Print this Article


සම්බුද්ධ ශාසනයට හා සංස්කෘත භාෂාවට අමිල මෙහෙවරක් කළ මහාචාර්ය වරාගොඩ පේමරතන අනු නා හිමියෝ

සම්බුද්ධ ශාසනයට හා සංස්කෘත භාෂාවට අමිල මෙහෙවරක් කළ

මහාචාර්ය වරාගොඩ පේමරතන අනු නා හිමියෝ

'අඹු දරුවන් පෝෂණය කරන රැකියාවට හොර බොරු, වංචා කිරීම අද ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෙයක් වෙලා, ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ රැකියාවට හොර බොරු වංචා නොකරන අය ඉන්නවානම් ඒ 2%කටත් අඩු පිරිසක්. සමහර අය වේලාවෙන් හොරකම් කරනවා. ඒ කියන්නෙ කාර්යාලයෙන් කලින් එනවා, නැත්නම් පරක්කු වෙලා යනවා. තවත් සමහර අය අඩුවෙන් වැඩ කරන්නෙ, තවත් සමහර අය කාර්යාලයේ අල්පෙනෙත්ත පවා ගෙනියනවා. මේ විදිහට තමන් පෝෂණය කරන තැනට හොර මැරකම් කරන අයට අනාගතයක් ගැන හිතන්න බැහැ.

‘‘ පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් එසේ වදාළේ මහාචාර්ය වරාගොඩ පේමරතන අනු නා හිමියන් ය.

එම සාකච්ඡාවේ දී උන් වහන්සේ මෙසේද පැවසූහ. ‘‘මම ධර්ම දේශනයකට ගිහින් රැකියා කරන අය නැත්නම් විශ්‍රාම ගිය අයට අත ඔසවන්න කිව්වා. ධර්ම ශාලාවෙ හිටපු අයගෙන් භාගෙටත් හුඟක් වැඩි පිරිසක් අය අත ඉස්සුවා. කලින් කියපු කතාව ම කියල මම කිව්වා. අඩුම ගානේ විනාඩියක්වත් නැත්නම් අල්පෙනෙත්තක්වත් හොරකම් නොකරපු අයට අත ඔසවන්න කියලා. එක්කෙනෙක්වත් අත එසෙව්වෙ නැහැ.‘‘

එසේ ජනතාවගේ හදවතට කතා කරන්නට හැකි නිහතමානි ගුණයන්ගෙන් යුක්ත වූ පේමරතන අනු නා හිමියෝ ඕනෑම අවස්ථාවක ඕනෑම අයකු සමඟ කතා බහ කරන්නට පසුබට වූයේ නැත. උන් වහනක්සේ පසුගිය සතියේ අපවත් වීම සැලවීම සමස්ත සංඝ ශාසනයට ම වූ විශාල අඩුපාඩුවකි.

1937 වසරේ ඔක්තෝබර් මස 29 දින කෑගල්ල දිස්ත්‍රික්කයේ මොලගොඩ වරාගොඩ දී උපත ලද අනු නාහිමියන්ගේ ගිහි නම වූයේ ගලකුඹුරේ ගෙදර පේමරත්නයි.

පේමරත්න පැවිදිබිමට පත් වූයේ වයස අවුරුදු 16 සපිරුණු 1953 වසරේ දී ය. ඒ පෙබරවාරි මස 25 වැනිදා ය. පැවිදිවීමෙන් පසු ගම්පොළ එල්ලක්කල ශ්‍රී සුමංගල පිරිවෙනෙන් හා මාතලේ කයිකාවල සුදර්ශන පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබූ උන් වහන්සේ එම පිරිවෙන්හි කැපී පෙනෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වූහ.

කිසිදු විටෙක ආචාර්ය හිමිවරුන්ගේ සිත් නොරිදෙන ලෙසින් කටයුතු කළ උන් වහන්සේ සෙසු ශිෂ්‍ය හිමිවරුන් අතර කැපි පෙනුණේ නිහතමානී ව නිරහංකාර ව කටයුතු කළ ශිෂ්‍ය හිමිනමක් ලෙසිනි. එසේ අධ්‍යාපනය හැදෑරූ උන් වහන්සේ 1963 වසරේ ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලබා ගත්හ. 1960 වසරේදී උපසම්පදා ශීලයෙහි පිහිට වූ උන් වහන්සේ 1961 වසරේ පේරාදෙණිය විශ්විවිද්‍යාලයට ඇතුළත්ව සංස්කෘත විෂයයට ගෞරව උපාධියක් ද සහිතව 1965 වසරේ දී උපාධිය ලබා ගන්නා ලදී. එම වසරේ දී ම උන් වහන්සේ අධ්‍යාපනය ලැබූ එල්ලක්කල පිරිවෙනේ පරිවේනාධිපති වශයෙන් ද පත් වූහ.

1967 වසරේ ගම්පහ වික්‍රමාරච්චි විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ උන් වහන්සේ එම ධුරය හොබවන අතරම 1968 වසරේ දී මංගලගම බෝධිමාලකාරාම විද්‍යාමංගල පිරිවෙන ආරම්භ කළහ. තමන් වහන්සේ වෙනත් පිරිවෙනක ආචාර්ය ධුරය දරමින් වුව ද එම පිරිවෙනේ සියලු අවශ්‍යතා සොයා බලමින් කටයුතු කළ උන් වහන්සේ 1968 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස පත්වීම් ලැබූහ. එතැන් පටන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරය ඉසිලූ උන් වහන්සේ 1972 වසරේ සිදු කළ විශ්ව විද්‍යාල ප්‍රතිසංස්කරණ කටයුතු නිසා 1973 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉවත් ව ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූහ. ඒ අතරම උන් වහන්සේ තවත් සුවිශේෂී සේවාවක් සිදු කළහ. ඒ සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ නමකගෙන් සිදු නොවන්නකි. ඉන්දීය ගුවන් විදුලියේ සිංහල අංශයේ නිවේදකයන් වහන්සේ නමක් ලෙසින්ද උන් වහන්සේ කටයුතු කළහ.

පසුව 1984 වසරේදී බලගල්ල සරස්වතී විශ්වවිද්‍යාල පිඨයේ කථිකාචාර්ය ධුරයක් හිමි වූ උන් වහන්සේ යළිත් 1993 වසරේදී පේරාදෙණිය විශ්විවිද්‍යාලයට සම්බන්ධ වූහ. ඒ සම්භාව්‍ය භාෂා අංශයේ ය. ඒ අතර උන් වහන්සේගේ භාෂා ඥානය හා ඇසූ පිරූ තැන් නිසාම 1999 වසරේදී අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රථම මහෝපාධ්‍යයන් වහන්සේ ලෙස පත්වීම් ලැබූහ. වසර 3කට අධික කාලයක් එහි සේවාවන් කළ උන් වහන්සේ පසුව නැවතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයටම පැමිණ සම්භාව්‍ය භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ මාහචාර්ය ධුරය ලබා ගෙන එහි අංශාධිපති වහන්සේ ලෙස කටයුතු කළහ. පේරාදෙණිය සම්භාව්‍ය භාෂා අංශයේ විශාල පිබිදීමක් ඇති වූයේ උන් වහන්සේ අංශාධිපති ධුරය ඉසිලූ කාලයේ දී බව මෙහිදී විශේෂයෙන් ම පැවසිය යුතු ය.

2006 වසරේ දී රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි ධුරය හිමි වූ උන් වහන්සේ 2008 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගත්තේ ගුණ නැණ බෙලෙන් පිරිපුන් විශාල ශිෂ්‍ය පිරිසක් බිහි කරමිනි.

උන් වහන්සේ විසින් කළ සේවාවට උපහාර ලෙසින් රාමඤ්ඤ මහා නිකායෙන් උන් වහන්සේට ප්‍රවචන කීර්ති ශ්‍රී ගෞරව නාමය ද පිරිනමන ලදී. පසුව එහි අනු නායක ධුරයට පත් උන් වහන්සේ කිසිදු විටෙක තනතුරු නාමවලින් උදම් වූයේ නැත. සරල බව, චාම් දිවියම අගය කළ උන් වහන්සේගේ සේවාව යළි විශ්වවිද්‍යාලයට ලබා ගැන්ම අවශ්‍ය වූ නිසා උන් වහන්සේ යළිත් 2012 වසරේ දී බාහිර මහාචාර්යවරයකු ලෙසින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා දෙන්නට වූහ.

ඇමරිකාව වැනි බටහිර රටවල් මෙන් ම ඉන්දියාව වැනි පෙරදිග රටවල ද සංචාරය කරමින් ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කළ උන් වහන්සේ ලෝක බෞද්ධ සම්මේලනය හරහා සිදු කළ සේවාව ද අපමණ ය. විශේෂයෙන්ම උන් වහන්සේ එම විදෙස් ගමන්වලදී මහායාන දහම ගැන උගත් කරුණු අපමණ ය.

උන් වහන්සේගේ මේ ශාසන සමාජ සේවාව නිසාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් උන් වහන්සේ බෞද්ධ උපදේශක සභාවට ද පත් කරන ලදී.

ආදර්ශය හැම විටම උතුම් කොට සැලකූ උන් වහන්සේ සංස්කෘත භාෂාව පිළිබඳව විශාල ඥානයක් සහිතව සිටි හිමි නමකි.

සමාජ හා ශාසනික සේවා රැසක් සිදු කළ උන් වහන්සේට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු!