සීලව මහරහතන් වහන්සේගේ
උදානය
පොල්ගහවෙල මහමෙව්නා
භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
ඛුද්දක නිකායට අයත් ථේර ගාථා නම් පොත් වහන්සේගේත් එහි අට්ඨ කතාව නම් වූ පරමත්ථදීප
නම් පොත් වහන්සේගේත්, ඒ රහතන් වහන්සේලාගේ අසිරිමත් විස්තර සඳහන් වෙනවා.
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ සංගීතිකාරක මහරහතන් වහන්සේලා ථේර ගාථා පොත්
වහන්සේගේ නිදාන ගාථාවල රහතන් වහන්සේලාගේ උදාන ගාථා හඳුන්වා දී ඇත්තේ මෙලෙස යි. “ඒ
රහතන් වහන්සේලා සිත දියුණු කර ගත්තේ මේ ධර්මයෙන් ම යි. උන්වහන්සේලා තම තමන් ගැන
කියන මේ ගාථාවන් හොඳින් අසාගෙන ඉන්න. උන්වහන්සේ නොයෙකුත් සමාපත්ති වලින් යුක්තයි.
සෑම දුකකින් ම නිදහස්්් වුණ ඒ රහතන් වහන්සේ සැබෑවට ම ප්‍රඥාවන්ත.යි. අලසකමකින්
තොරයි. ඒ රහතන් වහන්සේ ධර්මය ගැන නුවණින් සලකාගෙනමයි මේ ගාථාවන් දේශනා කොට වදාළේ.
අද අප ඉගෙන ගන්නේ සීලව නම් මහරහතන් වහන්සේ වදහළ උතුªම් උදානයක් ගැනයි.
උන්වහන්සේ අතීත බුද්ධ ශාසනවල දී ධර්මාවබෝධය පතා කුසල් දහම් රැස් කර ගත්තා. අපගේ
ශාස්තෘන් වහන්සේගේ කාලයේ දී රජගහ නුවර බිම්බිසාර මහරජුගේ පුතු ලෙස ඉපිද සීලව කුමරු
නමින් ප්‍රකට වුණා. තරුණ වියට පත් ඒ කුමරු මරා දැමීමට තම සහෝදරයා වූ අජාසත් රජු
තීරණය කළා. රජතුමා සීලව කුමරු චණ්ඩ ඇතෙකු පිට නංවා මැරවීමට නොයෙකුත් උපක්‍රම
යෙදුවත් ඒ සියලු ක්‍රම අසාර්ථක වුණා. පශ්චිම භවිකයා ( අවසන් භවයට පැමිණි පුද්ගලයා)
රහත් නො වී කිසිසේත් ම මරණයට පත් නො වන බැවින් අජාසත් රජුගේ ඝාතන උපක්‍රම වැළකී
ගියා.
සීලව කුමරුට සිදු කරන උපද්‍රව දිවැසින් දුටු භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහරහතන්
වහන්සේ අමතා “සීලව කුමරු මෙහි රැගෙන එන්න” යැයි වදාළ සේක. තෙරණුවෝ සෘද්ධි බලයෙන්
මහා හස්්තියා සමගින් ම කුමරු භාග්‍යවතුන් වහන්සේ වෙත රැගෙන ආවා. ඔහුගේ ඉන්ද්‍රිය
ධර්මයන්ට ගැළපෙන ලෙස භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළ සේක.
ධර්ම ශ්‍රවණයෙන් ලැබූ ශ්‍රද්ධා ඇති සීලව කුමරු ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි භාවය
ලබා ගත්තා. මනාකෙට සසුන් පිළිවෙත් පුරා සමථ විදර්ශනා වඩා නොබෝ දිනකින් ම උතුම්
අරහත්වය සාක්ශාත් කළා. සීලව තෙරුන් කොසොල් රට වාසය කරන බව ඇසූ අජාසත් රජතුමා
උන්වහන්සේ ඝාතනය කරන්නැයි රාජ පුරුෂයන්ට නියෝග කළා. තෙරුන් වහන්සේ සමීපයට ගිය ඒ රාජ
පුරුෂයින් සීලව තෙරුන් වහන්සේගෙන් දහම් අසා හටගත් සංවේග ඇතිව තෙරුවන් කෙරෙහි පැහැදී
පැවිදි වුණා. උන්වහන්සේලාට අනුශාසනා කිරීම පිණිස සීලව මහරහතන් වහන්සේ සීලයෙහි
අනුසස් ඉස්මතු කෙරෙන මෙම ගාථා වදාළ සේක.
* මේ බුදු සසුනේ පුහුණු කරන්නට ඕනෑ සීලයම යි. මේ ජීවිතයේ දී හොඳට සිල් රැක ගත්තොත්
සියලු සම්පත් ලැබෙනවා.
* නුවණ තිබෙන පුද්ගලයා සිල් රකින්නට ඕනෑ සැප තුනක් බලාගෙනයි. ඒ ප්‍රශංසාව, ධන ලාභය,
හා සුගතියේ ඉපදී සතුටුවීමයි.
* දුශ්ශීල පුද්ගලයා ලබන්නේ ගැරහීමත්, අපකීර්තියක් පමණයි. සිල්වත් පුද්ගලයා නිතර ම
ගුණ කතාවත් ප්‍රශංසාවත් ලබනවා.
* මුලින්ම පිහිට වෙන්නේ සීලය යි. සීලය කියන්නේ යහපත් ගතිගුණවලට හරියට අම්මා කෙනෙක්
වගේ. සියලු ගුණ ධර්මවල ප්‍රමුඛයා සීලය යි. එනිසා සීලය පිරිසුදුව තබා ගන්න ඕනෑ.
* සිත මහ මුහුද නම්, සීලය වෙරළ යි. සතුටත්, සංවරයත් ලබාදෙන සීලය සෑම බුදුවරුන්ගේ ම
පුණ්‍ය තීර්ථය යි. ඒ නිසා සීලය පිරිසුදුව තිබෙන්න ඕනෑ.
* සීලය කියන්නේ අසහාය බලයක්. උත්තම ආයුධයක්. ලස්සන ආභරණයක්. අද්භූත ඇඳුමක්.
* සීලය කියන්නේ මහේශාක්‍ය පාලමක්. අතිඋතුම් සුවඳක්. දස දිශාවට ම හමාගෙන යන ශ්‍රේෂ්ඨ
සුවඳ විලවුන් කියන්නේ සීලයට යි.
* සීලය කියන්නේ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත් මුලක්. උතුම් ගමනකට හොඳ විසඳුමක්. දස
දිශාවේ ගමන් කළ හැකි හොඳ වර්ගයේ වාහනයක්.
* ජීවිතය නපුරු කර ගත්තොත් මේ ජීවිතයේ දී ම නින්දා ලැබෙනවා. පරලොව දී අපායේ ඉපදිලා
දුක් විඳින්නට සිදු වෙනවා. සීලයක් නැති එකඟ වූ සිතක් නැති අඥාන පුද්ගලයා හැම තැනක
දී ම දුකට ගොදුරු වෙනවා.
* ජීවිතය යහපත් කර ගත්තොත් මේ ජීවිතයේ දී ම කීර්තිය ලැබෙනවා. පරලොව දී සුගතියේ ඉපදී
සතුටු වෙනවා. සිල් රැකීමෙන් සිත එකඟ කරගෙන නුවණ ලබා ගත් පුද්ගලයා හැම තැනක දී ම
සතුටු වෙනවා.
* මේ ශාසනයේ සීලය අග්‍ර දෙයක්. නමුත් උතුම් ම දෙය ප්‍රඥාව යි. මිනිසුන් අතරිත්,
දෙවියන් අතරිත් සීලයත්, ප්‍රඥාවත් යන දෙකෙන් ජය ලබන්නට පුළුවන්.
ශ්‍රාවකයෙකු බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබූ පසුව ශාස්තෘන් වහන්සේගෙන් සීල
සම්පත්තිය ඇතිකර ගැනීම පිණිස අනුශාසනා ලැබෙන්නේ මෙසේ යි.
”පින්වත් භික්ෂුව එන්න දැන් ඔබ සිල්වත් වෙන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර
වෙන්න. ඇවතුම් පැවතුම් යහපත් කර ගන්න. අනුමාත්‍ර වරදේ පවා බිය දකිමින් වාසය කරන්න.
සමාදන් වූ ශික්ෂාපදවල හික්මෙන්න.” මෙලෙසින් සමාදන් වූ සිල්පද ශ්‍රද්ධාවන්ත
ශ්‍රාවකයන් ජීවිතය නැසුණත් කඩ නො කරන බව පහාරාද සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ
වදාළ සේක. “පහාරාදය, මාගේ ශ්‍රාවකයන් ජීවිතය හේතුවෙන්වත් තථාතයන් වහන්සේ විසින්
පනවන ශික්ෂාපද නො ඉක්ම වන්නේ ය” කියායි. එසේනම් නිවන් මග පරිපූර්ණ කළ අප්‍රමාණ
ශාස්තෘ ගෞරවයකින් සහ අප්‍රමාණ සීල ගෞරවයකින් යුතු නිකෙලෙස් මහ රහතන් වහන්සේ නමකගේ
සීල පාරිශුද්ධිය කෙතරම් උත්තරීතර ද? සීලව මහ රහතන් වහන්සේ මෙසේ සීලයේ අනුසස් මෙතරම්
පහදා දෙන්නේ තමන් වහන්සේ ද ඒ පාරිශුද්ධ සීල සම්පත්තියේ පිහිටා සිටිමිනි.
පොදුවේ ගත් කල සීලවන්ත ශ්‍රාවකයෙකුට හිමිවන සීල සම්පත්ති පහක් ඇති බව භාග්‍යවතුන්
වහන්සේ මෙසේ දේශනා කොට වදාළ සේක.
පින්වත් මහණෙනි, සිල්වතාගේ සීල සම්පත්ති පහකි.
සිල්වත් පුද්ගලයා ගේ අප්‍රමාදී දිවි පැවැත්ම නිසා මහත් වූ භෝගස්ඛන්ධයක් ලැබේ,
සිල්වත් පුද්ගලයා ගැන කල්‍යාණ කීර්ති රාවයක් පැතිරී යයි, ඕනෑම පිරිසක් මැදට සිල්වත්
පුද්ගලයා බිය රහිත ව විශාරද ව එළඹෙයි, සිල්වත් පුද්ගලයා සිහි මුළා නොවී කළුරිය
කරයි, මරණින් මතු සුගති ලෝකයෙහි උත්පත්තිය ලබයි.
ශාස්තෘන් වහන්සේ වදහළ මෙම ආනිශංස සීලව මහරහතන් වහන්සේ ගාථා දොළොසකින් මනාකොට පහදා
දුන්නා. ඒ උතුම් ශ්‍රාවකයින් ධර්මය ම ඉස්මතු කරන අයුරු කෙ තරම් අසිරිමත් ද?” සංඝං
සරණං ගච්ඡාමි” යනුවෙන් අපි සරණ යන ඒ ශ්‍රාවක සංඝ රත්නය කෙ තරම් ශ්‍රේෂ්ඨ ද?
“පින්වත් මහණෙනි යම්තාක් සත්ත්ව සන්නිවාස තිබේ ද, යම්තාක් භවාශ්‍ර තිබේද ඒ සියල්ලට
ම ඉහළින් අග්‍ර වන්නේ රහතන් වහන්සේලා ය. ශ්‍රේෂ්ඨ වන්නේ රහතන් වහන්සේලා ය.” යනුවෙන්
භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ උත්තරීත්වය යි.
රහතන් වහන්සේලාගේ ජීවිත පැවැත්ම එතරම් ම සැහැල්ලු ය. එතරම් ම නිදහස් ය. මේ ලෝකය තුළ
ඉතාමත් ම නිදහසේ ඇවිද යන්නේ රහතන් වහන්සේ පමණි. ඒ රහතන් වහන්සේලා සතර සතිපට්ඨානය
තුළයි ජීවත් වන්නේ. උන්වහන්සේලා තණ්හාවට ඇලෙන්නේ නැහැ. විල අතහැර යන හංසයන් වගේ
කුඩා මහත් හැම දෙයක් ම අත්හැර දානවා.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිකෙලෙස්
සුන්දරත්වය ගැනයි.
නයනා නිල්මිණී |