මහා කාශ්‍යප
මහ රහතන් වහන්සේ
මහා කාශ්‍යප මහා රහතන් වහනසේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුණි ගෞතම සම්මා
සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධූතාංගධාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් මහ තෙරුන්
වහන්සේ යි.
බුදුරදුන්ගේ තෘතිය මහා ශ්‍රාවකයන් වහන්සේ වූ මුන් වහන්සේට ගෞතම බුදු සසුනේ
ධර්මාධිකාරි තනතුරද හිමි වී තිබුණි. “අනුබුද්ධ” යන ගෞරව නාමයෙන් ද මුන් වහන්සේ
හඳුන්වනු ලැබේ.
බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද, දිරා ගිය ඒ මහා පාංශුකූල චීවරය පෙරවීමට
තරම් මහා භාග්‍යයක් ලැබුවේ මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි. එ පමණක් නොව
බුදුසිරිපා හිසමත තබා ගැනීමේ දුර්ලභ අවස්ථාව ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට හිමි
විය.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දක්නට ඇති දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් මහා පුරුෂ
ලක්ෂණ සතක් මුන් වහන්සේගේ සිරුරේ ද විය. මේ නිසා මහා කාශ්‍යප හිමියන්ගේ රූපය යම්
තරමකට බුදුරදුන්ගේ රූපයට සමාන විය. උන්වහන්සේ බුදුරදුන්ට වඩා අඟල් සතරක් උසින් අඩු
බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ.
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ථෙරවාදී බෞද්ධ ලෝකයා අතර පමණක් නොව, මහායාන බෞද්ධ
ලෝකයා අතරද අතිශයින් ම ප්‍රකට මහ තෙරුන් වහන්සේ නමකි. මහායාන බෞද්ධයෝ මුන් වහන්සේට
මහත් සේ ගරු සත්කාර දක්වති. ඇතැම් මහායාන විහාරවල මහා කාශ්‍යප මහ තෙරුන්ගේ සිතුවම්
මෙන් ම ප්‍රතිමා ද දක්නට ඇත. මධ්‍යාසියාවෙන් මහා කාශ්‍යප මහ තෙරුන්ගේ පැරැණි
සිතුවම් කිහිපයක් ම හමු වී ඇත. මෙසේ ගෞතම බුදුසසුන තුළ සුවිශේෂී වූ ස්ථානයක වැඩ
සිටින අනුබුදු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පූර්වාපර චරිත කථාව මෙතැන් සිට ඉතා
සැකෙවින් දක්වනු ලැබේ.
පිප්ඵලී කුමරු ගිහිගෙය කළකිරීම
මෙයින් කල්ප ලක්ෂයකට පෙර සියලු ධර්මයන්හි පාරප්‍රාප්ත නරශ්‍රේෂ්ඨ පදුමුත්තර සම්මා
සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ සමයෙහි මහා කාශ්‍යප මහ තෙරුන් හංසවතී නුවර
එක් ධනවත් කුලයක ඉපිද ‘විදේහ’ යන නම ලැබ සුව සේ හැදී වැෙඩින් වැඩිවියට පැමිණියේ ය.
හෙතෙම එක් දිනක් බුදුබණ අසනු රිසියෙන් විහාරයට ගියේ ය. එදින පදුමුත්තර බුදුරදුන්
සිව්වනක් පිරිස මැද වැඩ සිටිමින් නිසභ තෙරුන්ට ධූතාංගධාරි භික්ෂූන් අතුරින්
අග්‍රස්ථානය ලබා දුන් සේක.
මෙය දුටු විදේහ කුලපුතු එහි පැහැදී , බුදුබණ අසා අවසානයේ දී බුදුරදුන් වෙත එළැඹ
පසුදා දනට බුදුපාමොක් මහ සඟ රුවනට ඇරයුම් කොට නිවසට ගොස් දානයට අවශ්‍ය සියලු දේ
මැනවින් පිළියෙළ කළේ ය. පදුමුත්තර බුදුරදුන් පසුදා පෙරවරුවෙහි හැඳ පෙරව පාසිවුරු
ගෙන භික්ෂු සංඝයාද සමගින් විදේහ කුලපුතුගේ නිවසට වැඩම කර පණවා තිබූ අසුනෙහි වැඩ
සිටියහ.
එකල්හි තථාගත තෘතීය ශ්‍රාවක, ධූතාංගධාරී භික්ෂූන් අතරින් අගතැන්පත් නිසභ තෙරණුවෝ
පාත්‍රය ගෙන නුවර ගෙයක්, ගෙයක් පාසා පිඬු සිඟා වැඩම කරමින් සිටියහ. මහ තෙරුන් දුටු
විදේහ කුලපුත්‍ර සතුටු වී උන්වහන්සේ වෙත දිවගොස්” ස්වාමීනි, පාත්‍රය මා අතට දුන
මැනවි. මම දානය පුදන්නෙමි”යි කීය.
තෙරහු ඔහුගේ සැදැහැ සිත දැක ඔහු අතට පාත්‍රය දුන්හ. එවිට කුලපුත්‍ර
“ස්වාමීනි, බුදුරදුන් ප්‍රධාන භික්ෂු සංඝයා මගේ නිවසේ දනට වැඩම කර සිටිති.
ස්වාමීනි, ඔබ වහන්සේත් වඩිනු මැනවි. ඇතුළු ගෙට ම වැඩම කර බුදුපාමොක් මහ සඟ රුවන ද
සමගින් වැඩ හිඳ දන් වළඳනු මැනවැ”යි කීය.
“පින්වත, එයින් ඵලක් නැත. එය මට නො වටී. මෙසේ හොඳයි”යි තෙරහු කීහ. එවිට කුලපුතු
” ස්වාමීනි, එසේනම් මඳක් වැඩ සිටිනු මැනවැ”යි කියා වහා ගෙට ගොස් රසවත් ආහාරවලින්
පාත්‍රය පුරවා තෙරුන් වෙත පැමිණ දාන පාත්‍රය පුදා පසඟ පිහිටුවා ම වන්දනා කළේ ය.
තෙරහු පින් දී වැඩම කළහ.
එකල්හි විදේහ කුලපුතු ගෙට ගොස් බුදුරදුන් වෙත එළැඹ වැඳ
“ස්වාමීනි, නිසභ මහ තෙරුන් ඔබ වහන්සේ අප නිවසේ දනට භික්ෂු සංඝයාද සමඟින් වැඩම කර
සිටින බව දැන දැනත් නිවසට වැඩ ම නොකර එළිමහනේ ම හිඳිමින් දන් පිළිගෙන වැඩම කළහ.
ස්වාමීනි, උන්වහන්සේ එසේ කළේ කුමක් නිසා ද? ස්වාමීනි, උන්වහන්සේ එසේ කළේ ඔබ
වහන්සේටත් වඩා වැඩි කිසියම් ගුණ ජාතියක් තිබෙන නිසාදැ” යි ඇසීය.
බුදුවරු යමෙකුගේ ගුණයක් තිබේ නම් එය අඩු නො කොට පවසති. එබැවින් ම බුදුරදුන් යහමඟ
තෙරුන්ගේ ගුණ නොයෙක් අයුරින් ප්‍රකට කළ සේක. ඒ ගුණ ඇසු විදේහ කුලපුත්‍ර එහි පැහැදී
සාදුකාරදී
“මට මේ දෙව් මිනිස් සැප සම්පත් ප්‍රාර්ථනා කිරීමෙන් ඵලක් නැත. මටත් අනාගතයේ ලොව පහළ
වන බුදුවරයන් වහන්සේ නමකගේ ශාසනයක දී ධූතාංගධාරි භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය
ලැබෙන්නේ නම් එය කෙ තරම් හොඳදැ” යි
සිතා එම තනතුර පතා එතැන් පටන් පුරා සත් දිනක් බුදුපාමොක් මහ සඟරුවනට මහ දන් පුදා
දානය අවසානයේ දී බුදු පාමුල වැඳ වැටී එම තනතුර ප්‍රාර්ථනා කළේ ය. බුදුහු ඔහුගේ
පැතුම සමෘද්ධ වන්නේදැ’යි කියා බුදු ඇසින් බලන සේක් මෙයින් කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ලොව
පහළ වන ගෞතම බුදුරදුන් සමයෙහි සමෘද්ධ වන බව දැක ඔහුට නියත විවරණ ලබා දුන් සේක.
එතැන් පටන් දානාදී පින්කම්හි වඩ වඩාත් නිරත වූ හෙතෙම බොහෝ පින් කොට මරණින් මතු
සුගතිගාමී විය. මෙසේ දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබමින් බොහෝ කාලයක් භවයෙහි සැරිසැරී
හෙතෙම ගෞතම බුදුරදුන් ලොව පහළ වන සමයෙහි බඹ ලොවින් චුතව මගධ රට මහාතීර්ථ බමුණු ගමේ
කෝසියගොත්ත මහා බමුණාට දාව සුමන දේවී මහා බැමිණියගේ කුස පිළිසිඳ ගෙන නිසි කල්හි
මව්කුසින් බිහි විය. මව්පියෝ ඔහුට පිප්ඵලී යන නම තැබූහ.
රාජපූජිත බ්‍රාහ්මණ මහාසාර කුලයක උපන් බැවින් පිප්ඵලී කුමරු සුවසේ හැදී වැඩෙමින්
වැඩිවියට පැමිණ වේදය උගෙන එහි පාරප්‍රාප්ත විය. පසුව ඔහු දෙමව්පියන්ගේ බලවත් ඉල්ලීම
නිසා මදුරට සාගල නුවර කපිල බමුණාගේ හා සුචිමතී බැමිණියගේ දියණිය වූ භද්දාකාපිලානී
නමැති සුරූපී කුමරිය හා විවාහ ගිවිස ගත්තේ ය. මේ දෙදෙනා විවාහ වුවත් ගිහි ජීවිතයෙහි
නො ඇලී වාසය කළහ. කලක් ගත වූ පසුව ඔවුන්ගේ මව්පියෝ ආයු ගෙවි කලුරිය කළහ. එකල්හි
ගිහිගෙයි කළකිරී සිටි පිප්ඵලී කුමරු “මෙලොව යම් රහතන් වහන්සේ නමක් වැඩ සිටී නම් මගේ
මේ පැවිද්ද උන්වහන්සේ උදෙසා ම වේවා” යි කියා ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි විය. මෙය
දුටු භද්‍රා කුමරිය ද පැවිදි වූවාය. පසුව මේ යහ ගුණැති දෙදෙනා නිවසින් නික් ම
ඉදිරියට ම ගොස් අතරමග දෙමං සන්ධියකදී වෙන් වී තනි තනිව ගමන් ගත්හ.
මෙම ලිපියේ ඉතිරි කොටස
ඇසළ අවඅටවක පෝදා (ජූලි 12 )
පත්‍රයේ පළවේ.
ගයාන් චානුක විදානපතිරණ |