Print this Article


ජයග්‍රහණයේ ඇරඹුම දරාගැනීමයි

ජයග්‍රහණයේ ඇරඹුම දරාගැනීමයි

පසුගිය අමාවක පෝය දින සඳහන් කළ ධර්ම විවරණය, අනුව අවබෝධයෙන්, අකුසල කර්ම රැස් නොවන ආකාරයෙන් සිතෙහි, වචනයෙහි, ක්‍රියාවෙහි ඇති කර ගන්නා වූ පාලනය, සංසිඳීම, ඉවසීමේ ගුණයයි.

සාමාන්‍ය‍යෙන් වයස අවුරුදු තුන, හතර, පහ කාලයේ පටන් ඉවසීමේ ගුණය ආරම්භ කළ හැකියි. පුංචි දරුවෙකුගේ සිතේ ආදරයත්, කරුණාවත් මතු කරගෙන සතෙකුටවත් ගහන්න එපා. පීඩාවක් කරන්න එපා කියන අදහස පුරුදු කරන්න.

එවිට දරුවාගේ සිතෙහි කරුණාවක්, මෛත්‍රියක් ඇතිවෙනවා. යමක් හෝ තේරුම් ගත හැකි අවධියේ දී “මගේ දුවට පුතාට මම ගැහැව්වොත්, දොස් කිවහොත් කැමැති නැහැ නේද? එසේ නම් අන් අයත් අම්මා, තාත්තා, ආච්චි, සීයා, නැන්දා, මාමා හෝ කවුරුවත් එවැනි දෙයකට කැමැති නැහැ. සතුන්ට කතා කර ගන්න බැරි වුණාට සතුන්පවා පීඩාවකට කැමැති නැහැ. ඒ නිසා පීඩාවක් කරන්න එපා.

එවිට පුංචි දරුවා ප්‍රශ්න කළොත් “හොඳයි එතකොට මට යම් කෙනෙක් ගහන්න, බණින්න ආවොත් අය්යා, අක්කා, නංගී, මල්ලී කවුරු හෝ මට ගහන්න, බණින්න ආවොත් කුමක් ද වෙන්නේ?. මගේ දේ උදුරාගත්තොත් කුමක් ද වෙන්නේ?. මම කැමැති දෙයක් මට නොදුන්නොත්, මම අකැමැති දේ ම මට කරනවා නම් මොකක් ද වෙන්නේ. මේවා සමහර විට වයස අවුරුදු හත, අට හා තරුණ දරුවන්ටත් ගළපා සිතන්න පුළුවන්. එවැනි වෙලාවක දී පවා පුතේ, දුවේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය පුරුදු කරන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉවසීමේ ගුණය පුරුදු කරන්න. බලන්න, බුදුරජාණන් වහන්සේටත් බැන්නා, දොස් කිව්වා, මරණයට පත් කරන්න උත්සාහ කළා. ඒ හැම වෙලාවක ම බුදුරජාණන් වහන්සේ ආරක්ෂා වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ නපුරු වචනයෙන් බැණ වැදුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සිත තුළ මහා කරුණා ගුණයම පැවතුණා. බුදුහාමුදුරුවෝ වගේ නොවේ යැයි කියා ඔබ කියන්න පුළුවනි. තවම රහත්වෙලා නොවේ යැයි කියන්න පුළුවනි.

ඒ වුණත් “බුද්ධං සරණං ගච්ඡාමි“ යනුවෙන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන අප ක්‍රමයෙන් ඒ ගුණයන් ට පුරුදු විය යුතුයි. තරුණ දරුවන්ට හෝ වැඩිහිටියන්ට මෙය පුරුදු කරන විට අප මුලින් ම පෙන්වා දිය යුත්තේ අටලෝ දහම ගැනයි. බුදුරජාණන් වහන්සේගේ තාදි ගුණය දෙස බලන්න. අටලෝ දහමෙහි කම්පා නොවීම යනුවෙන් අදහස් කරන්නේත් මේ පරමාර්ථ ධර්මයයි. ඒ සියලු සංස්කාරයෝ අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත් ය යන ශ්‍රී සද්ධර්මය තේරුම් ගන්නා විට සිතේ ඇතිවන ස්වභාවයයි.

ලාභ - අලාභ, අයස -යස, නින්දා - ප්‍රශංසා, සැප - දුක් යනු අටලෝ දහමයි. කැමැති අරමුණු ඉටුවීමේ දී සකස් වන සිත හඳුන්වන්නේ ලාභය හැටියටයි. අන්න ඒ ලාභයේ දී ධර්මානුකූල ව එය පරිහරණය කරනවා. කටයුතු කරනවා. නමුත් ඒවා රැකගන්න හෝ නැති දේ නැවත ලබන්න හෝ ක්‍රියා කරන්නේ නැහැ. තිබෙන දේ ලබන්න හෝ රැක ගන්නට පස් පව් දස අකුසල්වලින් යුක්තව ක්‍රියා කරන්නේ නැහැ. තියෙන දේ වැඩිකර ගන්නට හෝ පස් පව් දස අකුසල්වලට සම්බන්ධ වී ක්‍රියා කරන්නේ නැහැ. ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, තරහවෙන්, වෛරයෙන් දැඩි ආශාවෙන් කටුතු කරන්නේ නැහැ. මිල මුදල්, ගේ දොර, වතුපිටි, යානවාහන, තනතුරු, ඇඳුම් පැළඳුම්, ආහාර මේ මොනවා ලැබුවත් මේවා හට අරගෙන බිඳී නැතිව යනවා. මේ නිසා ඒවා ධර්මානුකූල ව පරිහරණය කරනවා. හැබැයි ඒවා මමයි, මගෙයි, ස්ථිරයි යනුවෙන් ලෝභ, ද්වේෂ, මෝහ තණ්හා මද මාන දිට්ඨිවලට සම්බන්ධ ව ක්‍රියාකරන්නේ නැහැ. ඒ වගේ ම ඒ දේවල් නැතිවී, බිඳී, ගිලිහී යනවිට අපේ සිත තරහවට, අකමැත්තකට පත් කර ගන්නේ නැහැ. යම් පුද්ගලයෙක් ඉතා ම හොඳීන් සිටින කෙනෙක් ඉක්මනින් ම ලෙඩවෙලා දිරාගෙන ගොස් මරණයට පත්වෙන්නත් පුළුවන්.

එවැනි වෙලාවක දී පවා නොහඬා, නො වැළපී සිටීමේ ස්වභාවය පවා සිත තුළින් අවබෝධයක් ඇති කර ගැනීමේ ස්වභාවය පවා ඉවසීමේ ගුණය හැටියට දකිනවා. මේ ආකාරයට අටලෝ දහම දෙපැත්ත ම තේරුම් ගන්න අවශ්‍යයයි. හොඳ සහ නරක දෙපැත්ත ම තේරුම් ගන්නා විට තණ්හා මද මාන මතු කරන්නේ නැහැ. අකැමැතියි කියන තැනත් අපි සිතින් දකිනවා. දරා ගන්නවා. හැබැයි තරහවක්, වෛරයක් ඇති කර ගන්නේ නැහැ. මෙන්න මේ අදහස කුඩා කාලයේ සිට දරුවන්ට උගන්වනවා. අප දරුවන්ට හැකි ආකාරයෙන් යමක් ලබාදෙනවා. ඒ පෑනක්, පැන්සලක්, පොතක් විය හැකියි. ඒ වගේ ම දරුවන්ට උගන්වනවා. මේ මව්පියන්ට හැකි ආකාරයෙන් තමයි ඉහළින් ම අපි ලබාදුන්නේ. සමහර දේ අපට දැන් ම කරන්න බැහැ. මේ අපිට තියෙන ආකාරයෙන්. අන්න එවැනි වෙලාවක පවා දරුවන්ගේ සිතට අර ඉවසීමේ ගුණය පිළිබඳ යම් ආධ්‍යාත්මික සිතිවිල්ලක් සිතට ලබාදිය යුතුයි. එසේ නම් සිත සකස් කර ගන්න ඕනේ. මව්පියන්ට හැකි ඉහළම ආකාරයෙන් තමයි අපිට මේ උදව් කරන්නේ.

ඒ නිසා මව්පියන් කෙරෙහි තරහවක්, වෛරයක් හෝ කෑගැසීමක් හෝ හැඬීමකින් තොරව මෙය දරාගැනීමේ හැකියාවක් මට තියෙන්න ඕනේ.

මෙන්න මේ ආකාරයෙන් කුඩා කාලයේ පටන් කරුණාවයි, මෛත්‍රියයි මුල් කරගෙන ලද දෙයින් සතුටුවීමේ ගුණයත්, සියල්ලම තමන්ට ඕනේ ආකාරයට සිදු කර ගන්නට නොහැකි යි. කියන අදහසත් ධර්මානුකූල ව පෙන්වා දෙන විට දරුවන් සමාජය තුළ පෙන්වා දෙන ඉවසීමේ ගුණයට පුරුදු වෙනවා.

ඒ වගේ ම ධර්මානුකූල ව පෙන්වා දෙන කැමැති ප්‍රිය අරමුණුවල තදින් ඇලී ඒවා වෙනුවෙන් කලබල වී නො කටයුත්තකට යොමු නොවෙන්නත් ඒ වගේ ම තමන් අකමැති දේ සිද්ධ වෙන විට එහි දී කලබල වී හඬන්නේ නැතිව, කේන්ති ගන්නේ නැතිව, කෑ ගසන්නේ නැතිව සිත සංසුන්ව පවත්වා ගැනීමටත් හැකියාවක් තිබෙනවා. මෙය අපට අත්හදා බලන්න පුළුවන්, දරුවන්ගේ විභාගය සම්බන්ධයෙනුයි. සමහර විටක දරුවෙක් විභාගයකට මුහුණදීමේ දී දරුවා කැමැති ආකාරයෙන් ප්‍රතිඵලයක් නොලැබෙන්න පුළුවන්. මව්පියන්, ගුරුවරුන් විසින් අවබෝධයෙන් යුක්තව දරුවාට උපදෙස් දිය හැකියි. අප‍‍ට කැමැති ආකාරයෙන් සියල්ල ම සිදුවන්නේ නෑ.

එහෙත් උත්සාහය, අධිෂ්ඨානය, නුවණ සැබෑ ලෙස පවත්වන්නට හැකි නම් අප‍ට කැමැති දේ යම් වූ ද ආකාරයකට දිනා ගන්නට පුළුවනි. ඒ නිසා කලබල නොවී කේන්ති නොගෙන අප විසින් උත්සාහයෙන්, මහන්සියෙන්, වීර්යයෙන් කටයුතු කිරීමෙන්, ඉන් අදහස් කරන්නේ ඉවසීමෙන් කටයුතු කිරීමෙන් නැවතත් ජයග්‍රහණයක් ලබන්න පුළුවනි. ඒ වගේ ම නිවසේ දී වෙන්න පුළුවනි, මව්පියන් ඉදිරියේ කේන්ති නොගෙන අවබෝධයෙන් යුතු ඉවසීමේ ගුණය පුරුදු කරන්න. සහෝදර සහෝදරාදීන් සමඟත් එසේමයි. ඒ වගේ ම බස් රථයේ දී, දුම්රියේ දී පවා තමා ආරක්ෂා වෙන්න. ඒ වගේ ම අන්‍යයන්ගේ අකටයුතුකම් ඉදිරියේ නපුරු වචනයෙන්, ක්‍රියාවන්ගෙන් යුක්ත නොවෙන්නට අවබෝධයක් තිබිය යුතුයි. එයට හේතුව සියල්ල හට අරගෙන බි¼දී යනවා. ස්ථිර වෙන්නේ නැහැ.

මෙන්න මේ ගැඹුරු අදහස දරුවන්ට දැනෙන්නේ මම මගේ සිත තුළ පාලනයක් නැතිව කෑ ගැසුවොත්, ගහ බැණ ගන්න ගියොත් මට ම විපතක් වෙන්න පුළුවන්. ඒ වගේ ම මගෙ අනාගත ජිවිතය යහපත් නොවෙන්නට පුළුවන්. සමහර විටක නීතියෙන් දඬුවම් ලැබෙන්න පුළුවන්. බරපතළ වරදක් ජිවිතයට වෙන්න පුළුවන්.

මම රැකෙනවා. නමුත් මගේ සිත තුළ තරහ, වෛරය එළියට එන්න නොදී වචනය ක්‍රියාව ඔස්සේ මගේ සිත තුළ සංසිඳීමක් මට ඇති කරගන්න පුළුවන්. මඛා දේව ජාතකයේ එන කලාබු රජතුමා තාපසතුමාට අප්‍රමාණ කරදර කළා. ගහල, බැණලා, අත් පා ඇඟිලි කපා, නාස්පුඬුවලට, ඇස්වල, කන් කුහරවල කෝටු කැබලි ඔබද්දීත් තවමත් ඉවසීම තියෙනවා දැයි ප්‍රශ්න කරනවා. පපුවට පහර දෙමින් තවමත් ඉවසීමේ ගුණය තියෙනවා දැයි ප්‍රශ්න කරනවා. එවිට ‘බාහිරව මේ ශරීරය තුළ නොව මගේ සිත තුළයි ඉවසීමේ ගුණය පවතින්නේ යැයි‘ තාපසතුමා පවසනවා.

අපට ධර්මානුකූල ව දකින්න පුළුවන්. දහමින් ම පුරුදු කළ යුතු ඉවසීම අනුක්‍රමයෙන් ඒ ඒ තැනට ගළපා අපි පුරුදු කළොත් “ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය“ කියන සිංහල අදහස් පෙළ ජීවිතය තුළ දකින්න පුළුවන්. එමගින් ධර්මාවබෝධය පිණිසත්, සමාජ සම්මතය තුළ පුංචි දරුවන්ගේ, තරුණ දරුවන්ගේ, වැඩිහිටියන්ගේ හා රටක ලෝකයක නායකයන්ගේ පවා ශාන්තියක් සැනසිල්ලක් ලබන්න පුළුවන්.