සම්බුදු සසුනෙහි
මිහිර විඳීන්නෝ
දිද්දෙණිය රණගිරිලෙන
ආරණ්‍ය සේනාසනවාසී,
ති‍්‍රපිටක විශාරද, විද්‍යාවේදී,
ශාස්ත්‍රපති,
මහව ඤාණාලෝක හිමි
දිනක් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ නාගරක නම් නියම් ගමේ වැඩ වාසය කරද්දී ආනන්ද
මාහිමියන් වහන්සේට අදහසක් පහළ විය.
බුදු සසුනක මිහිර විඳගන්නට ලැබෙන්නේ නිවැරැදි සත්පුරුෂ ඇසුරකින් ම නිසා බුදුසසුනේ
පැවැත්මෙන් හරි අඩක් ම සත්පුරුෂ ඇසුර නිසා පවතින්නේ යැයි උන්වහන්සේට සිතක් විය.
බුදුරජාණන් වහන්සේ හමු වී තමන් වහන්සේගේ සිතැඟි පැවසූ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඒ
අනඳ මාහිමියන්ගේ ප්‍රකාශය වළක්වමින් වදාළේ මේ බුදුසසුනේ හරි අඩක් නොව සම්පූර්ණයෙන්
ම කල්‍යාණමිත්‍රයන් ඇසුරු කිරීම මත ම පවතින බව යි.
බුදු සසුනක් ලැබෙන්නේ දුර්ලභ ව වේ. ඒ දුර්ලභ බුදුසසුනක මිනිසත් බවක් ලැබෙන්නේ
දුර්ලභව වේ. එසේ මිනිසත් බවක් ලැබුණ ද ඒ බුදු සසුනේ මිහිර විඳගැන්මට නිසි සත්පුරුෂ
ඇසුරක් ලැබෙන්නේ අතිශය දුර්ලභව වේ. ‘දුල්ලභෝ සප්පුරිස සංසේවෝ’ යැයි වදාළේ
බුදුරජාණන් වහන්සේ ම වේ.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර විශාකා මහෝපාසිකාව විසින් ඉදිකර පූජා කරන ලද
පූර්වාරාමයේ වැඩ වාසය කරන කාලයක එක් පුන්පොහෝ දිනක සඳ නැඟී පවතින රාති‍්‍රයේ
භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන එළිමහනෙහි වැඩ හිඳී සේක. එහි දී පැහැදීම ඇති කරවන
ඉතාමත් සංයමයෙන් යුතු, අත් පා සෙලවීමක් හෝ නොමැති භික්ෂූන් වහන්සේලා දුටු
භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් අමතා අසත්පුරුෂයා හා සත්පුරුෂයා හඳුනා ගන්නා ආකාරය
දන්නේ දැයි විමසූ හ. මෙහි දී බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයා හඳුනා ගන්නා කරුණු අටක්
දේශනා කර වදාළ සේක.
එහි දී බුදුරජාණන් වහන්සේ වදාළේ සත්පුරුෂයා සද්ධර්මයෙන් සමන්වාගත වන බවයි
(සද්ධම්මසමන්නාගතො). ඒ අනුව සත්පුරුෂයා ශ්‍රද්ධාවන්තයෙක් වේ. වර්තමානයේ සමහර කෙනෙක්
බුදුරජාණන් වහන්සේ සියල්ල දත් සර්වඥයන් වහන්සේ නමක් ද යන්න ගැන සැක කරති.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ සිදු වූවා යැයි සඳහන් වන දේ වර්තමානයට ගළපා බලන්නට
සිතති. ධ්‍යාන ලැබූවන්, අහසින් ගිය අය ආදීන් ඇත්තෙන්ම සිටියේ දැයි සැක කරති. අපාය,
දිව්‍ය ලෝකයන් ඇත්තෙන්ම පවතී දැ යි සැක කරති. ඒ ශ්‍රද්ධාව නොමැති කම නිසා ම වේ.
මෙසේ ශ්‍රද්ධාව නොමැති අසත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් ඇසුරු කරන අය ද
අශ්‍රද්ධාවන්තයන් බවට පත් වී නිවන් මඟ සම්පූර්ණයෙන් ම හරස් කර ගනිති. එසේම
සත්පුරුෂයා පව් කිරීමට ලජ්ජා ඇති, පව් කිරීමට බිය ඇති පුද්ගලයෙක් වේ. තථාගතයන්
වහන්සේගේ ධර්මය මනාව කියවා අසා දැනගත් බහුශ්‍රැතයෙක් වෙයි. බුදුරජාණන් වහන්සේ මෙම
බහුශ්‍රැත භාවය මංගල කරුණක් බව ‘බාහුසච්චං ච සිප්පං ච’ යනුවෙන් ද වදාළ සේක. එහෙත් ඒ
මේ බහුශ්‍රැත බව නම් ලෞකික තිරශ්චීන විද්‍යාව පිළිබඳව නොව ති‍්‍රපිටක ධර්මය පිළිබඳව
ම වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර, විනය, අභිධර්මය මැනවින් ම ඉගෙනගත්, ඒවායේ
අර්ථ විග්‍රහය මැනවින් ම ඉගෙනගත් කෙනෙක් විය යුතු ය. එසේ නොමැතිව තමාගේ හුදු
ස්වාධීන වැටහීමට අනුව දහම් දේශනා කරන අයෙක් නොවිය යුතු ය. සත්පුරුෂයා එබඳු
බහුශ්‍රැතයෙක් වෙයි. එපමණක් ද නොව සත්පුරුෂයා නිවන් දැකීම පිණිස වීර්යය කරන ඇරඹූ
වීර්යය ඇති පුද්ගලයෙක් වෙයි. නිරන්තරයෙන් සිහියෙන් යුතුව කුසල ධර්මයන් සම්පාදනය
කරගන්නා නුවණැති තැනැත්තෙක් වෙයි. මේ ආදි ගුණාංගවලින් යුතු සත්පුරුෂයා සද්ධර්මයෙන්
සමන්වාගත බව බුදුපියාණන් වහන්සේ වදාළ සේක.
එසේම සත්පුරුෂයා නිරන්තරයෙන් තවත් සත්පුරුෂයන් ම ඇසුරු කරන බව බුදුරජාණන් වහන්සේ
වදාළ සේක (සප්පුරිසභත්තී). ශ්රඇද්ධාවන්ත වූ, පවට ලැජ්ජා සහගත වූ, පවට බිය වූ මේ ආදි
ඉහත දැක්වූ ගුණයන්ගෙන් සමන්වාගත සත්පුරුෂයන් හා මිතුරු වූයේ වෙයි. මෙකල හැටියට නිතර
සිල්වත් ගුණවත් මහාසංඝරත්නය ඇසුරු කරන, නිති පන්සිල් රකින, පොහොය අටසිල් රකින මේ
ආදි ලෙස නිවන් ගමනේ ගමන් කරන කෙනෙක් සිටී නම් ඒ පුද්ගලයා සත්පුරුෂයෙක් බව දැනගෙන
ඇසුරු කළ යුතු වේ.
එසේම සත්පුරුෂයා කිසි කලෙකත් තමන්ට හෝ අනුන්ට හිරිහැරයක් වන ආකාරයට සිතන්නෙක් නොවේ
(සප්පුරිසචින්තී). තමන්ට හෝ අනුන්ට හිරිහැරයක් වන දේ පිළිබඳ කතා කරන්නේ හෝ නොවෙයි
(සප්පුරිසමන්තී). තමන්ගේ සිතිවිල්ලකින් හෝ අන් අයෙකුට හිරිහැරයක් කරදරයක් නොවේවා යන
මෛත්‍රී සිතින් යුතු පුද්ගලයෙක් වෙයි. මේ දුර්ලභ බුදු සසුනේ නිවන් ගමන ශක්තිමත්
කරගැනීමට වෙර දරන සියලුදෙනා ම මේ සත්පුරුෂ ගුණයන් ද ඇති කරගත යුතු වේ. නිරන්තරයෙන්
තමාගේ සිතිවිල්ලකින් වත් අනෙක් කෙනෙකුට හිරිහැරයක් කරදරයක් නොවේවා යන අදහස නිතර ඇති
කරගත යුතු වේ.
මෙම ලිපියේ ඉතිරි කොටස
ඇසළ පුර පසළොස්වක පෝදා (ජූලි 04) කලාපයේ පළවේ. |