Print this Article


අටවිසි බෝධි පුරාණය

අටවිසි බෝධි පුරාණය

බොදුජන සිත් පහන් කරවන බෝධි පූජාව අනාදිමත් කාලයක සිට සිරිලක් දෙරණේ පවතින්නේ ය.

ලෙඩක් දුකක් කරදරයක් ඇති වූ විට හෝ, නොකෙරුණු කරකාර බන්ධනයට හෝ, දරුවෙකු පිළිසිඳ ගැනීමට හෝ විභාගය සමත්වීමේ අදිටනින් හෝ ආදී කුමන හෝ අපේක්ෂාවක් සපළ කරගැනීමට කෙනෙක් බෝධින් වහන්සේගේ ආශිර්වාදය පතති.

එවැනි කිසිදු අපේක්ෂාවකින් තොරව හුදෙක් පින් ඵල නෙළා ගැනීමේ බලාපොරොත්තුවෙන් ම සැදැහැවත් උපාසක උපාසිකාවෝ ඉමහත් ගෞරවයෙන් භක්තියෙන් බෝ සමිඳුන් පුදති.

විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ ස්ථානයක් බැවින් පාරිභෝගික ධාතුව හෙවත් පාරිභෝගික චෛත්‍ය වශයෙන් හඳුන්වන්නේ ද බෝධීන්වහන්සේ ය. බෝධීන් වහන්සේ යනු ඉහත සඳහන් කළ පරිදි වෘක්ෂයකි. බුදුරජාණන් වහන්සේ සේ ම තවත් බුදුරජාණන් වහන්සේලා පිටදුන් බෝධීන් පිළිබඳව දේශනා කර ඇත.

එනම්, බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ අංක 08 දීඝ නිකායේ ද්විතීය භාගයේ අන්තර්ගත මහා පදාන සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

විපස්සී භික්ඛවේ, භගවා අරහං සම්මා සම්බුද්ධෝ පාටලියා මූලේ
අභිසම්බුද්ධෝප සිඛී භික්ඛවේ, භගවා අරහං සම්මා සම්බුද්ධෝ පුණ්ඩරීකස්ස
මූලේ අභිසම්බුද්ධෝ, වෙස්සභූ භික්ඛවේ, භගවා අරහං සම්මා සම්බුද්ධෝ
සාලස්ස මූලේ අභිසම්බුද්ධෝ, කකුසනේධා භික්ඛවේ, භගවා අරහං සම්මා
සම්බුද්ධෝ , සිරීසස්ය මූලෙ අභිසම්බුද්ධෝ,කොණාගමනො භික්ඛවේ භගවා
අරහං සම්මා සම්බුද්ධෝ උදුම්බරස්ස මූලේඅගිසම්බුද්ධෝ, කස්ස පො භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ නිග්‍රෝමධස්ස මූලේ. අභිසම්බුද්ධෝ අහං
භික්ඛවේ එතරහි අරහං සම්මාසම්බුද්ධෝ අස්සත්ථස්ස මූලේ අභිසම්බුද්ධෝ

“මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවත්හු පළොල් රුකක් මුල සත්‍යාවබෝධ කළහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවත්හු හෙළඹරුකක්මුලැ සත්‍යාවබොධය කළහ.මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවත්හු සල්රුකක්මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්හත් සම්මා සම්බුද්ධ වූ කකුසන්ධ භාග්‍යවත්හු මහරී රුකක්මුලැ සත්‍යවබෝධය කළහ. මහණෙනි, අර්හත් සම්මා සම්බුද්ධ වූ කොණාගමන භාග්‍යවත්හු දිඹුල්රුකක් මුලැ සත්‍යා‍වබෝධය කළහ. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවත්හු නුගරුකක් මුලැ සත්‍යවබෝධය කළහ. මහණෙනි මේ කලැ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් ඇසතු රුකක් මුලැ සත්‍යවබෝධය කළෙමි.”

යම්කිසි බෝසතාණන් වහන්සේ නමක් බුද්ධත්වය ලබාගැනීමේ දී වැඩ සිටීමට ආධාර වූ රුක බෝධිය වශයෙන් සලකා තිබෙන බව මෙහි දී පැහැදිලි වන කරුණකි. ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් සත් සතියක් ගත කළ බව ප්‍රචලිත වුවත්, ති‍්‍රපිටකයෙහි සඳහන් නොවේ. විනය පිටකයට අයත් මහාවග්ග පාලියේ සති සතරක් පමණක් සඳහන් ය. අනිමිස ලෝචන පුජාව පිළිබඳව සඳහන් වන්නේ සමන්තපාසාදිකා නම් විනය අටුවා ග්‍රන්ථයේ ය. මේ පිළිබඳ ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය රචනා කළ වැලිමිටියාවේ ධම්මරක්ඛිත නා හිමියෝ මෙසේ පැහැදිලි කරති. එනම්, පුජාර්හභාවය සනාථ කිරීමට මෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් දෙවන සතිය බෝධිය දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් අනිමිස ලෝචන නම් පූජෝපහාරයක් ද කළ සේක. මෙම අනිමිස ලෝචන පූජාව පිළිබඳ ව ග්‍රන්ථාන්තරයන්හි විවිධ විචාර පළ වී ඇතත් , හමුවී ඇති වාර්තා අනුව බුදුරදුන් විසින් බුද්ධත්වය ලබාගන්නා අවස්ථාවේ තමන්ට සෙවණත්, සිසිලත්, ගෙන දුන් බෝධී වෘක්යට ස්වකීය කෘතඥතාව පළ කර සිටි බවට නම් කිසිදු සැකයක් නැත.

අප තථාගත බුදුරජාණන් වහන්සේ පිටදුන් බෝධිය අශ්වත්ථ වෘක්ෂයයි. ඒ පිළිබඳ ව ශී‍්‍ර ලංකාවේ බෝධි සංස්කෘතිය පොතේ කර්තෘ අලුත්වැව සෝරත හිමියෝ මෙසේ සඳහන් කරති.

එනම්, අශ්වත්ථ වෘක්ෂය නමින් වේද ගන්ථවල සඳහන් වන ඇසතු වෘක්ෂය වෙනත් ගස්වලට වඩා පවිත්‍ර එකක් ලෙස පිළිගැනී තිබිණ. වෛදික ඉගැන්වීම් අනුව අති ශ්‍රේෂ්ඨ සෝම පූජාව සඳහා අවශ්‍ය භාජන සාදන ලද්දේ එහි ලී වලිනි. එපමණක් ද නොවේ එකල වෛද්‍යවරුන්ගේ රහසිගත ඹෟෂධ තැන්පත් කළ හෙප්පු සාදන ලද්දේත් , ගුප්ත දෙයක් සේ සැලකුණු , ගිනි නිපදවීම සඳහා යොදනු ලැබූ , ”ගිනි යතුරේ”, උඩ කොටස සාදන ලද්දේත් මෙම ගසේ ලී වලිනි.

“අශ්වත්ථ වෘක්ෂය සතුරන් විනාශ කීරීමේ සුවිශේෂ බලයකින් යුක්ත වූවක් ලෙස සැලකිණ. අථර්ව වේදයේ එන යාච්ඤා ඛණ්ඩය ඒ බව පෙන්නුම් කරයි.”

මෙම අශ්වත්ථ හෙවත් ඇහැටු ,ඇසතු වශයෙන් හඳුන්වන වෘක්ෂය වනස්පති ශබ්දයට ද යොදා ඇත. මෙහි විද්‍යාත්මක නාමය නම් ficusreligisa වේ. මේ පිළිබඳ දිර්ඝ විස්තරයක් වැලිමිටියාවේ ධම්මරක්ඛිත නා හිමියන්ගේ පර්යේෂණාත්මක ඉහත නම් සඳහන් ග්‍රන්ථයේ අන්තර්ගත වේ .

ඛුද්දක නිකායට අයිති බුද්ධ වංසය අටුවාවෙහි ගෞතම බුදුරජාණන් වහන්සේ සමඟ විසිපස් නමක ගේ විස්තර ඇතුළත් වේ. එහි අට්ඨ කථාව වූ බුද්ධවංශට්ඨ කථා නැතහොත් බුද්ධවංස අටුවා කතාවේ එම බුදුරජාණන් වහන්සේලා ගේ බෝධීන් වහන්සේ නාමික ව සඳහන් වේ. ඒ සෑම අවස්ථාවකදී ම වෘක්ෂය බෝධි නාමයෙන් හඳුන්වනු ලැබේ.

මෙම ලිපියෙහි ඉතිරි කොටස ඇසළ අව අටවක පෝදා (12 වැනිදා) පත්‍රයේ පළවේ.