පාපය මී පැණි වැනි විඳින කල ගිනිදලු මෙනි
මණ්ඩාවල - පුංචි මණ්ඩාවල මල්ලිකාරාමයේ
දහම් සරසවි ඩිප්ලෝමා
ධම්ම - අභිධම්ම - පාලිධර්මාචාර්ය
කුඩාවේ ගුණරතන හිමි
අත්තාහි අත්තනෝ නාථෝ
කෝහි නාථෝ පරෝ සියා
අත්තනාව සුදන්තේන
නාථං ලභති දුල්ලභං
රජගහ නුවර සිටුතුමාගේ දියණිය ඉතාමත් දැහැමි ගුණවන්තියකි. පැවිදිවීමට මිස ගිහි සැප
පිළිබඳ ව එතරම් ඇලීමක් නැත. සිටු මව්පියෝ කුමරිය සිටු කුමාරයෙකුට සරණ පාවා
(විවාහකර) දුන්හ. එම කුමාරයා ද කුමාරිය මෙන් පිනට දහමට කැමති ය.
වැඩිකල් යන්නට පෙර කුමරිය ස්වාමියාගේ සිත දිනාගෙන මහණවීමට අවසර ලබා ගෙන මෙහෙණි
ආරාමයක පැවිදි වූවා ය. එම ආරාමය දෙව්දත් තෙරුන්ගේ පාක්ෂික මෙහෙණින් වාසය කරන
ස්ථානයකි. පැවිදි වූයේ විවාහයටපත් අලුතම ය. ඒ වන විට ද කුමරියගේ කුසෙහි දරු ගැබක්
පිළිසිඳ ගෙන තිබුණි. පැවිදි වූයේ ඒ බව නොදැන ය. ටිකෙන් ටික කුස වර්ධනය විය. කුසෙහි
ස්වභාවය දක්නට ලැබීමෙන් පසු, නේවාසික මෙහෙණින් වහන්සේලා ත්‍රාසයට, භීතියට, කුතුහලයට
කළ කිරීමට පත්වූහ. මේ සිද්ධිය දෙව්දත් තෙරුන්ට දැන්වීමෙන් පසු වෙන කළ හැක්කක් නොවන
බැවින් අන් මෙහෙණින් වහන්සේලාට ද මෙය අපහාසයක් නින්දාවක් නිසා සිවුරු හරවා යවන ලෙස
දැන්වී ය.
එම මෙහෙණින් වහන්සේ පැවිදි වූ පසු සිදු වූ දෙයක් නොවන බව හොඳාකාරව ම දනී. දෙවුදත්ගේ
බසට කළකිරී ඒ බව බුදුරජාණන් වහන්සේට දැන්වූවා ය. බුදුරජාණන් වහන්සේ මෙහෙණියගේ දරු
ගැබ ගිහි කළ සිදුවූවක් බව හොඳාකාර ව ම දනී. නමුත් මහජනතාවගේ සැකය දුරු කර නිවැරැදි
විනිශ්චයක් ලබා ගැනීමට කොසොල් මහරජතුමා, අනේපිඬු සිටුතුමා විශාකා මහ උපාසිකාව යන
අයට බාර කළහ.
විනය සම්බන්ධ අගතැන්පත් උපාලි තෙරුන් වහන්සේ විනය පරීක්ෂණය සිදු කළහ. සියලු
තොරතුරුවලින් ප්‍රකාශ වූයේ මෙහෙණින් වහන්සේ නිරවද්‍ය බවත්, පිරිසුදු බවත් ගිහි
ජීවිතයේ දී සිද්ධ වූ දෙයක් ලෙසට සනාථ විය. විනයානුකූල ව හා සාකච්ඡා තුළින් ස්ථිර
විය. මෙසේ දින සති මාස සම්පූර්ණ වීමෙන් පසුව මෙහෙණින් වහන්සේ මහා පුණ්‍යවන්ත පුත්
රුවනක් බිහි කළා ය.
‘කුමාරකස්සප’ නම් වූ ඒ පින්වත් කුමරු කොසොල් මහ රජතුමාගේ රාජ මන්දිරයේ වැඩුණේ ය.
සසර පුරුද්ද අනුව කුඩා කාලයේ සිට ම පැවිදි වීමට ඉමහත් කැමැත්තක්, ඇල්මක් දැක්වූ
හෙයින් අලංකාර පෙරහරකින් බුදුරජාණන් වහන්සේ හමුවට පුතු රැගෙන විත් උතුම් පැවිදි
භූමියෙහි පිහිටවූයේ උන්වහන්සේට පෙර මහා වාසනා ගුණය තිබූ නිසා ටික කලකින් ම විදසුන්
වඩා උතුම් රහත් ඵලයට පත්වූහ.
කුමාරකස්සප තෙරුන් වහන්සේගේ මාතෘ මෙහෙණින් වහන්සේ පුහුදුන් ය. පුරා වසර දොළහක් ම
සිය පුතු නොදැක සෝකයෙන්, වේදනාවෙන් කම්පනයෙන් පෙළිණ. පුතු නොදැක දුකින් පීඩිත ව
කල්යවන අවස්ථාවේ දී ඇතුලු වීදියේ දී දක්නට ලැබුණි. දරු ස්නේහය බුර බුරා නැගෙන
ගින්නක් සේ ඉස්මතු වී අනේ පුතණුවනි, කියා වේගයෙන් සමීප ව අල්ලන්නට සූදානම් වන විට
‘මේ කිමෙක් ද? වහා ඉවත්වන්න, ඉවත්වන්න’ කියා වැදූ මව් මෙහෙණට සෙනෙහසක් නොදක්වන බව
හැඟවී ය.
එසේ කළේ ඉදිරියේ සිදුවන යහපත දැක ය. දරු ස්නේහය බිඳී මවු මෙහෙණ පුතු කෙරෙහි කළකිරි
සිත දමනය කරගෙන පසුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්ම අවබෝධයෙන් විදසුන්
වඩා උත්තරීතර රහත් ඵලයට පත්විය. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ එම සිද්ධිය
නිමිති කරගෙන “තමාට පිහිට තමාම බවත් තමා දමනය කළ තැනැත්තා අති දුර්ලභ අමා නිවනෙහි
පිහිට ලබන බවත්’ ධර්මානුකූල ව වදාළ සේක.
මේ සම්බුදු වදන වර්තමාන සමාජය දෙසට යොමු කිරීමේ දී බොහෝ පිරිස සිතන්නේ, මට බොහෝ
පිරිස සිටිනවා. වස්තු සම්පත්, යාන වාහන මිල මුදල් තිබෙනවා. එය ස්ථිර ය. සදාකාලික ය
කියා කටයුතු කරනවා. මෙලොව ගැන, පරලොව ගැන සිතන්නේ කල්පනා කරන්නේ නැහැ. පින්, පව්
ගැන සිතන්නේ නැහැ. තෘෂ්ණාව, ආසාව, ලෝභකම පසුපස හඹාගිය ආත්මාර්ථය ප්‍රධාන කොට ගෙනයි
කටයුතු කරන්නේ. ක්‍රියා කරන්නේ. ‘සිඟිති’ කාලයේ සිට යොවුන් විය දක්වා හදවතට හදවත
මෙන් මධුර වූ මිතු දමින් කල් යවමින් කටයුතු කිරීමේ දී සිතනුයේ ඕනෑම දෙයකට පිරිසත්,
හිත මිතුරනුත් සැමදා සිටිනවා යනුවෙනි. සැමදාම කායික, මානසික ශක්තිය, හැකියාව සම්පත්
තිබෙනවා යනුවෙනි.
නමුත් ක්‍රම ක්‍රමයෙන් ශරීර දුබලතාවය පසිඳුරන්ගේ දුර්වලකම, දෙපා වාරු නැතිවීම, තමාට
තමාගේ කාර්යයත් සිදුකර ගැනීමට අපොහොසත් වීම, දුර්වල වීමේ දී එදා සිට හිත මිතුරන්ගේ
වෙන්වීම ආදී මේ සියල්ල කෙමෙන් සිදුවෙන විට අසරණ දුගී දුප්පත් බවට පත් වෙනවා.
අගහිගකම් ඇතිවෙනවා. ජීවිතයේ ළමා කාලය, තරුණ කාලය ගෙවී වයස් ගතවන විට ධාරණ ශක්තිය
(මතක ශක්තිය) ඉන්ද්‍රියන්ගේ සජීවී බව අක්‍රියත්වයට ගොදුරු වෙනවා.
එවිට සිය ජීවිතයේ බොහෝ දුර ගෙවී ගොස් හමාර ය. ආපස්සට හැරී නැවත බලනවිට දුකක්,
කනගාටුවක්, වේදනාවක් ඇති වෙයි. එවිට සියල්ල සිදු වී හමාර ය. මුල් කාලයේ සිටිය හිත
මිතුරන් සියලු දෙනාම ඈත් වෙලා. නැවත එම අවස්ථාව සුන්දරයි කියූ ලෝකය ළංකර ගැනීමට
බැරි ය. අපහසු ය. නමුත් පාප මිත්‍ර සේවනයක් ඇසුරු කරගෙන තිබුණා නම්, මුළු ජීවිතය ම
සිහිකරන විට වේදනාවක්, දුකක්, කඳුලක් ලැබෙනවා. මෙලොව සතුටක් නැතිව පිරිහී ගියා වගේ
ම, පරලොව දිවිය ද අපායගාමී දුක් සහිත තත්ත්වයකට උරුම වෙනවා. ආත්ම භව කෝටි ගණනක් සසර
ගමනේ මොහොතක් පාසාම අනන්ත දුක් විඳවන්න සිදුවෙනවා. බෞද්ධ ලෝවැඩ සඟරාවෙහි එන ලෙස
පාපය කරන කාලයෙහි ම මී පැණි මෙන් රසවත් ය.
එහි දුක් විඳින කල්හි ගිනිමෙන් දරුණු ය. එම පාපයන් දුරු කරන්නා වූ උපදේශය දැන ගෙන
සිත, කය, වචනය යන ත්‍රිවිධ ද්වාරයෙන් පාපයට අවකාශ නොදිය යුතු ය.
මිනිසත් බව දුර්ලභ ය. පූර්වයේ මහා පුණ්‍ය විපාකයකට ලැබුණ මිනිසත් භාවය සර්ව
සම්පූර්ණ කර ගැනීමට බුදු දහමෙහි දෙන සජීවී ජීවී ශක්තිය මහා බලවත් ය.
රහත් ඵලය ලැබූ කුමාර කස්සප තෙරණුවන් සහ මෙහෙණි මවු හමුවීමේ දී ඇති වූ සිද්ධිය
කෙතරම් වේදනාකාරී කඳුළක් වුවත්, එය මවට නිවන දැකීමට දොර විවර කිරීමකි. ඔබ ජීවත් වන
වයස් ප්‍රමාණයේ සිට තව වසර කීයක් මේ භවය තුළ ජීවත් වෙනවා ද? ඔබ සතු නිශ්චල, චංචල
සියලුම සම්පත් ඇසුරු කළ හිතවත් ප්‍රජාව මොනදේ තිබුණ ද ඒ සියල්ල ම අතහැරී ගිලිහී
යයි. සිත, කය, වචනය යන තිදොර සංවර කරගෙන, කායික මානසික දියුණුවක් ලබා ගැනීම, තමාට
පිහිට තමා ම ය. බව මොහොතක් මොහොතක් පාසාම මෙනෙහි කිරීම දෙව්ලොවට ඉණිමඟකි. |