Print this Article


සදහම් අරණ

මගේ දහම් පාසල

මගේ දහම් පාසලේ නම සිරිවිමලසිරි ඉංගී‍්‍රසි දහම් පාසල යි. එහි විදුහල්පති පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ යි. අප දහම් පාසලට පාන්දර යන්න ඕනෑ. මල් වට්ටියක් ගෙනයන්න ඕනෑ. නියමිත සුදු ඇඳුම අඳින්න ඕනෑ. ඒ වගේම පන්සිල් සමාදන් වන විට දෑත් නළලේ තබා තෙරුවන් වැඳ, පන්සිල් සමාදන්වීම නියම ආකාරයට හා පිළිවෙළට සිදුකරනවා. සිත තෙරුවන් කෙරෙහි ම තබාගෙන බුදුගුණ සජ්ඣායනා කරනවා. මව්පියන් නැමදීම හා සැලකීම, ගුරු ගෞරවය හා වැඩිහිටියන්ට සැලකීම, කළගුණ අමතක නො කිරීමට අපට කියාදෙනවා.

****

මෙත් වඩමු

මෙත්තා යනු හිතවත් බවයි. සැබෑ මිත්‍රත්වය යි. නැතිනම් මෛත්‍රිය යි. මිතුරකු පිළිබඳ තමා තුළ ඇති හිතවත්භාවයට සමාන හිතවත් භාවයක් සියලු ජීවින් කෙරෙහි ඇති කර ගැනීම මෛත්‍රී භාවනාවෙන් සිදු වෙයි. මිත්‍රත්වය සියලු ජීවින් කෙරෙහි ම දැක්වීම උසස් මානුෂික ගුණාංගයකි. සැබෑ මිතුරා සිය මිතුරාට අවැඩක්, විපතක් වෙනවාට අකමැති වේ. ඔහු මිතුරාගේ දියුණුවම අපේක්ෂා කරයි. මිතුරා සම්බන්ධයෙන් ද ඇති කර ගන්නා හිතවත්කම මෛත්‍රිය යි. මෙම තත්වය උසස් හැසිරීමක් වන්නේ ආයාසයකින් තොරව තමාට හමුවන ඕනෑම අයකු සම්බන්ධයෙන් හිතවත් බවක් ගොඩනඟා ගැනීමට හැකියාවක් පවතී නම් පමණි. මෛත්‍රී සහගත සිතිවිලි සහිත පුද්ගලයා සියලු ජීවින් සැපෙන් සිටිනු දැකීමට කැමැති වෙයි. නිරන්තරයෙන් මෙවැනි සිතිවිල්ලක් පවත්වා ගැනීමට නම්, එය භාවනාවක් ලෙස ප්‍රගුණ කළ යුතු ය. එසේ සිත ප්‍රගුණ කිරීම මෛත්‍රී භාවනාව යනුවෙන් අපි හඳුන්වමු.

****

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

ආගම්වාදී, ජාතිවාදී, පුද්ගලවාදී පටු ආකල්පවලින් වියුක්ත වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ මානව හිතවාදී, නොවහල් චින්තනය ධර්මිෂ්ඨ වූත්, සමෘද්ධිමත් වූත් සමාජයක් බිහි කිරීමෙහිලා අගනා මිණි පහනක් විය. උදාර ජාතියක් ගොඩනැංවීම පිණිස එතුමා වෙසෙසින් බාල පරපුර ඉලක්ක කර ගනිමින් රට, ජාතිය, ආගම පිළිබඳ හැඟීමක් ඇති කළේ ය. එතුමා තුළ තිබූ සුවිශේෂී ගුණාංග රාශියකි. මෙතුමාට පාලි, සංස්කෘත වගේම ඉංගී‍්‍රසි භාෂාවෙන් පවා බණ දේශනා කිරීමට හැකියාවක් තිබුණි. මෙතුමා ගමන් ගන්නා වාහනයේ පවා ලියා ඇත්තේ ‘ගව මස් නොකව්’ යන ආදර්ශ පාඨය යි. සම්බුද්ධ ශාසනයට අමිල මෙහෙවරක් කළ මෙතුමා ඉන්දියාවේ දි පැවිදි විය. පසු කලෙක ඉන්දියාවේ දී ම අපවත් විය.

****

ථූපාරාමය

ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලකයා වූ දේවානම් පියතිස්ස රජු විසින් මෙම ථූපය ඉදිකරවන ලදී. බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ නිදන් කොට මෙම ථූපය සාදවා ඇත. අනුරාධපුරයේ ප්‍රථමයෙන් ම ඉදි කළ ස්ථූපය නිසා මෙය පඨමක චේතිය යන නමින් ද හැඳින් වේ. එකල මෙම භූමිය කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරුන්ගේ පාද ස්පර්ශයෙන් අති පාරිශුද්ධියට ලක් වූ ස්ථානයක් බව හැඳින් වේ. බුදුන් වහන්සේ තෙවන වර ශ්‍රී ලංකාවට වැඩම කරවූ අවස්ථාවේ සුළු වේලාවක් සමාධි සුවයෙන් වැඩ හිඳිමින් පාරිශුද්ධියට හා පූජනීයත්වයට පත් මෙම භූමියේ ස්ථූපය තැනීම මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි සිදුව ඇත.