Print this Article


මණිකණ්ඨ ජාතකය : මිතුරාගේ නික්ම යෑම

මණිකණ්ඨ ජාතකය

මිතුරාගේ නික්ම යෑම

“ඉල්ලීම නම් කවුරුත් නොකැමැති දෙයකි. බොහෝ සම්පත් ඇති අය පවා ඉල්ලීමෙන් අමනාප වේ.”

තථාගතයන් වහන්සේ අලව් නුවර අග්ගාල චෛත්‍ය භූමියෙහි වැඩ වාසය කරන සමයේ මහ කාශ්‍යප මහ රහතන් වහන්සේ දිනක් අලව් නුවර පිඬු සිඟා වැඩියා. කාශ්‍යප තෙරුණ් වහන්සේ දුටු සැණින් මිනිසුන් ගෙවල් දොරවල් වසා සැඟවෙන්න වුණා. දන් පිඬක් බෙදන්නට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ. පසුව උන් වහන්සේ බොහෝ දුර ඇවිදලා දුක සේ පිණ්ඩපාතය ලබා ගෙන වැළඳුවා. එදා ම බුදු රජාණන් වහන්සේ බැහැ දැක

“ ස්වාමීනි, පෙර අලව් නුවර පිඬු සිඟා වඩින විට බොහෝ සිව්පසයෙන් සංග්‍රහ ලැබෙනවා. එහෙත් මෙවර මා පිඬු සිඟා ගිය ද දුටු දුටු මිනිසුන් භියෙන් තැති ගෙන අප මඟ හැර සැඟව යනවා. ” යි කියා සිටියා.

සර්වඥයන් වහන්සේ ඒ සැඟවෙන්නා වූ කාරණය දැන අලවු නුවර වාසි සියලු භික්‍ෂුන් වහන්සේලා කැඳවා

“ තොප විසින් අලව් නුවර වැසියන්ට හිරිහැර වන අයුරින් ‘අපට ගෙවල් ඉදි කරන්නට කැති දෙවයි, පොරෝ දෙවයි,’ කිය කියා නොයෙක් බඩු බාහිරාදි දේ ඉල්ලා කරදර කරන බව සැබෑවක් ද ? යි විචාළා. ඒ භික්‍ෂූන් වහන්සේලා ද තම වරද පිළි අරගෙන “ එය සැබෑවයි ස්වාමීනි ” කියා පිළිතුරු දුන්නා.

“ මහණෙනි ඉල්ලීම නම් කාට වුවත් නොසතුටු අකමැති දෙයක්. සාමන්‍ය වැසියා පමණක් නොව මහත් ධන සම්පත් ඇති අය පවා තමන්ගෙන් යම් දෙයක් ඉල්ලනවට අකමැතියි. පෙරත් එක් මණිකණ්ඨ නම් නාග රාජයෙකු තමාගේ ගෙල තිබූ කණ්ඨ මැණික්‍ය ඉල්ලූ කළ්‍යාණ මිතුරු තාපසතුමාවත් අතහැර දා පලා ගියා. එනිසා මහණෙනි ඉල්ලීම නම් නුසුදුසුම වෙයි.” යනුවෙන් වදාළා. රැස්ව සිටි භික්‍ෂූණ් වහන්සේලාගෙන් ලද ආරාධනාවෙන් බුදු රජාණන් වහන්සේ ඒ අතීත කතාව ගෙනහැර දැක්වූවා.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අප මහා බෝධිසත්වයන් වහන්සේ එක් බමුණු කුලයක ඉපදුණා. ඔහු වැඩි වයසට පැමිණි පසු සහෝදර මලණුවන් සමඟින් ගිහිගෙය සම්පත් අතහැර දමා හිමාල වනයට පිවිස ගඟක් සමීපයෙහි ආරාම සකස් කර ගත්තා. වැඩිමහල් සහෝදරයා ගඟ ඉහළත් බාල සහෝදරයා ගඟ පහළත් පන්සල් ගෙවල් සාදා තවුස් දම් පුරමින් බවුන් වඩන්නට වුණා.

බෝධිසත්වයන්ගේ මලණුවන් වසන්නා වූ පන්සල ඇති කිට්ටුව ගඟෙහි මණිකණ්ඨ නම් නාග රාජයෙක් හිටියා. දිනපතා පැමිණ මනුෂ්‍ය වේශයෙන් ඒ තාපසයාගේ පන්සල සමීපයේ සක්මන් කරමින් සිටියා. නිතර දකින්නට ලැබුණු නිවුණු, තරුණ තාපසයාගෙන් කරදරයක් නොමැති බව දැනගත් නා රජු තාපසයා සමඟ කල්‍යාණ මිත්‍රකමක් ඇතිකර ගත්තා.

දිනපතා පන්සලට පැමිණ මනුෂ්‍ය වෙශයෙන් සිට ආපසු යන අවස්ථාවේ නාග වේශයෙන් තාපසයාව වෙලා සෙනෙහසින් සිප පෙනය හිස මත තාබාගෙන ටික වේලාවක් සතුටින් සිට නැවත දරණවැල හකුලා තාපසයාට වැඳ නාග භවනයට නික්ම යාම සිරිතක් කර ගත්තා.

සැමදාම මෙසේ පැමිණ ඇඟ වෙලන අවස්ථාවේ තාපසයන්ගේ ඇඟ ගෑවෙත් ගෑවෙත්ම බියෙන් වෙවුලා ගියා. තාපසයා ටික දිනකින් ම ඉතා දුර්වල ව ශරීරය සුදු මැලි වී වැහැරී ගියා.

මේ අතර එක් දවසක් බෝධිසත්ව තාපසයා තමන්ගේ සහෝදර තාපසයා දකින්නට ගඟ පහළ පන්සලට ගියා. බෝධිසත්වයෝ තාපසයාව දැක

“ ඔබගේ ශරීරය මෙලෙස දුර්වල වන්නට හේතුව කුමක් දැ’ යි ඇසුවා.

“සහෝදරයාණෙනි, මණිකණ්ඨ නම් නාග රජයෙක් දිනපතා පැමිණ මා වෙලාගෙන ආදරයෙන්, සෙනෙහසින් හිස මත පෙනය තබාගෙන සතුටින් නික්ම යනවා. ”

“මා එයින් බියට පත්ව වෙවුලා යනවා. ඔහු ඉවත්ව යනතුරු මා සිටින්නේ දැඩි අපහසුතාවයෙන් මෙන්ම බියකින්. මාගේ ශරීරය දුර්වල ව වැහැරී යන්නට හේතුව එයයි.” කියා තාපසයා පිළිතුරු දුන්නා.

“ එසේ නම් ඒ නාගයා සමීපයට නොපැමිණෙන්නේ නම් ඔබ කැමැති ද?”

“ එය ඉතා යහපත්, නා රජු නොඑන්නේ නම් මා සිත සමාධිගත වෙයි. ”

“ ඒ නා රජ්ජුරුවන් පැළඳගෙන එන්නේ කුමන ආභරණයක් ද?”

“ කර පළඳීනා මණිකණ්ඨ මාණික්‍යයි”

“ එහෙනම් ඒ නාග රජු තොප සමීපයට ආ පසු උන් පැළඳගෙන ආවා වූ කණ්ඨ මාණික්‍යය ඉල්ලන්න.”

‘එවිට නා රජු ඔබෙන් පලා යයි. දෙවන දවස් ඔබ වෙලා නොගෙන සමීපයට වී සිටි. එවිටත් එම මාණික්‍යය ඉල්ලන්න.

තෙවන දවස් ඈතින් ම සිට ඔබට කතා කරයි. එවිටත් මාණික්‍යය ඉල්ලන්න.

සිවුවන දින ගඟින් ගොඩට නෑවිත් ජලයේම සිට ඔබ දකී. මෙසේ ඔබ නිතර ඔහු සතු වටිනාම සම්පත ඉල්ලන්න. එවිට ඔහුගේ නොපැමිණීම සිදු වෙනවා. ”යි බෝධිසත්වයෝ පැවසුවා.

මෙසේ ඒ තාපසයෝත් නා රජු පැමිණ ඇඟ වෙලා ගත් විට ම

“ ඔබගේ ගෙල තිබෙන කණ්ඨ මාණික්‍යය මට දෙන්නැයි” ඉල්ලුවා.

නා රජු වෙලාගත් දරණ බුරුල් කර තාපසයාගෙන් ඉවත්ව සිටියා. දෙවන දවසත්, තෙවන දවසත් මෙසේ මාණික්‍ය ඉල්ලුවා. නා රජු දියෙන් මතු වී තාපසයා දෙස බලා සිට “මට අහාරපාන ආදි බොහෝ ලාබ සත්කාර ආදිය උපදවා දෙන කණ්ඨ මාණික්‍යය කෙසේ නම් ඔබට දෙන්නේ ද? එසේ හෙයින් තොපගේ පන්සලට නැවත නොඑන්නේමි.” කිවා.

‘මාගේ බොහෝ සම්පත් තිබියදී මා පණ මෙන් රකින කණ්ඨ මාණික්‍යයම තොප ඉල්ලයි.’ දිනක තාපසයා විසින් මණික්‍යය පැහැර ගනී’ යන බියෙන් නා රජුගේ පැමිණීම නතර කර දියේ කිමිදී නාග භවනයටම ගියා.

එතැන් පටන් නා රජු එත්දැ යි නිතර විපරමින් කල් යවන්නට තාපසයාට සිදු වුණා. තමා බියෙන් හෝ ආදරය කළ සෙනෙහස දැක් වූ ඒ නාග රජුගේ නොපැමීණිම නිසා ශෝකී තත්ත්වයට පත් තාපසයෝ තවත් දුර්වලව වැහැරී ගියා. බෝධිසත්ව තාපසතුමා තම මලණුවන්ගේ සුව දුක් දකින්නට පසු කලෙක පැමිණියා. පෙරටත් වඩා සුදු මැලි වුණු සිරුරින් දුර්වලවී සිටින මලණුවන් දැක “කුමක් නිසා දැන් ඔබ මේ දුර්වල වූයේ දැ’ යි විචාළා.

“කල්‍යාණ මිත්‍ර වූ මාගෙ යහලුවා, මණිකණ්ඨ නා රජු නොදැකීමෙන් දුර්වලව ගියෙමි.” පිළිතුරු දුන්නා.

“මොහු නාගයා කෙරෙහි මහත් සෙනෙහස උපදවා සිටි. එනිසා නයා කෙරෙහි සෝකයෙන් මරණයට පත් වුවහොත් මොහුගේ පරලොවත් දුගතියට යනවා. මා මොහුට උපන් සෝකය දුරු කළ යුතුයි” සිතා.

“ මලණ්ඩ නොඉල් විය යුතු දෙය ඉල්ලීමෙන් ඊට සෝක උපදියි” එනිසා සෝකය අත් හරින්න. තමන් කැමති, ආදරය කරන, තමාගේ වටිනා වස්තුන් ඕනම කෙනෙකුට තියෙන්න පුළුවන්. එය නිතර නිතර කිසි විටකත් නොඉල් වන්න. එසේ ඉල්ලීමෙන් යහලුකම්, සහෝදරකම්, ඥාතිකම් පවා අතහැර දමන්නට පෙළඹෙනවා. එයින් උපදින්නේ සෝකයක් පමණි. ”

යනුවෙන් බෝධිසත්වයෝ බොහෝ අවවාද කොට තමන්ගේ පන්සලට ම ගියා. මල් තාපසයා ද තම සිත් වූ සෝකය අත් හැර දැමුවා. දෙදෙනාම බවුන් වඩා පංච අභිඤ්ඤා අෂ්ටසමාපත්ති උපදවා ධ්‍යාන ලාභින් වුණා. පසුව නොපිරිහුනු ධ්‍යානයන්ගෙන්ම මරණයට පත්ව බඔ ලොව උපන්නා. යයි වදාරා බුදු රජාණන් වහන්සේ මණිකණ්ඨ ජාතක කතාව නිමවා වදාළා. “එසමයෙහි බෝධිසත්වයන්ගේ මලණුවෝ නම් ආනන්ද ස්ථවිරයෝ යි.

අවවාද කී තාපසයා නම් බුදු වූ මම්ම ” නොවේ දැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.