Print this Article


පිරිවෙන

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරතාන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළ ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක්වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් වෙයි.

****

පිරිවෙන යළි කි‍්‍රයාත්මකයි

ගත වූ කාලවකවානුව තුළ උද්ගත ව පැවැති කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම් තත්ත්වයට යම් විරාමයක් ලැබී තිබෙන හෙයින් ඉකුත් ජුනි 29 වැනි දින සිට ලංකාවේ සියලුම පිරිවෙන් ආරම්භ කෙරිණි.

ඒ එහි පළමු අදියර වූ අතර ගුරුභවතුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පමණක් සේවයට වාර්තා කළහ.

එහි දෙවන පියවර වශයෙන් ජූලි මස 06 වැනි දින මූලික හා මහ පිරිවෙන්වල පමණක් අධ්‍යයන කටයුතු ආරම්භ කෙරිණි. මෙහි දී අත්සේදීම, මීටරයක දුර පවත්වාගෙන යාම, මුහුණු ආවරණ පැළ¼දීම යනාදී සෞඛ්‍ය පිළිවෙත් කෙරෙහි දැඩි අවධානයෙන් සමස්ත පිරිවෙන් පද්ධතියම කි‍්‍රයා කළ ආකාරය දක්නට ලැබුණි.

මෙහි තෙවන අදියර වන්නේ ජූලි 13 වන දින විද්‍යායතන පිරිවෙන් අධ්‍යාපන කටයුතු සඳහා ආරම්භ කිරීම යි. එහි දී ද ගත වූ දෙසතිය මෙන් ම ඉදිරි කාලවකවානුව ද එලෙසින් ම සෞඛ්‍යය උපදෙස් පිළිපදිමින් පිරිවෙන් පැවැත්විය යුතු බව පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමිපාණන් වහන්සේ දන්වා සිටිති.

 

 

****

ප්‍රාචීන විභාග සඳහා දින නියම කෙරේ

ශී‍්‍ර ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා විභාග දෙපාර්තමේන්තුව මගින් වාර්ෂික ව පවත්වන ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාග සඳහා දින නියමකොට ඇත.

ඒ අනුව අදාළ විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් පහත සඳහන් පරිදි වේ. වෙනත් වසරවල මෙන් ම මෙවර ද ඒ ඒ පළාත් මට්ටමින් විභාග මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට කටයුතු සංවිධානය කොට තිබේ. ප්‍රාචීන ප්‍රාරම්භ හා මධ්‍යම යන විභාග පැවැත්වෙන්නේ නව විෂය නිර්දේශය යටතේ පමණි. ප්‍රාචීන අවසාන විභාගය සඳහා පමණක් නව හා පැරැණි විෂය නිර්දේශ යටතේ විභාගයට මුහුණ දිය හැකි ය.

සියලු සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන යටතේ විභාග පැවැත්වෙන හෙයින් සියලු විභාග අපේක්ෂකයන් මේ සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහළ ශී‍්‍ර රාහුල හිමිපාණන් වහන්සේ සියලු පරිවේණාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති.

විභාග පැවැත්වෙන දින

01 ප්‍රාචීන ප්‍රාරම්භ ජූලි 25,26 අගෝස්තු 01,02,15,16

02 ප්‍රාචීන මධ්‍යම ජූලි 20,21,23,24,27,28,30,31 අගෝස්තු 10

03 ප්‍රාචීන අවසාන ජූලි 20,21,23,24,27,28,30,31 අගෝස්තු 10,11,13,14

****

පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය

ධර්මය ප්‍රගුණ කරන අධ්‍යාපන මධ්‍යස්ථානය

ඉගැන්වීමේ හැකියාව පමණක් නොව සිල්වත්කම, ගුණවත්කම ආදී ගුණාංග ගුරුවරයෙකු තුළ තිබිය යුතුය. අදත් අපේ පිරිවෙන් ගුරුවරයා එවැනි ගුණාංග ඇති, ආදර්ශමත් ගුරුවරයෙකු වීම ඉතා වැදගත් වේ.

අද පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසු පිරිස 40 ක ප්‍රමාණයකට සීමා කළ යුතු බව අධ්‍යාපනඥයින්ගේ උපදේශය යි. මෙය එදා බුදුරදුන් දවස ද එසේ ම කි‍්‍රයාත්මක වී ඇතිබව මජ්ක්‍ධිම නිකායේ ආනාපානසති සූත්‍ර දේශනාව විමසීමෙන් මනාව පෙනී යයි. නවක පැවිදි වූ භික්ෂූන් වහන්සේට ඉගැන්වීම් සිදුකළ ආකාරය එම සූත්‍ර දේශනාවේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි නවක භික්ෂූන් වහන්සේලා දස නමක් බැගින්, විසි නමක් බැගින්, තිස් නමක් බැගින්, හතළිස් නමක් බැගින් තැන් තැන්වල ධර්මය ප්‍රගුණ කළහ. එක් එක් හිමිවරුන්ට විශාල ශිෂ්‍ය පිරිස් සිටිය ද අධ්‍යාපනය ලබාදීමේ දී දහයේ, විස්සේ, තිහේ, හතළියේ, කණ්ඩායම් වශයෙන් ගෙන වෘක්ෂ මූලයන්හි අධ්‍යාපනය ලබාදුන් ආකාරය පිළිබඳ විමසීමේ දී අද අපේ පිරිවෙන් පන්ති කාමරය සිහියට නැගේ. එහි පිරිවෙන යන නමක් සඳහන් නොවූව ද පිරිවෙනේ අඩිතාලම මෙය නොවේ ද?

මෙම අධ්‍යාපන ක්‍රමවේදයේ උච්චතම අවධිය හැටියට සැලකිය හැක්කේ ලෝකයේ ප්‍රථම වතාවට භික්ෂූන් වහන්සේ මුල් කරගෙන විශ්වවිද්‍යාල බිහිවීම ය. ඒ අනුව ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යලය, වික්‍රමශීලා විශ්වවිද්‍යාලය, ජගන්දලා විශ්වවිද්‍යාලය, ඕදන්තපුරි විශ්වවිද්‍යා ලය ආදී විශ්වවිද්‍යාල බිහිවන්නේ භික්ෂූන් වහන්සේලා මූලික කර ගනිමිනි.

ශ්‍රී ලංකාවේ පිරිවෙන් ඉතිහාසය පිළිබඳව තිබෙන ඉපැරැණි ම වාර්තා දෙකක් වන මහාවංසයට සහ දීපවංසයට අනුව කරුණු සොයා බැලිය යුතු ය. දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසු ආරම්භ වූ අධ්‍යාපන ආයතන ලක්දිව මුල්ම පිරිවෙන් අධ්‍යානපන අයතන ලෙස නම් කළ හැකි ය. මහාවංසය ආදි මූලාශ්‍රවල අනුරාධපුර මහා විහාරයෙහි ‘‘පරිවෙණ” හෙවත් ‘‘පිරිවෙන ” නමින් හැඳීන්වූ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි ස්ථාන සිය ගණනකුත්, රෝහණයේ තිස්ස මහා විහාරයෙහි සිය ගණනකුත් තිබූ බවට තොරතුරු ලැබී ඇත. මෙහි දී පිරිවෙන නමින් හැඳීන්වූයේ භික්ෂූන් වහනසේගේ වාසය සදහා ඉදි වූ කුටියක් බව පැහැදිලි ය. එය භික්ෂු වාසය සඳහා කුටියක් වුව ද, හුදු වාසස්ථානයක් ම නොව භික්ෂූන් වහන්සේ ධර්මය හදාරණ, ධර්මය ප්‍රගුණ කරන ස්ථානය ද විය. මූලාශ්‍රවල සඳහන් වන ආකාරයට පිරිවෙන යන්න මුල පටන් ම අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වූ බව පැහැදිලි වේ.

****