Print this Article


නිවන් මගට මඟ පෙන්වන අටලෝ දහම

නිවන් මගට මඟ පෙන්වන අටලෝ දහම

ශ්‍රද්ධාවන්ත පින්වතුනි , ලෞකික ජීවිතයක් ගතකරන පුද්ගලයකුට සමාජයේ ජීවත්වන විට විවිධ ආකාරයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා බුදුරජාණන්වහන්සේ යම් කෙනෙකුට මේ සමාජයේ ජීවත් වීමට අවශ්‍ය කරන මානසික ශක්තිය ඇති කරදීම පිණිස උපකාරීවන කරුණු රාශියක් දේශනා කර වදාළා . ඒ අතර අටලෝ දහම පිළිබඳ කරන ලද දේශනාව අති විශිෂ්ටයි . මහා මංගල සුත්‍රයේ මෙසේ සඳහන් වෙනවා

“ඵුට්ඨස්ස ලෝක ධම්මේහි
චිත්තං යස්සන කම්පති

යම් කෙනෙකුගේ සිත අටලෝ දහමින් කම්පා වෙන්න හොඳ නැහැ . මේ අටලෝ දහම යනු කුමක්දැයි අපි විමසා බලමු .ලෝකයේ සෑම කෙනෙකුටම මුහුණ දීමට සිදුවන ධර්මතා අටක් පිලිබඳවයි මෙහි සදහන් වෙන්නේ .

“ලාභෝ අලාභෝ අයසෝ යසෝච
නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං”

ආදී වශයෙන් ඉපදුණු සත්ත්වයාට මේ වෙනස්වන කරුණු අටට මුහුණ දීමට සිදුවෙනවා .ලාභයක් ඇතිවුණොත් අලාභයක් ඇතිවෙනවා. ඒ වගේම කීර්තියක් ඇතිවුණොත් අපකීර්තියක් ඇතිවෙනවා. නින්දා ඇතිවුණොත් ප්‍රශංසා ඇතිවෙනවා. සැප ඇති වුණොත් දුක ඇති වෙනවා .මේවායින් ගැලවුණු කෙනෙක් මේ ලෝක ධාතුව තුළම නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

සම්පුර්ණයෙන්ම නින්දාවට පත් වූ කෙනෙක් මේ ලෝකයේ නැහැ. සම්පුර්ණයෙන්ම ප්‍රශංසාවට පත් වූ කෙනෙකුත් මේ ලෝකයේ නැහැ.එහෙමනම් අප හැම කෙනෙක්ටම අටලෝ දහමට මුහුණ දෙන්නට සිදුවන බව දැනගන්නට ඕනේ. අප කිසිම දෙයකින් කම්පාවට පත් වෙන්න හොඳ නැහැ .ඒ සඳහා අප දියුණු කළ යුතු ගුණාංගය උපේක්ෂාවයි. අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය උපේක්ෂාවයි.

බොහෝ දෙනෙකුට මෛති‍්‍රය පතුරවන්න පුළුවන් . ඒ වගේම බොහෝ දෙනෙකුට අනුන්ගේ දුකේදී තම සිත කම්පනයට පත් වී ඒ අය කෙරෙහි කරුණාවෙන් කටයුතු කරන්නත් පුළුවන්. අන් අයගේ සැපතේදී ඊර්ෂ්‍යාව යටපත් කරලා සතුටු වෙන්නත් පුළුවන් . නමුත් බොහෝ පිරිසකට ජයගන්න අමාරුම දේ උපේක්ෂාවයි . මධ්‍යස්ථ ස්වභාවයට පත්වීමයි . එක්තරා අවස්ථාවකදී විදේශ රටක භාවනාව බොහෝ දියුණු කළා යැයි කියන භික්ෂුන්වහන්සේ නමක් සිංගප්පුරුවට වැඩම කළා. . ඒ අවස්ථාවෙදී වීසා ලබාදෙන පිරිස උන්වහන්සේට සිංගප්පුරුවට අතුල්වීමට අවසර ලබා දුන්නේ නැහැ . එහිදී උන්වහන්සේ බොහෝ නොසන්සුන්තාවයට පත්වුණා . ඒ අවස්ථාවෙදී තමයි උන්වහන්සේට අවබෝධ වෙලා තිබෙන්නේ තමන් උපේක්ෂාව දියුණු කළා යයි සිතා ගෙන සිටියත් දියුණු වෙලා නැහැ කියලා .

සමහරු කියනවා ඕනෑම ප්‍රශ්නයකට මම මුහුණ දෙනවා කියලා. ප්‍රශ්නයක් ඇතිවුනාට පසුවයි තේරෙන්නේ තමන්ට එය දරාගන්න බැහැ කියලා. සමහරු අටලෝ දහමින් අකම්පිත ව සිටීමේ නොහැකියාව නිසා තමන්ගේ ජීවිතයෙන් සමුගන්නවා . විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගයෙන් අසමත් වීම නිසා තමන්ට සිදුවුණු අලාභය ගැන හිතලා ජීවිතයෙන් සමුගන්නවා. ඇතැම් අය පවුල් ජීවිතවල තියන ප්‍රශ්න මුල් කරගෙන ජීවිතයෙන් සමුගන්නවා. මේ වගේ තමාගේ ජීවිතයෙන්ම වන්දි ගෙවන අය අද ඉන්නවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අපට මේ කාරණාව මෙපමණ ගැඹුරින්ම අවධාරණය කර දේශනා කළේ.

වර්තමාන සමාජයේ මිනිස්සුන්ට දරාගැනීමේ ශක්තිය අඩුබවක් පෙනෙනවා. ඒ තත්වය මේ කාලයේදී වඩාත් වැඩියි . මේ තත්වයට මව්පියන්ද වගකිව යුතුයි . දරුවා කුඩා කාලයේදී ඉල්ලන දේ දුන්නේ නැති උනාම අඬනවා. බඩු පොළවේ ගහනවා. බිම පෙරළී අඬනවා. ඒ දරුවා පොඩි කාලයේ සිටම අකම්පිත භාවයට වඩා කම්පා වෙන ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඉල්ලන දේ දෙනවා. මේ දරුවන් වැඩිහිටි භාවයට පත්වූ පසුව හැසිරෙන්නේ නොහික්මුණු ආකාරයෙන්. ඒ නිසා පොඩි කාලයේ සිටම දරුවාට යථාර්ථය කියලා දෙන්න ඕනේ . අද කන්න තියෙන්නේ සම්බෝලයි බතුයි නම් ඒක කන්න පුරුදු කරන්න. ළමයාට කියල දෙන්න අපි අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා. ඒ නිසයි අපි මෙහෙම කන්නේ බොන්නේ කියලා. ඒ නිසා අපි දියුණු වෙන්න ඕනේ ,මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ වගේ ඇත්ත කතා කරලා දරුවාට නිවැරැදි මාර්ගය කියා දෙන්න ඕනේ. නමුත් අපි ළමයා රවට්ටලා ගෙන යන ක්‍රමයක් තියෙන්නේ. මව්පියන් තමන්ට කරන්න පුළුවන් සීමාවට වඩා කරන්න හදනවා. පුළුවන් තරම් බලන්නේ ළමයා තරඟයක දුවවන්න.

අධ්‍යාපනය, නිලය, ධනය, බලය, කුලය, වංශය, රූපය , ජනපි‍්‍රයකම , රැකියාව ,තනතුර උසස් කරගැනීම , තනතුර රැකගැනීම පසුපස දුවනවා. මෙවැනි දේවල් පසුපස යාමටයි මිනිසුන්ගේ මනස කි‍්‍රයාත්මක වෙන්නේ. ගුණධර්මයක් තුළ මනස හික්මවන්න කටයුතු කරන්නේ නැහැ . දරුවාට කුඩා කල සිටම ගුණ ධර්ම පුරුදු කරන්න ඕනේ . එවිට අටලෝ දහමින් කම්පා නොවී සිටින්න කියලා අමුතුවෙන් පුරුදු පුහුණු කිරීමට අවශ්‍ය නැහැ. ළමයා නිරායාසයෙන්ම හැදෙනවා. ඕනෑම ගැටලුවකට ඔරොත්තු දෙන දරුවකු හැදෙනවා.

මේ ගුණධර්මවලින් තොරව දරුවන් හැදීමේ ප්‍රධාන ගැටලුවකට තමයි අද අපි මුහුණ දී සිටින්නේ. ඒ නිසා නුතන සමාජයේ මානසික අසහනය දිනෙන් දින වැඩිවෙන බවක් පෙනෙනවා.

මෙම ලිපියේ ඉතිරි කොටස ඇසළ අව අටවක පෝදා ( 12 වනදා) පත්‍රයේ පළවේ.