දැවෙන
සිත්
වැරදුණ තැනින් පටන් ගත්තා
මිනිස්සු ජීවත් වීම සඳහා බොහෝ ක්‍රමෝපායන් සොයති. ඇතැමෙක් දැහැමිව ද ඇතැමෙක් අයථා
මාර්ගයෙන් ද ධනය උපයති. ජීවිතයේ අපට වරදින්නට මහ වෙලාවක් යන්නේ නැත. එවැනි මඟ
වැරදුණ මිනිසුන් සමාජයේ දී කොතෙකුත් හමුවේ.
“හිරගෙදර විශ්ව විද්‍යාලයක් වුණා මට“ කලකට පෙර හිර ගෙදරදි හමු වූ ඔහු මා හා
පැවැසුවේ මද සිනා ඇතිවය.
මහ උළුගෙදර තපින්නට වුණා යැයි කියමින් පසු තැවිලි වන මිනිසුන් අතර ජීවිතයේ නව
මානයක් සොයා යන මිනිසුන් එහිදි අපට හමු වී ඇත. මේ එවන් මිනිසෙකු ගේ කතාවකි.ඔහු
පෙනුමින් හැඩිදැඩි ය. උස මහත ය. බැලූ බැල්මට මේ මහා නපුරු කෙනෙකැයි කෙනෙකුට සිතේ.
ඇසකින් කඳුළක් නොසලන්නේ යැයි සිතිය හැකි මේ මිනිසා ධම්මික යන අන්වර්ත නාමයකින් ඔබට
හදුන්වා දෙමි.
කඳුළු පිරි දෙනෙතින් ඔහු පෙර දිනෙක පන්සල් වාට්ටුවේ දී සිය කතාව කීවේය.
“මට හිටියා ලස්සන පුංචි දුවක්. මගේ බිරිඳ රස්සාවක් කරනවා. මම සුළු ව්‍යාපාරයක් කළේ.
මට තිබුණේ පුංචි ගෙයක්. ඒ ගෙදර අප බොහෝම සතුටින් ජීවත් වුණා. නමුත් මගෙ යාළුවෝ ලොකු
වාහන අරගෙන, මාලිගා වගේ ගෙවල් හදාගෙන බොහෝම ලස්සනට ජීවත් වෙනවා දැක්කා ම මටත්
හිතුණා ඒ වගේ වෙන්න ඕන කියලා. මගේ බිරිඳ බොහෝම සරල ව ජීවත් වෙන්න කැමති කෙනෙක්.
එයාට ඕන වුණේ දුවගේ අනාගතය හදන්න. මම ඉස්සර හම්බ කරන හැම රුපියලක්ම ගෙනැල්ලා දුන්නේ
බිරිඳගේ අතට. ඇය ඒ මුදල් බොහෝම සීරු මාරුවට වියදම් කළේ. අපි දෙන්නා ම රස්සාවල් කළ
නිසා ගෙදර අගහිඟකම් තිබුණේ නැහැ. අපේ පුංචි පවුල දිහා හැමෝම බලාගෙන හිටියා කියලා මම
දන්නවා. ඒත් මට ඕන වුණා ලොකු සල්ලිකාරයෙක් වෙන්න. මම රෑ තිස්සේ කල්පනා කළා වැඩියෙන්
සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා.
“ ඇයි රෑ තිස්සේ ඇහැරිලා කල්පනා කරන්නේ“
බිරිද මගෙන් කිහිප දවසක් ම ඇහුවා. ඒ වෙලාවට මම මොනවා හරි කියලා මඟහැරියා. පෝසතෙක්
වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන විට මට මතක් වුණා මගේ ස්ලලිකාර යාළුවෙක් ගැන. මම
පසු දා ම ඔහු හමුවෙලා මේ බව කීවා.
“මා එක්ක එකතු වෙන්න... හැබැයි කිසිදෙයක් පිටට දෙන්න එපා“
ඔහු මට කිව්වා
මම මගේ ව්‍යාපාරය කරන ගමන් ඔහු සමඟ එක් වුණා. හැමදෙයක් ම වුණේ රහසිගතව ම. මම
සල්ලිකාරයෙක් වුණා. දවසට මුදල් මිටි ගණන් ගෙදර ගෙනාවේ.
“කොහෙන්ද මෙච්චර සල්ලි. අම්මලා අහනවා මගෙන් මේ තරම් ලොකු වාහනයක් ගත්තේ කොහොමද
කියලා.“
බිරිඳ අහන්න ගත්තා.
“ඒවා වැඩක් නැනේ.“
මම එහෙම කියලා මඟ හැරියා. සල්ලි ගැවසීමත් සමඟ අප, අපෙන් ඈත් වුණා. අලුත් යාළුවෝ ඇති
වුණා. සමාජ ශාලාවලට ගියා. මට මගේ බිරිද හොඳ නැති වුණා. ලස්සන මදි වුණා. මගේ එකම
දරුවා, බිරිඳ දවසින් දවස මගෙන් ඈත් වුණා. වෙනදාට වේලාසන ගෙදර ආ මම ඇතැම් දවසට ගෙදර
එන එක මඟ හැරියා. අප අතර නිතර ආරවුල් ඇති වුණා. දවසක් බීමත් ව හිටපු මම බිරිදට
හොදටම පහර දුන්නා. මට ඇය සහ දරුවන් පෙන්නන බැරිව ගියා. ඒ අය මහගෙදර ගියා. මගේ
හිතුවක්කාර හිත සල්ලි මත්තෙම නැහැණා. මම ගෙරදට වෙනත් කාන්තාවක් ගෙනාවා. ඒ තමයි
ජීවිතේ සතුට. මට හිතුණේ එහෙමයි. ඒත් දවසක් පොලිසීයට අසුවුණා. මගෙ යාළුවා හැම වරදක්ම
මා පිට දාලා බේරුණා. මගේ ගේ දොර හැමදේම නැති වුණා.“
ධම්මික දෑසේ කඳුළු පුරවාගෙන පවසන්නට විය. බිරිඳ දරුවෝ සිහිකරන විට ඔහු දැසේ පිරුණ
කඳුළක් බිම වැටෙයි.
යාළුවත් එක්ක එකතු වෙලා මොකද කළේ.
යාළුවා ඒජන්සියක් කළා. මැදපෙරදිග, යුරෝපා රටවලට තරුණ තරුණියන් යැව්වා. අන්තිමට
යාළුවා සල්ලි අරන් රටින් පැන්නා. ඔහු කිව්වේ ටික දවසකට යනවා කියලා. ඒත් හැම වරදකටම
අහුවුණේ මාවයි. ඇත්තම කිව්වොත් මම වරදක් කළා. මම දැනගෙන හිටියා ඔහු ඒ දේවල්
නීත්‍යානුකූල විදිහට කරන්නේ නැහැ කියලා. ඒත් සල්ලි වලට තියෙක ලෝභකම මගේ ජීවිතේ
වරදටම ඇද දැම්මා. මට අවුරුදු ගණනක සිර දඩුවමක් නියම වුණා.
මම දන්නවා මගේ දරුවන් බිරිඳ අම්මා තාත්තා හැමෝම මම නිසා ලජ්ජාවට පත් වුණා කියලා.
මගේ කියන කිසිම කෙනෙක් මා බලන්න ආවේ නෑ මුලදී වයසක අම්මයි තාත්තායි මාව, බලන්න
එනවා.
මට මගේ හිත හදා ගැනීම පහසු වුණේ නෑ. කවදාවත්ම හිර ගෙදරකට ආවේ නැති මම බොහෝම
අමාරුවෙන් තමයි මේ ජීවිතයට හුරුවුණේ.“
අවුරුදු ගණනක් හිර ගෙදර ගතකරන ධම්මිකගේ හිත දැන් හැදිලද කියලා ඇහුවා ම ඔහු බොහොම්
අහිංසක විදිහට හිනා වුණා.
ඔව්... බොහෝ දුරට හිත හැදිලා. හිරගෙදර කියන්නේ අපට වැරදි හදාගන්න හොඳ තැනක් කියලා
මට හිතෙනවා. මට මෙහෙ ආව අලුත නින්ද ගියේ නෑ. මට හිතුණා ජීවිතේ නැති කර ගන්න ඕන
කියලා. ඒත් අන්තිමට මම ධර්මය පැත්තට යොමු වුණා. භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වුණා.
අපිට අපේ අකීකරු සිත හදා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි භාවනාවට යොමු වීම. බුදුන්ගේ
සද්ධර්මය අසුවාට විතරක් වැඩක් නැහැ. ඒ ධර්මය පිළිපැදිය යුතුයි. මම හැම පෝයටම සිල්
සමාදන් වෙන්න පටන් ගත්තා. දැන් මගේ හිත බොහොම සන්සුන්. මට කිසිම කෙනෙක් එක්ක තරහක්
නෑ. මගේ බිරිඳ පිටරටක ඉන්න එයාගේ ඥාතියෙක් ළඟට ගිහිල්ලා දරුවත් එක්ක. එදා මගේ සල්ලි
නිසා මා එක්ක හිටිය කිසිම යාළුවෙක් , මා එක්ක ආව ගිය එකම කාන්තාවක් වත් දැන් මා
එක්ක නෑහැ. ඔවුන්ට මම කියලා කෙනෙක් හිටියද කියලත් මතක නැහැ. ජීවිතේ අප මේ කරන බොරුව
මොකක්ද කියලා මට හරියටම වැටහෙන්න ගත්තේ හිරගෙදර ඇවිල්ලා ටික දවසක් ගියාට පස්සේ
අප ආශාවන්ට වහල් වුණා ම තමයි අපිට ජීවිතේ වරදින්නේ. මම හැමදාම නින්දට කලින් මෛත්‍රි
භාවනාව කරනවා. මගේ හිත සන්සුන්. තවත් සති කිහිපයකින් මම මෙතැනින් නිදහස් වෙනවා.“
ධම්මික පවසන්නේ බොහෝ සන්සුන්ව.
අතොරක් නැතිව උපදින බලාපොරොත්තු හා ආශාවන් පසුපම යන්නකුට අවසනදී උරුම වනුයේ දුකම
පමණි.
ඉනෝකා සමරවික්‍රම |