සිතෙහි සැනසුම
තමන් තුළ ම ය
අස්ගිරි මහාවිහාරීය
කාරක සංඝ සභික
ඓතිහාසික බදුලු මුතියංගන
රාජ මහා විහාරීය භාරකාර
ආචාර්ය
මුරුද්දෙනියේ
ධම්මරතන නා හිමි
මෙත් සිත නිරතුරුව වැඩිය
යුතු දෙයකි. එසේම පුරුදු පුහුණු කළ යුතු සිතිවිල්ලකි. එය කෙමෙන් කෙමෙන් වර්ධනය කළ
යුතු වූවකි. තමන්ටත් , පසුව සෙසු අයටත් පතුරුවාලීමෙන් මෙත් සිත වර්ධනය වේ.
සිතක් දූෂිත කරන සිතිවිලි හා සිතක් පිරිසිදු කරන සිතිවිලි මනස තුළ පහළ වීම ලෞකික
සිතක සාමාන්‍ය ලක්‍ෂණයකි. දූෂිත සිතිවිලි අකුසල හා පාප සිතිවිලි වන අතර ඒවා
පහළවීමෙන් පුද්ගල මනස නිරතුරුව අපිරිසිදු කරයි. එවැනි සිතක් ඇති පුද්ගලයා අනර්ථයට
පමුණුවයි. මනසට මහත් පීඩාවක් ගෙන දෙයි. මානසික සතුටක් නොදැනෙයි.
මනසට බර දෙන්නේ කුමටද?
දූෂිත සිතිවිලි මනසට මහත් බරක් ගෙනදෙයි. එනමුදු පිරිසිදු සිතිවිලි කුසල හා පුඤ්ඤ
සිතිවිලි වන අතර, එම සිතිවිලි පහළ වීමෙන් පුද්ගල මනස නිරතුරුව පිරිසිදු කරයි. එවැනි
සිතිවිලි සහිත මනසක් හෙබි පුද්ගලයා යහපතට යොමු කරයි. එම සිතිවිලි මනසට මහත්
අස්වැසිල්ලක් වේ. මානසික සතුට එවැනි සිතක නිරතුරුව රැඳෙයි.
මෛත්‍රි සිත අවෛර වූවක් හා, හිංසා පීඩා සහගත සිතිවිලි රහිත වූවක් වශයෙන් මහා සීහනාද
සූත්‍රයෙහි දැක්වේ. ඒ අනුව මෙත් සිතිවිලිවලින් පිරුණු සිතක වෛරය හා අනුන්ට හිංසා
පීඩා පමුණුවන සිතිවිලි නොමැත.
මෙත් සිත ප්‍රකට වන අවස්ථා තුනක් සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වේ. මෛත්‍රි සහගත කාය
කර්මය පළමුවැන්නයි. ඒ ඒ අවස්ථානුකූලව කායික ව සිදු කරන යහපත් ක්‍රියාවන් මෙයින්
අදහස් කෙරේ.
විහාරස්ථාන වෙත පිවිසීම, භික්‍ෂූන් වහන්සේලාගේ පිට හා පාද පිරියම් කිරීම, අන්‍යයන්ට
පිහිටවීම, උපකාරයක් අවැසි පුද්ගලයන්ට උපකාර කිරීම, උදව් කිරීම, දෙමාපියන් වැඩිහිටි
අසල්වැසි සැමටත්, තිරිසන් සතුන්ටත් උපකාර කිරීම හා ගහකොල ඇතුලු ස්වභාව ධර්මය
ආරක්‍ෂා කිරීමට කටයුතු කිරීම, ගිහියන් විසින් බෝධිය සෑ ආදී ස්ථාන වන්දනා කිරීම,
පිඬු පිණිස වැඩි භික්‍ෂූන් වහ්නසේලාට පෙර ගමන් කිරීම, පාත්‍රය පිළිගැනීම, ආසන
පැණවීම, පසුගමන් කිරීම වැනි කය මුල් වී සිදු කරන ක්‍රියාවන් මෛත්‍රි සාහගත කාය
කර්මයන් ය.
තවද අසරණ වූ අයට පිහිට වීම, කිසිවෙකුට හිංසාවක් නොකිරීම, සියලු දෙනා තමා මෙන් සිතා
කටයුතු කිරීම ආදිය ද මෛත්‍රි කාය කර්මයට ඇතුළත් වේ.
මෛත්‍රී සහගත වාචසික ක්‍රියාවන් දෙවැන්නයි. යම් පුද්ගලයෙක් අවස්ථානුකූලව තමන්ගේ හා
අනුන්ගේ යහපත වෙනුවෙන් කියනු ලබන ප්‍රකාශයන් වචී කර්මයට අයත් වේ. යහපත් ක්‍රිියාවන්
සඳහා අනුන් දිරිමත් කරමින් යම් යම් දේ පැවැසීමත්, බුද්ධ දේශනාව සෙසු පිරිසට කියා
දෙමින් සියලු දෙනාගේ සුභ සිද්ධිය ඇති කිරීමත් මෙත් පෙරටු කරගත් වචනයෙන් සිදු වේ.
තවද කමටහන් පිළිබඳ කථා කිරීමත් “සෑ බෝධීන් වන්දනය සඳහා යමු, මල් පහන් පුදමු, සලාක
බත් දෙමු, වස්සාවාසික පිරිනමමු, භික්‍ෂුන් සිව්පසයෙන් පුදමු” වශයෙන් සෙසු පිරිස
උත්සාහවත් කරමින් කථා කිරීම ද වචී කර්මයයි.
මෛත්‍රී සහගත සිතින් ජනිත සිතිවිලි සහිත මනෝ කර්මය තෙවැන්නයි. මෙත් සිත පෙරටු කර
ගත් නානාවිධ සිතිවිලිවලින් මනස පුර්ණය කර ගැනීම එහි ලක්‍ෂණයයි.
ශක්තිමත් සිතක්
මෙත් සිත නිරතුරුව වැඩිය යුතු දෙයකි. එසේම පුරුදු පුහුණු කළ යුතු සිතිවිල්ලකි. එය
කෙමෙන් කෙමෙන් වර්ධනය කළ යුතු වූවකි. එනිසා තමන්ටත් , පසුව සෙසු අයටත්
පතුරුවාලීමෙන් මෙත් සිත වර්ධනය වේ. මෛත්‍රී සහගත සිතිවිලි නිතර ක්‍රියාවෙහි
යෙදවීමෙන් පුහුණුවක් ඇති වේ. එය පරිචය නමින් දැක්වේ. යහපත් සිතිවිලිවලින් ශක්තිමත්
මනසක් ඇති එමෙන්ම, මනා පරිචයක් ඇති පුද්ගලයාට කුමන ස්ථානයක දී වුව ද කුමන
පුද්ගලයෙකුට වුව ද මෙත් සිත පැතිරවීමේ හැකියාව උපදියි. ඔහුගෙන් තමන්ටත් අනුන්ටත්
යහපතක් මිස අනර්ථයක් කිසිදාක සිදු නොවේ. එවැනි පුද්ගලයා තමාගේ දියුණුව මෙන්ම සෙසු
අයගේ දියුණුවත් කැමැති වේ. එසේම මෙත් සිතක් ඇති පුද්ගලයා තමන්ටත් අනුන්ටත් නිසිලෙස
ආදරය කරයි. මිනිස් තිරිසන් සැමටත් ගහකොළ වන සිව්පාවුන්ටත් ආදරය කරයි. සියලු දෙනාටත්
සියලු දේටත් ඇලුම් කරයි.
මෙත් පැතිරවීමේ ක්‍රමවේදයන් කිහිපයක් සූත්‍ර දේශනාවල සඳහන් වේ. කරණීයමෙත්ත සූත්‍රය,
ඛන්ධ පිරිත, මෙත්තානිසංස සූත්‍රය, මිත්තානිසංස සූත්‍රය යන දේශනාවන් පොදුවේ ප්‍රචලිත
බුද්ධ දේශනාවන් ය. එම දේශනා අතර කරණීයමෙත්ත සූත්‍රය හා ඛන්ධ පිරිතෙන් පැහැදිලි කර
ඇත්තේ සියලුම ප්‍රජාව කෙරෙහි මෙත් සිත පැතිර විය යුතු ආකාරයයි. එසේම මවක් තමාගේ එකම
දරුවාට දක්වන සෙනෙහස යම් සේ ද එසේම සියලු ප්‍රජාව කෙරෙහි මෙත්සිත පැතිර විය හැකි
නම් එවැනි මනසක ක්‍රියාකාරීත්වය සියලු ප්‍රජාව කෙරෙහි බොහෝ සෙයින්ම සාධාරණ ය. එය
මෙත් සිතෙහි උපරිම තලයයි.
වර්තමාන සමාජයට වඩා වඩාත් අවශ්‍ය ගුණධර්මයක් වන්නේ මෛත්‍රියයි. ලෝකවාසී ප්‍රජාව
මුහුණ පා සිටින ව්‍යසනකාරී අවස්ථාවක සියලු දෙනා තුළින් මුහුර්තිමත් විය යුතු
ගුණාංගයන් අතර එක් ප්‍රධාන මානසික ක්‍රියාකාරීත්වයක් වන්නේ මෙත් සිත පැතිරවීමයි.
මෙත් සිතක් ඇති පුද්ගලයා අනුන් ගැන සිතමින් අනුන්ගේ ආරාක්‍ෂාව, සුවපත් භාවය
ප්‍රාර්ථනා කරමින් ආත්මාර්ථකාමී හැඟීම්වලින් බැහැරව කටයුතු කරයි.
ඇතැම් අවස්ථාවල සියලු දෙනා කෙරෙහි හිංසා සහගත සිතිවිලි සහිත ව කායිකව ක්‍රියා කිරීම
නිසාත් අනුන්ට හිංසා පීඩා ගෙනදෙන අයුරින් හැසිරීම නිසාත් සියලු දෙනා වෙත වසංගත රෝග
ව්‍යාප්ත වීමට අවස්ථාව උදාවේ. තමාගේ සුඛවිහරණය පමණක් සිතා කටයුතු කිරීම, සත්ව
ප්‍රජාව පමණක් නොව ස්වභාව ධර්ම කෙරෙහි දයාවෙන් තොරව හිංසනය හා වෛරය පෙරදැරිව කටයුතු
කිරීමත් මෙවැනි ව්‍යසනයන්ට මග පාදයි. ධනයෙන් හා බලයෙන් මත්වී සිටින පිරිස සෙසු අය
කෙරෙහි දක්වන වෛරී සහගත සිතිවිලි හා ක්‍රියාකාරකම් නිසා හානිදායක ව්‍යසනකාරී
තත්ත්වයන් සමාජය තුළ නිතර උද්ගත වේ.
සොබා දහමට අනුව ජීවිතය
මෙත් සිතක් ඇති පුද්ගලයා බෙහෙවින් ස්වභාව ධර්මයට ඇලුම් කරයි. වර්තමානයේ උද්ගත වී
ඇති ලෝක වසංගතය හමුවේ පැහැදිලි වෙන්නේ මිනිසා ස්වභාව ධර්මයෙන් දුරස් වීමේ අනිටු
විපාකයන් ය. එබැවින් සියලු ලෝකවාසීන් එකමුතු ව නැවතත් ස්වභාව ධර්මයට අනුව ජීවත්
වීමට
උත්සාහ ගැනීමකට මං විවර කරයි. නමුත් එය කෙතෙක් දුරට අනුගමනය කරයි ද යන්න ගැටලුවකි.
පරිසරයට අනුගතව කටයුතු කරමින් තම අවශ්‍යතා පිරිමසා ගත් අවස්ථාවක් මොහොතකට හෝ මේ
කාලයේ අපට දැකිය හැකි ය. දේශීය පැරණි බෙහෙත් වර්ග හා පාන වර්ග පානය කරමින් සෞඛ්‍ය
සම්පන්න ව ජීවත් වීමට ගන්නා ලද උත්සාහයන් ද මෙම කාලයේ සාමාන්‍ය සාමාජීය ලක්‍ෂණයකි.
මෙසේ අප නැවතත් අතීතයට පිය නගමින් ස්වභාව ධර්මයට ඇලුම් කරමින් කටයුතු කරනු දැකීම
තුළින් ප්‍රකට වන්නේ ස්වභාව ධර්ම හා මිනිසා අතර බැඳීම තවදුරටත් ශක්තිමත් වීමකි.
යමෙක් ආත්මාර්ථකාමී, වෛරී, හිංසාසහගත යන සිතිවිලිවලින් දුරස් ව මෛත්‍රි සහගත
සිතිවිලිවලින් කටයුතු කිරීම නිසා ස්වභාව ධර්මයෙන් හෝ මිනිස් නොමිනිස් සියල්ලන්ගෙන්
ද හානියක් අකටයුත්තක් කිසිදාක සිදු නොවේ. ධර්මය ඔහුව ආරක්‍ෂා කරයි. ගුණධර්මවලින්
දුරස් වී යන සමාජයක ගුණවත්කමින් පොහොසත් අයෙකු වීමට මෙත් සිත පුහුණු කිරීම හා
වර්ධනය කිරීම ඵලදායී ක්‍රියාවක් වේ. |