Print this Article


ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමි

ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමි

පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි තෘතීය පරිවේණාධිපති ව වැඩවිසූ, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, සාහිත්‍යශූරී, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්දර ලුණුපොකුණේ ධර්මකීර්ති ශ්‍රී ධර්මානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සැත්තෑ පස්වන ගුණානුස්මරණය ජූනි මස 22 වන දිනට යෙදී තිබුණි.

1869 සැප්තැම්බර් 13 වැනි දින මෝදර ලුණුපොකුණේ දී ජන්ම ලාභය ලද නාහිමිපාණන් වහන්සේ ස්වකීය ජන්ම භූමියට ආසන්න ව පිහිටි කොටහේන දීපදුත්තමාරාමයෙහි ඇසුර ලද අතර, එහි විසූ වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමිපාණන් වහන්සේගේ ද මෙහෙයවීමෙන් බලබෝවේ රජමහා විහාරාධිපති මාබඩ ගුණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් ලුණුපොකුණේ රතනපාල නමින් ප්‍රවජ්‍යාව ලබා ඉනික්බිතිව පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි ආදිකර්තෘ ගණාචාර්ය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සහ තච්ඡිෂ්‍යවර සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යභාවයට පත්ව ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය සිදු කොට ධර්මානන්ද යැයි නම් ලබමින් 1892 දී මහනුවර මල්වතු මහාවිහාරයීය මංගලෝපෝෂථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි උපාචාර්ය පදවියකට සහ ඉනික්බිතිව 1901 වර්ෂයේ දී බෙලිගම්මන ශ්‍රී විද්‍යාවර්ධන පිරුවනෙහි සහ 1904 දී නාත්තන්ඩිය වීරහේන විද්‍යාරත්න පිරුවනෙහි ආරම්භක පරිවේණාධිපති පදවියට පත්ව 1917 වර්ෂයේදී රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් ගිලන්භාවයට පත් වූයෙන් විද්‍යාලංකාර පිරුවනෙහි උප පරිවේණාධිපති පදවියට සහ කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවියට පත්ව 1918 වර්ෂයේදී තත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පසු විද්‍යාලංකාර පරිවේණාධිපති පදවියට පත්ව ධර්මකීර්ති ශ්‍රී සහ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ගෞරව නාම සම්මුතීන් සහිතව කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් සහ උපාධ්‍යාය පදවියෙන් සම්මානිත වූහ.

ස්වකීය ආචාර්යයන් වහන්සේලාගේ ජන්ම ග්‍රාමය වූ රත්මලාන ග්‍රාම නාමය ව්‍යවහාරයට ගනිමින් රත්මලානේ ධර්මානන්ද යනුවෙන් තත්කාලීන සමාජයෙහි ප්‍රසිද්ධියට පත් වූහ.

ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නා හිමියන්ගේ යුගය විද්‍යාලංකාර පිරුවනෙහි ස්වර්ණමය අවධිය ලෙසින් සඳහන් කිරීමට හැකි ය. සහස්‍රාධික දෙස් විදෙස් ශිෂ්‍යයන් විද්‍යාලංකාර පිරුවනෙහි ඉගෙනුම ලැබීමට පැමිණියේ මේ අවධියේ දී ය. ඉන්දියාව, නේපාලය, චීනය, මහා බ්‍රිතාන්‍යය, තායිලන්තය, බුරුමය, ඕලන්දය, ලාඕසය, මැලේසියාව ආදී රටවලින් පැමිණි විදේශීය ශිෂ්‍යයන් මෙම වකවානුවෙහි විද්‍යාලංකාර පිරුවනට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූයේ එම වකවානුවෙහි පිරුවනෙහි කීර්තිය එම රටවල ද පැතිරි තිබූ නිසාවෙනි. විද්‍යාලංකාර පිරුවනෙහි භෞතික සම්පත්වල සුවිශාල දියුණුවක් ඇති වූයේ ශ්‍රී ධර්මානන්ද යුගයේදී ය. ඉන්දියාවේ පුරාවිද්‍යා කැණීම්වලින් හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා පිරුවනෙහි දීප්තිමත් ආදිශිෂ්‍ය, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමාගේ මෙහෙයවීමෙන් විද්‍යාලංකාර පිරුවනට වැඩමවූයේ ද ශ්‍රී ධර්මානන්ද යුගයේ දී ය.

රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් ආරම්භ කළ මොග්ගල්ලාන සම්ප්‍රදායේ පාලි ව්‍යාකරණ සම්ප්‍රදායට පුනර්ජීවනය සැපයීම තවදුරටත් ඉදිරියට රැගෙන ගිය ශ්‍රී ධර්මානන්ද නාහිමිපාණෝ මොග්ගල්ලාන විරිත සන්‍යය, සුත්ත වුත්ති සහිත මොග්ගල්ලාන පඤ්චිකාව, පද සාධනය, මොග්ගල්ලාන ණ්වාදිවුත්තිය, මොග්ගල්ලාන පඤ්චිකාව ඇතුළු පොත්පත් සංස්කරණය කොට අනූපමේය සේවයක් සිදු කළේ මතු නොව හේවාවිතාරණ අටුවා සංස්කරණ සඳහාද දායකත්වය ලබා දුන් සේක. ලංකාවේ ත්‍රිපිටකය හදාරන විද්‍යාර්ථීන්ට ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් මේ කාලයේ නොවූයෙන් විද්‍යාලංකාර පිරුවනෙහි ත්‍රිපිටක ධර්ම පරීක්ෂණ ක්‍රමයක් ආරම්භ කළහ. විද්‍යාලංකාර පිරුවන විශ්වවිද්‍යාල තත්වයට සකස් කිරීමේ මූලාරම්භය සනිටුහන් කරමින් පිරුවනෙහි විෂය නිර්දේශය සංශෝධනය කොට ත්‍රිපිටකාචාර්ය, ධර්මාචාර්ය, සාහිත්‍යාචාර්ය, විද්‍යා චක්‍රවර්තී, වෛද්‍ය ශිරෝමණී යන උපාධි පාඨමාලා සඳහා ඉගැන්වීම් සිදු කොට 1944දී උපාධි ප්‍රදානෝත්සව පැවැත්වීමද ආරම්භ කළහ. 1938 වර්ෂයේදී කැලණිය ධර්මාලෝක විද්‍යාලය ආරම්භ කරන ලද්දේද නා හිමියන්ගේ අනුශාසනා පරිදි විද්‍යාලංකාර සභාව මගිනි. අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ මහානායක පදවියට පත් කොස්ගොඩ ධම්මවංස හිමියන් විද්‍යාලංකාර පිරුවනෙහි ආචාර්ය පදවියකට පත් කරන ලද්දේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන් විසිනි. 1946 වර්ෂයේදී විද්‍යාලංකාර භික්ෂු දේශපාලන ප්‍රශ්නය ලෙසින් සමාජයේ කතිකාවතක් ඇති කළ සිද්ධි දාමයෙහි මූලාරම්භය ඇති වන්නේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන්ගේ යුගයේදීය. විධිමත් ධර්ම විනයානුකූල අධ්‍යයනයන් ඔස්සේ භික්ෂුවකගේ උරුමය තහවුරු කිරීමට කැප වූයේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන් ප්‍රමුඛ විද්‍යාලංකාර ගුරු කුලයයි.

විද්‍යාලංකාර ගුරුකුලය බැබළ වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමි, කොටහේනේ ප්‍රඥාකීර්ති මා හිමි, හැඩිපන්නල ප්‍රඥාලෝක හිමි, මාදෝවිට ඥානානන්ද මා හිමි, නාත්තන්ඩියේ ප්‍රඥාකර නා හිමි, නාරාවිල ධම්මරතන මා හිමි, වල්පොළ රාහුල හිමි, බඹරැන්දේ සිරි සීවලී හිමි, කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමි ඇතුළු පාණ්ඩිත්‍යයෙන් පිරිපුන් යතිවරයන් වහන්සේලා ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන්ගේ පා සෙවණෙහි ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි වරම් ලැබූහ.

සහ ස්වකීය ආචාර්ය පරපුර කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් කටයුතු කරමින් සැහැල්ලු නිරහංකාර දිවි පෙවෙතක් ගත කළ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නා හිමිපාණන් වහන්සේ 1945 ජූනි මස 18 වන දින අපවත් වී වදාළ සේක.