Print this Article


පහන් සිතක කවි

සමනොළ පුරාණය

මිහිඳු හිමි වැඩම කළ කාලයට පෙර
සුමණ නමැති පාලකයකු කුළුණු බර
වැඩ විසු වගයි යහගුණ දම් දියුණු කර
සමනොළ අඩවිය යි මොහු විසු දැහැමි පුර

සැම දෙන නගිති සිරිපද තම මුනිදුන්ගේ
බුදු සිරිපතුල බව හැඟුමයි බොදුවන්ගේ
මහ අසිරියකි සැලකිලි හැම මිනිසුන්ගේ
මෙය හුදු හාස්කම විය හැක දෙවියන්ගේ

****

සාධු හඬ

දීඝවාපිය පුදබිමේ සාධු හඬ නැඟෙනවා
ෂඩ් වර්ණ ධජයෙන් අහස් කුස දිලෙන වා
කසාවත් පොරවගත් සඟරුවන වඩිනවා
උවැසි උවැසියො නිසා සිල් සුවඳ හමනවා

සසර දුක් දැනෙන විට සසර බිය දැනෙනවා
දහම් හඬ නැඟෙන විට දෙසවන්ද පිනනවා
නිවන ගැන අහන විට නිවන් සුව දැනෙනවා
සාධු හඬ නැගෙන විට සියලු දුක් නිවෙනවා

****

දහම පැතිරුණා

පොසොන් සඳ නැඟී ලොව එළිය කරනවා
මිහිඳු සමිදු මිහින්තලා ගිරට වඩිනවා
දම් කඳ රට හැම තැනකම පැතිර ගලනවා
මහින්ද මහ රහතුන් අප දුකින් මිදෙව්වා

අනු බුදු නමින් රට හැම තැන ප්‍රකට වුණා
සාමය ඇති කරවූවා රට හතර තැනා
දෙවන මහා පෑතිස් රජු මවිත වුණා
රට තුළ දහම පතුරන්නට වැඩ වුණා

****

සෙත සදමු

අපේකම රැකගන්න උරුම දෙය සුරකින්න
දිවි මගම ජයගන්න හොඳම මිනිසකු වන්න
ඉරු දිනයෙ විදු බිම යි පන්සලට පිවිසෙන්න
මගෙ පුතේ මගේ දුවේ එපා කම්මැළි වන්න

අප ගැනම සිතා අප හෙට දිනය සරු කරමු
ගුණ දහම් පිරි ලොවක නිදහසේ දිවි ගෙවමු
අපිට හැකි හ ැම විටම පොදු ජනට සෙත සදමු
මගෙ පුතේ මගෙ දුවේ ලක්මවට මල් පුදමු

****

වඳිමි සිරස නමා

වඳිමි වඳිමි සිරස නමා
උතුම් පොසොන් දිනය අමා
සිව් බුදුවරු දෙසූ දහම
තවම නැත නිමා
සුරන් වඩින නිවන් පුරේ
මගින් සිතුම් පහන් කෙරේ
දහම් හඬින් පොසොන් දිනේ
නිවන් මඟ පෙනේ

****

දහම් ආලෝකය

දම්සෝ රජුන්ගේ කාලයෙ මේ රටට
මිහිඳු සමිඳු හා පිරිවර වැඩ මෙරට
දැල්වූ දහම් ආලෝකය දස දෙසට
ඒකාලෝක වී විහිදෙයි මුළු රටට

හරයක් නොමැති ඇදහිලි වෙත තබා සිත
යොමුවුන හෙළයන්ගෙ පාදා අඳුරු නෙත
ආලෝකවත් කළ අනුබුදු මිහිඳු වෙත
මේ මල් පුදමි හිමි පා මුල යොමා සිත

****

සදහම් සිසිල

එදා දඹදිව සිට
වැඩම කරමින් මෙරටට
අප හැරෙව් දහමට
වඳිමි අනුබුදු මිහිදු සමිඳුට

ඔබ ගෙනා දහමින්
දුරාචාරය නගමින්
මෙරට දන යහමින්
හැදුනි සදහම් සිසිල නගමින්

****

මෙවර ජයග්‍රාහී කවිය

අජරාමර නිවන

රූපය ලස්සනයි සුන්දර යැයි සිතලා
ඇතැමෙක් එහි ඇලෙති මෙය මාගේ කියලා
වයසත් සමඟ වියැකෙන රූපය දැකලා
හැකි වෙද සිතන්නට එය අනියත කියලා

හඬ කන්කලු වේවි හැක සිත් සනසන්න
නහයට හැකි ය සුවෙඳහි තතු දැනගන්න
වූ විට දුබල ඔබගේ ඉඳුරන් ගොන්න
හැකිදෝ මිහිරි වුවත් එය විඳ ගන්න

ගොරහැඬි වියළි සම නැහැ දෙන්නේ පහසක්
විකුවට අහර දෙනවද පිවිතුරු රසයක්
දුබලව ගිය සිතට මෙන් ගතට ද සැපයක්
ලැබුමට ඇත්තේ බුදු දහමයි එය සතුටක්

හැකි නම් දුරලන්න ඉඳුරන් ගේ පහස
වැළකිය හැකි ය වීමෙන් සිත අපහරණ
දුරු කළ හොතින් සිත තුළ ඇති දුර්වර්ණ
හැකි වේ පතන්නට අජරාමර නිවන

****

මටත් ඉඩක්

මලක් පුදන තැන
දනක් බෙදන තැන
බණක් ඇසෙන තැන
මටත් පුංචි ඉඩක් ලැබේවා
සසරේ දවසක
මෙතේ බුදුන් දැක
නිවා ගන්න දුක
අනේ ! මටත් පිනක් ලැබේවා !

****

දම් දීපය

බුදු හිමි තෙවරක්ම වැඩි මේ දම් දීපේ
බුදු ගුණ පැතිරුණා මුළු සදහම් දීපේ
අනුබුදු මිහිදු සමිඳුන් වැඩි මේ දීපේ
සදහම් පිරි රටකි අපගේ ලක් දීපේ

****

උපාසිකාව

සල් සපු සමන් නා මල් සිඹගෙන ආව
විල් වල නෙළුම් මානෙල් සිසිලස නෑව
ඇල්මක් ඇතත් ඒ මඳ නල සුව පෑව
සිල් සුවඳක් පමණි දැනුනේ ඔබ ගාව

වළකාගෙන හැඟුම් රාගික බොළඳ සිනා
පෙළ පෙළ දහම් රස මීවිත සිතට ගෙනා
හළ යුතු දේම අත්හළ බව ලෙසට මනා
මල සුන මතට පූජා කළ මලක් වුණා.