පරිසරයට මිතුරු වීම
බළංගොඩ ශ්‍රී ධර්මානන්ද
පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නා හිමි
ගෝසිංහ සාලවන උද්‍යානය සඳ රැසින් නැහැ වෙයි. ඒ නිසා අතිශයින් දැකුම්කළු ය. සාල
වෘක්ෂයේ සෑම අතු කිනිත්තක් ම මුල සිට අග දක්වා මලින් සැරසී ඇත. සුපිපි පුෂ්පයන්ගේ
සුවඳ දිව්‍ය සුවඳ පරදවයි. සිසිල් සඳ රැස් දස අතින් ම ගලා බසී.
පරිසරයේ ඇති සුන්දරත්වය චිත්තාකර්ෂණීය ව අගයමින් ඒ තුළින් නිරාමිෂ සුන්දරත්වයක්
වින්දනය කළ උතුම් ම ශාස්තෘවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බව ත්‍රිපිටක ධර්මය
තුළින් පැහැදිලි ව පෙන්වා දී ඇත.
ගසක් යට ඉපිද, ගසක් යට බුදුව, ගසක් යට පිරිනිවන් පෑ බුදුරජාණන් වහන්සේගේ චරිතය
විග්‍රහ කර බැලීමේ දී පෙනී යන්නේ බුදු දහම තරම් පරිසරයත්, සොබා දහමත් එහි
සෞන්දර්යයත් සමග සම්බන්ධ වූ අන් කිසිදු දර්ශනයක් මෙතෙක් ලොව පහළ වී නැති බවයි. අප
කතා කරන පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන. ජීව පරිසරය හා
අජීව පරිසරය යනුවෙනි.
මිනිසා, සත්වයා හා වෘක්ෂලතාවන් ඇතුළත් වන්නේ ජීව පරිසරයටයි. වායුව, ජලය, හිරුඑළිය,
හා පොළව යන මේවා අජීව පරිසරය ට ඇතුළත් වේ. ජීව හා අජීව යන මේ පරිසර දෙක අන්‍යොන්‍ය
බලපෑමකින් යුක්ත ය. ජීවී පරිසරය, අජීවී පරිසරයේ උපකාරයෙන් පවතී. අජීව පරිසරය ජීව
පරිසරයේ බලපෑමෙන් හා උපකාරයෙන් පවතී.
ඇසතු බෝරුක මුල ගෞතම බුදුරදුහු බුද්ධත්වයට පත්වූහ. සමහර විද්වතුන් පෙන්වා දෙන
ආකාරයට බෝගස පාරිසරික වශයෙන් මෙන් ම, වෛද්‍ය විද්‍යාත්මකව ද වටිනා වෘක්ෂයක් බව
පෙන්වා දී ඇත. උද්භිද විද්‍යාවට අනුව ‘පීකස් රිලිජියොසා’ යන නාමයෙන් බෝගස
හඳුන්වති.බෝගසකට බෙදුනු අතු විශාල ප්‍රමාණයක් ඇත. ඒ අනුව විශාල පත්‍ර සංඛ්‍යාවක් ද
ඇත. නටුව දිගය, පත්‍ර පහළට එල්ලෙයි. මෙයින් වායුගෝලයට ජල වාෂ්ප අති විශාල
ප්‍රමාණයක් මුදා හරියි. සුළඟට පත්‍ර දෙපසට වැනෙයි. මේ නිසාම බෝගස යටත්, අවටත්
සිසිල් ය. මේ නිසා ම බෝගස අවට පරිසරයේ වාතය පිරිසුදු ය. බෝගස මුල භාවනා කරන අයට
වෙහෙසක් නොදැනේ. පත්‍රවලින් ලැබෙන සිලි සිලි නාදය ගතට මෙන්ම සිතට ද සුවයකි. බෝගසේ
මුල ඉදිරියට නෙරා ඇත. කඳ පළල් ය. මේ නිසා ම සුවපහසු අසුනක් සාදාගත හැකි ය. පරිසරයට
ආදරය කරන අය අතරින් ප්‍රමුඛත්වය හිමිවන්නේ බුදුරජාණන් වහන්සේට ය. ජීවි අජීවී සෑම
දෙනාට ම වැදගත්වන පරිසරය ආරක්ෂා කර ගැනීම මිනිසා සතු වගකීමකි. අප පරිසරයට ආදරය කළ
යුතු ය.
බුද්ධත්වය සඳහා තෝරා ගන්නා ලද නේරංජනා නදී තීරය ගැන අරියපරියේසන සූත්‍රයේ දී
බුදුරදුහු මෙසේ සඳහන් කරති. “මහණෙනි, මම කුසලය කුමක්දැයි සොයන සුළු වූයෙමි. මගධ
දනව්වෙහි පිළිවෙලින් චාරිකාවේ යෙදුණේ උරුවේලයෙහි, සේනානි ගම වෙත පැමිණියෙමි. එහි වූ
සිත්කලු භූමි භාගය ද, සිත පහදවන ලැහැබ ද, සුදුවැලිතලා මැදින් නිවී සැනසිල්ලේ ගලා
බස්නා මහා තොටුපලින් යුත් මනරම් නේරංජනා නදිය ද, එසේ ම හාත්පස වූ ගොදුරු ගම ද
දුටුයෙමි. ඒ දුටු මට මේ අදහස පහළ විය.
මේ භූමි භාගය ඉතා රමණීයයි. වන ලැහැබ ඉතාම ප්‍රසාද ජනකයි. මනා කොට ඇති සුදු වැලිතලා
මැදින් ගලන නදිය ද සිත් සනසවන සුළු වෙයි. හාත්පස සොඳුරු ගම ද වෙයි. පධන් වීර්ය වඩන
කුල පුත්‍රයෙකු හට ඒ සඳහා මෙයට වඩා සුදුසු තවත් තැනක් නැතැයි මට සිත් විය. ලොවට
වැඩදායී දැක්මක් සොයා යන්නාට යහපත් පරිසරයක අවශ්‍යතාවය මෙයින් පෙන්නුම් කරනු ඇත.
දිනක් සඳ රැසින් බබළන රාත්‍රියක බුදුරදුහු මහා සංඝරත්නය පිරිවරා සල් වනයෙහි සිටින
අතරතුර සැරියුත් මහරහතන් වහන්සේ පරිසරයේ ඇති සුන්දරත්වය මෙසේ වර්ණනා කර ඇත.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වසන මේ ගෝසිංහ සාලවන උද්‍යානය සඳරැසින් නැහැ වෙයි. ඒ නිසා
අතිශයින් දැකුම්කළු ය. සාල වෘක්ෂයේ සෑම අතු කිනිත්තක් ම මුල සිට අග දක්වා මලින්
සැරසී ඇත. සුපිපි පුෂ්පයන්ගේ සුවඳ දිව්‍ය සුවඳ පරදවයි. සිසිල් සඳරැස් දස අතින් ම
ගලා බසී. මේ නිසා මුළු සාල වනය ම රමණීයත්වයට පත්ව ඇත. සැරියුත් හිමියන්ගේ මේ සුන්දර
පරිසර වර්ණාව බුදුරදුහු ද අගය කළ හ.
දිනක් මගධ දේශයේ චාරිකාවක යෙදෙන අවස්ථාවක වෙල් යායක ඇළවේලි සකස්කර ඇති ආකාරය දුටු
බුදුරදුහු ආනන්ද හිමියන් අමතා කුඹුරේ නියර සකස් කර ඇති ආකාරයට කඩකපා සිවුර සකස් කර
ගත යුතු බව පෙන්වා දී ඇත.
පරිසරය ගැන කතා කිරීමේ දී තුරුලතාවල, ජලයෙහි පිරිසුදු වාතයෙහි ආරක්ෂාව තහවුරු වන
ලෙස කරුණු පෙන්නුම් කිරීම පමණක් නොව උස්හඬින් කතා කරන, අන්‍යයන්ට කරදරයක් වන
අයුරින් ප්‍රලාප දොඩවන, අයට විරුද්ධ ව ක්‍රියාත්මක වූ අවස්ථා ද බුද්ධ චරිතය තුළින්
දැක ගත හැකි ය. මෙයින් පෙන්නුම් කරන්නේ ශබ්ද දූෂණය පවා වළක්වා ගැනීමට කටයුතු කර ඇති
ආකාරයයි. එක් අවස්ථාවක අජාසත් රජතුමා බුදුරදුන් මුණගැසීමට ජීවක අඹ උයනට පැමිණ ඇත.
බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ එක්දහස් දෙසිය පමණක් වැඩ සිටින මෙබඳු ස්ථානයක
ඇති නිහඬතාවය එය යටත් පිරිසෙයින් කිවිසුම් හඩක් වත් නොමැති නිසා රජු බියට පත්විය.
පසුව උයන තුළට ගිය රජුට බුදුරදුන් ප්‍රමුඛ එක්දහස් දෙසිය පණහක් භික්ෂූන්ගේ
පැවැත්මත් නිහඬතාවයත් දුටු පමණින් ඇති වූයේ පුදුම සතුටකි. ඝෝෂාකාරී ලෝකයාට
බුදුරදුන් ලබා දුන් මෙම නිහඬ පණිවිඩය මොනතරම් වැදගත් ද? ළමුන් පිරිසකගේ හිරිහැරයට
ලක්ව සිටි ගැරඬියකු මුදවා ගැනීමට කටයුතු කිරීමත්, භද්‍රවතිතා ඇතින්නට කලින් පුරුදු
ආකාරයට ම අවශ්‍ය උපස්ථාන ලබාදීමට කටයුතු සැලැස්වීම තුළින් වන සතුන්ගේ ආරක්ෂාව
වෙනුවෙන් අප වෙත ලබා දුන් ආදර්ශය මොන තරම් වැදගත් ද?
සරාගී පුද්ගලයෝ බොහෝවිට පරිසරයෙහි ඇති සුන්දරත්වය නොදනිති. එම පරිසරයෙහි වටිනාකම
නොදන්නා ඔවුහු එම ප්‍රසාදජනක පරිසරය විනාශ කර දමති. එක් අවස්ථාවක හුදෙකලාව වනයෙහි
වැඩ සිටින බුදුරදුන් වෙත පැමිණි දෙවියෙක් මහ වනයෙහි පක්ෂීන්ගෙන් නැගෙන මහා හඬ තමන්ට
බිය උපදවන බව බුදුරදුන්ට ප්‍රකාශ කරයි. නමුත් බුදුරදුහු ඔහුට ප්‍රකාශ කළේ මෙම
පරිසරය තමන් වහන්සේට ඉතා සිත්කළු සුන්දර පරිසරයක් බවයි. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්
වන ආකාරයට යම් ගසක සෙවණෙහි හිඳ ගත්තේ ද, නිදාගත්තේ ද ඒ ගසෙහි අත්තක් වත් කැඩුවොත්
ඔහු මිත්‍ර ද්‍රෝහියෙකි. පව්කාරයෙකි.
ගස් කොළන් මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍යය. ඒවා නැති වූ භූමිය නිසරු කාන්තාරයකි. ඒ
අනුව අවශ්‍ය වැසි ජලය නොමැතිවීමෙන් දිය උල්පත් සිඳී ගොස් මිනිසාට අවශ්‍ය භෝග වර්ග
නොවැඩෙන පරිසරයක් ගොඩනැඟෙනු ඇත.
මේ සියල්ල මැනවින් තේරුම් ගත් බුදුරදුහු තුරුලිය, වනාන්තර හා ඇළ දොළ, ගංගා ආදියෙහි
සුන්දරත්වය ආරක්ෂා කිරීමට උපදෙස් දෙමින් කටයුතු කළා පමණක් නොව පාරිසරික වටිනාකමින්
යුත් ස්ථානවල නිරාමිෂ සුන්දරත්වයක් විඳිමින් වැඩ සිටිය බව මුළු බුද්ධ චරිතය ම අපට
පෙන්නුම් කර ඇත. පරිසරය රැක ගනිමු. ඒ සුන්දර පරිසරය අප හැමට සැනසිල්ල උදාකරනු
ඒකාන්ත ය. |