීවිතය පවත්වන විට දිරාගෙන යෑම තුළ අපි දකින්නේ ජීවිතයේ යථා ස්වභාවයයි. ලෙඩදුක් ඉදිරියේ අපි දකින්නේ ද, ජීවිතයේ යථා ස්වභාවයයි. අවශ්‍ය පරිදි බෙහෙත් හේත් ලබාදීම නිසි පෝෂ්‍යදායි ආහාර ලැබීම ඔබේ වචනයෙන් ව්‍යායාමයන්ට ආදිය යොමුවීම. නිසි සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් අනුගමනය කිරීම මේවා සිද්ධ කරනවා.

නමුත් සිත මනාකොට පුරුදු කොට පවතින්නේ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනත්ත ති‍්‍රලක්ඛන ධර්මයට යටත් නම් එනම්, අහෝ සියලු තුරුණුකම් දිරාගෙන යෑමෙන් අවසන් වේ ය යන අදහසයි. මෙය කෙස් පැහෙන තෙක් සිට තේරුම් ගැනීමක් හෝ සම රැළිවැටීම දක්වා සිට තේරුම් ගැනීමක් හෝ දත් ගිලිහී යන අවස්ථා දක්වා සිට තේරුම් ගැනීමක් හෝ දෑත දෙපය ඇස්, කන් ආදි ඉන්ද්‍රියන් වාරු නැතිවී දුබල යන තෙක් බලා සිට තේරුම් ගැනීමක් හැටියට පෙන්වා දෙන්නේ නැත.

ළමා වයසේ දී ද, ඉතාම තරුණ වයසේ දී පවා ජීවිතයේ යථාර්ථය නම් මෙසේ යොබ්බන අවස්ථාවේ පැවතුණත් මෙහි උරුමය පවතින්නේ හට ගැනීම සහ නැතිවීමට යටත් වය. හේතූන් නිසා හටගත්තා මෙන් ම හේතූන්ගේ විසිර යෑමෙන් නැතිව යෑමට යටත් ය, යන අදහසයි.

ජීවිතයගෙනයාමේදී දිරාගෙන යෑම, ලෙඩ දුක් හා මරණය පවා ජීවිතයේ තවත් කොටසක් හැටියට දැක ගන්නවා. සංසිඳුණු මනසකින් එයට මුහුණදීමක් විනා ජිවිතය තුළ මනසින් පහතට වැටීමක් හෝ හැඬීමකට වැළපීමකට හේතුවක් නොවන බව අවබෝධ කර ගන්නවා. එයට හේතුව ඔවුනොවුන් කෙරෙහි උපකාරය, පරිත්‍යාගය, දානය තුළින් පුරුදු කරනවා. ඒ වගේ ම ඔවුනොවුන්ගේ හදවත්වලට දැනෙන ආකාරයට ජීවත්වන්නට මනුෂ්‍යයන්ට අදහස්, සිතිවිලි, හැඟීම් අවශ්‍යවන ආකාරයෙන් පි‍්‍රය වචනයෙන් සැලකීම ඔස්සේත් ඒ වගේ ම හැකි ආකාරයෙන් දානය පුරුදු කිරීම ලෙස අර්ථ චර්යාව, පරෝපකාරය ලෙස පුරුදු කිරීමත්, ඒ වගේ ම කිසිදු වෙනසකින් තොරව උපත නිසා හෝ ධනය නිසා හෝ බාහිර පෙනුම නිසා හෝ වෙනසකින් තොරව සියලු දෙනාට ම සමානාත්මතාවයෙන් සිතිවිලි පවත්වා ගැනීම නිසාත් අපේ සිත තුළ ඇතිවන්නේ ධර්මානුකූල බලවත් බවකුයි. ශක්තිමත් බවකුයි.