Print this Article


පින් අනුමෝදන් වීම

පින් අනුමෝදන් වීම

අනුන් අනුමෝදන් කරවන,දෙන පින් සතුටින් පිළිගැනීම පින් අනුමෝදන් වීම ය. පත්තානුමෝදනා යනු ද එයට නමෙකි.

පින් කැමැති සත්පුරුෂයෝ, ශ්‍රමණ, බ්‍රාහ්මණ, දුගී මගී යාචකාදීන්ට දන් දී පින් සිදු කර ගනිති. එයින් ඔවුන්ගේ කීර්තිය ද පැතිර යයි. ප්‍රතිග්‍රාහකයෝ ද ඒ පින්වතුන්ගේ ප්‍රත්‍යය ලබා සැපවත් වෙති. පර සම්පත්තිය නො ඉවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව සත්ත්වයන් තුළ දීර්ඝ කාලයක පටන් පැවත එන පාපයෙකි.

ඒ නිසා සෑම දෙනාට ම දන් දෙන සත්පුරුෂයන්ට වන පුණ්‍යලාභය ගැන හා ප්‍රතිග්‍රාහකයන්ට වන ප්‍රත්‍යය ලාබය ගැන ද සතුටු විය නො හැකි ය. එබැවින් ඊර්ෂ්‍යා ඇතියෝ දායක, ප්‍රතිග්‍රාහක දෙපක්ෂයට ම නින්දා කරති. පින් අනුමෝදන් නො වෙති. ප්‍රතිග්‍රාහකයන්ට වන ලාභය ගැන අසත්පුරුෂයන් තුළ වඩාත් ඊර්ෂ්‍යාව ඇති වේ. එබැවින් ඔවුහු වඩාත් ප්‍රතිග්‍රාහකයන්ට නින්දා කෙරෙති. ලාභය වැළැක්වීමට තැත් කෙරෙති. පින් අනුමෝදන් වීම වනාහි ඊර්ෂ්‍යාවට ප්‍රතිපක්ෂ පුණ්‍ය කර්මයෙකි. එබැවින් එය ලැබිය හැක්කේ දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂයට ඊර්ෂ්‍යා නො කරන්නා වූ සත්පුරුෂයන්ට පමණකි. යම් කිසිවකු පිනක් කොට අනුමෝදන් විය හැකි සත්පුරුෂයාට පින් අනුමෝදන් වීමේ කුසලය ලැබේ. අනුන් පිනක් කරනු දකින අසන කල්හි පින් නුදුන්නෝ ද ඒ පින අනුමෝදන් විය හැකි ය. කෙනෙකු භික්ෂූන්ට දන් දෙනු දුටු කල්හි “මේ සත්පුරුෂයා දන් දී පින් සිදු කර ගන්නේ ය. මොහු නිසා භික්ෂූන් වහන්සේ ද සුවපත් වන්නාහ. මොහු ද පින් සිදුකර ගනී වා. භික්ෂූන් වහන්සේ ද මොහු නිසා සුවපත් වෙත්වා“යි සිතන තැනැත්තා හට පින් අනුමෝදන් වීමේ පින ලැබේ.

පින් අනුමෝදන් වීමෙන් වන්නා වූ කුසලය අනුමෝදන් වන කුසලයාගේ කුඩා මහත්කමේ සැටියට ද, අනුමෝදන් වන තැනැත්තා කෙරෙහි ඒ අවස්ථාවේ දී ඇති වන ශ්‍රද්ධා දී ධර්මයන්ගේ සැටියට ද කුඩා මහත් වේ. එහි විපාකය පරදත්තූපජීවික ප්‍රේතයන්ට හා ඇතැම් භූතයන්ට එකෙණෙහි ම ලැබේ. සෙස්සන්ට සුදුසු අවස්ථාවල දී ලැබේ.

බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි.