සද්ධර්මරත්නාවලියෙන්:
නොපසුබට උත්සාහයෙන් ලද උතුම් අරහත්වය
අනුරාධපුර
ශ්‍රී අංගීරස යෝගාශ්‍රමයේ විහාරාධිපති
සද්ධර්ම වාගීෂ්වර
මහව කල්‍යාණ ඥාණ හිමි
මෙම ලිපියේ මුල් කොටස ඇසළ පුර පසළොස්වක (ජූලි 04) පත්‍රයේ පළවිය.
" වෙද මහත්තය මොන දේ කීවත් මට වටින්නෙ මේ ඇස් දෙක නෙමේ.මේ ශරීරය ගැන කල්පනා කරල මගෙ
ධෘතංගය බිඳ ගත්තොත් ඒක මගෙ ධර්මාවබෝධයට විශාල හානියක්"
දම් සභා මණ්ඩපයේ වැඩසිටින බුදුරජාණන් වහන්සේ ට වන්දනා කොට පිරිස සමගින් බණ ඇසීම
පිණිස මහා පාලිත කුමරා වාඩි වුණා. බුදුවරු සාමාන්‍යයෙන් ධර්ම දේශනාවට පෙර එහි සිටින
සියලුම පිරිසගේ සිත්සතන් තමාගේ මනසින් විමර්ශනය කොට ධර්මාවබෝධයට පින් ඇති නුවණ ඇති
කෙනාට සරිලන ආකාරයෙන් තමයි ධර්මය දේශනා කරන්නේ.එදා බුදුරජාණන් වහන්සේ මහාපාලිත
කුමාරයාගේ ධර්මාවබෝධයට ඇති හැකියාව දැක බුදුවරුන්ට ම විශේෂිත වූ සාමුක්කන්සික දේශනය
වදාළ සේක.
ධර්මය අසා අප්‍රමාණ පැහැදීමට පත් මහාපාලිත කුමරා මෙසේ කල්පනා කළා. “මේ ධර්මය ඉතාම
ගාම්භීරයි.ඉතා ගැඹුුරුයි,මේ උදාර දහම ගිහි ගෙදර වාසය කරමින් අවබෝධ කිරීම ඉතාම
දුෂ්්කරයි.ඒ නිසා මමත් බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබනවා නම්, කොපමණ හොඳදැයි
කල්පනා කොට” බුදුරජාණන් වහන්සේ ළගට ගොස් පැවිදි කරවන්නැ යි ඉල්ලා සිටියා.
“ උපාලි මහණ වෙන්නට නම් අවසර ගත යුතු වෙනවා.දෙමාපියන් ගෙන් හෝ තමන් සමග ජීවත් වන
ළඟම නෑයෙකුගෙන් .
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස. මගේ මව්පියන් මිය පරලොව ගිහින්. මම ජීවත් වෙන්නේ මගේ
මලනුවන් සමඟ යි.මම ඔහුට සිහිපත් කර පැමිණෙන්නෙමි,” කියාබුදුරජාණන් වහන්සේට වන්දනා
කොට තම නිවහන වෙත පිටත් වුණා.
මලනුවනි , මම බුදු සසුනෙහි මහණ වෙන්නට කැමතියි. මේ සසර ඉතාම දුක් සහිතයි. අප මොන
තරම් දේ් රැස් කළද කවදාවත් ඇතිවීමක් නම් මේ හිතට දැනෙන්නෙ නෑ. මේ සංසාරයේ ගමන්
කරද්දි අපට වැඩිපුරම ඉපදෙන්න සිදු වෙන්නේ සතර අපායෙ.ඒ නිසා මේ ලැබුණ අවස්ථාවෙන්
ප්‍රයෝජන ගන්න ඕනෙ.මේ සංසාරයෙන් නිදහස් වීමයි හොඳ, ඒ නිසා මේ සියලුම වස්තුව මම ඔබට
පවරනවා.
අයියණ්ඩිය, ඔබ තවම තරුණයි.මේ සැප සම්පත් අනුභව කොට වයසට ගිය විට මහන වෙන්නල මලනුවනි
වයසට ගිය විටමහන දම් පිරීම අපහසුයි .මේ තමයි ඒ සදහා සුදුසුම කාලය ඒ නිසා ඔබ මේ
සියල්ල බුක්ති විදින්න .මම බුදු සසුනේ මහණ වන්නෙමි’ යි කියා සියලුම දේපළ තම
සහෝදරයාට පවරා මහාපාලිත කුමරු බුදුරජාණන් වහන්සේගේ සසුනේ උතුම් පැවිදි උපසම්පදාව
ලබා ගත්තා.
මේ ස්වාමීන් වහන්සේ වත් පිළිවෙත් පුරමින්, බණ භාවනා දියුණු කර ගනිමින් වැඩ වාසය කරන
අතුර තුර තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් සමගින්, වස් කාලය ගත කිරීමට වෙනත් ගමකට
වැඩම කළා.එම ගමේ මිනිසුන් ද බොහොම පැහැදීමෙන් ඒ ස්වාමීන් වහන්සේලාට වස් කාලය තුළ
වැඩ වාසය කිරීමට සෙනසුන් පිළියෙල කර දුන්නා.මේ ස්වාමීන් වහන්සේලා ද බුදුරජාණන්
වහන්සේගෙන් ලැබුණ කමටහන් සිහි කරමින් සමගි ව මහණ දම් පිරුවා.
අතීතයේ දී වස් කාලය කියන්නේ ස්වාමීන් වහන්සේලා ඉතාම දැඩිව වීරිය කරමින් ධර්මාවබෝධය
ලැබීම පිණිස වෙහෙසෙන කාලයයි.
දවසක් මහා පාලිත ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේලා කැඳවා “ඇවැත්නි ඔබ මේ
වස් කාලය ගත කරන්නේ මොන ඉරියව්වලින් දැයි ඇසුවා. ඇවැත්නි අප නම් හතර ඉරියව්වලින්ම
වාසය කරනවා.මෙසේ පිළිතුරු දුන් ස්වාමීන් වහන්සේලා එම ප්‍රශ්නයම පෙරළා මහාපාලිත
ස්වාමීන් වහන්සේගෙන් අසා සිටියා.
“ඇවැත්නි මම නම් සැතපෙන ඉරියව්ව අත් හැර අනික් ඉරියව් තුනෙන් කාලය ගත් කරනවා.” .මහා
පාලිත ස්වාමීන් වහන්සේ මෙසේ වස් කාලය පුරාවට නේසජ්ජිකාංගය නම් වූ නොනිදා බන භාවනා
කිරීමට අධිෂ්ඨාන කළා.මෙලෙස නොනිදා බණ භාවනා කිරීම නම් වූ නේසජ්ජිකාංගය සමාදන් ව
මාසයක් ගත වන විට, පාලිත තෙරුන් වහන්සේගේ දෑස් වලින් වතුර වැගිරෙන්නාක් මෙන් දියර
වැගිරෙන්න පටන් ගත්තා.පාලිත තෙරුන් වහන්සේගේ වීරිය කෙතෙක් ද යත් තමන් වහන්සේ සමාදන්
වූ ධෘතංගය ඒ විදිහට ම ආරක්ෂා කළා.
තෙරුන් වහන්සේගේ මේ ඇස් ලෙඩේ දැනගත් ගමේ වෙදතුමා ඒ සඳහා බෙහෙතක් පිළියල කළා.”
ස්වාමීනී මේ බෙහෙත ඔබ වහන්සේ සැතපී ඇස් වලට දාන්න.එතකොට ඔය ඇස් රුජාව ඉක්මනින්ම
සුවපත් වේවි.”
නමුත් තෙරුන් වහන්සේ කිසිම විටක තමන්ගේ ධෘතංගය බිඳීමට කැමති වුණේ නෑ.උන් වහන්සේ
ඉඳගෙන සිටින ඉරියව්වෙන් ම බෙහෙත් දැම්මා.පසුවදා වෛද්‍යතුමා තෙරුන් වහන්සේගේ සුවදුක්
විමසා සිටියා.”ආර්යයන් වහන්ස, දැන් අඩුවක් තියනවා නේද.?
“වෛද්‍ය තුමනි අඩුවක් නම් නෑ.”
ඒක වෙන්න බෑ ස්වාමීනී .මේ බෙහෙත වරදින්න විදිහක් නෑ.ඔබ වහන්සේ බෙහෙත් දැම්මෙ මොන
ඉරියව්වෙන්ද.?”
“ඉඳගෙන තමයි බෙහෙත් දැම්මෙ.
අනේ ස්වාමීනී බෙහෙත දාන්න ඕනෙ සැතපි සිටින විට යි”.
තෙරුන් වහන්සේ ඒ අවස්ථාවේ දී ද කිසිවක් නොකියා වෙදතුමාට පින් අනුමෝදන් කොට ආරාමයට
වැඩම කළා.
වෙද මහත්තය මොන දේ කීවත් මට වටින්නෙ මේ ඇස් දෙක නෙමේ.මේ ශරීරය ගැන කල්පනා කරල මගෙ
ධෘතංගය බිඳ ගත්තොත් ඒක මගෙ ධර්මාවබෝධයට විශාල හානියක් .
මේ ලේ මස් නහර වලින් හැදුණ ඇස රැකගන්න ගියොත් මට දහම් ඇස උපදවාගන්න බැරි වෙනව.ඒ
නිසා මම මගෙ වීරිය බිඳක්වත් අඩු කරගන්නෙ නෑ.තෙරුන් වහන්සේ කල්පනා කළා.මෙසේ කාලය
ගතවන විට පාලිත ස්වාමීන් වහන්සේගේ ඇස් හොඳටම දුර්වල වුණා.නමුත් වීරිය මදක්වත් අඩු
වුණේ නෑ.
මේ ආකාරයෙන් දවස පුරාම සිටගෙන සිටීමෙනුත්, හිඳගෙන සිටීමෙනුත්, සක්මන් කිරීමෙනුත් යන
තුන් ඉරියව්වෙන් ම සතර සතිපට්ඨානය වඩා පාලිත තෙරුන් වහන්සේ සියලු කෙලෙසුන් දුරුකොට
උතුම් අරහත්වයට පත්වී වදාළා. |