Print this Article


ආර්ථික දියුණුවට කර්මය බලපානවා ද?

ආර්ථික දියුණුවට කර්මය බලපානවා ද?

"ධාර්මික ආර්ථික රටාවක් අනුව පුද්ගලයාගේ ජීවිතය ගොඩනැගී තිබීම ලෞකික හා ආධ්‍යාත්මික සංවර්ධනයට නිරන්තරයෙන් ඉවහල් වේ. ගෘහස්ථ ආර්ය ශ්‍රාවකයාට තමාගේ ආර්ථිකය සමෘද්ධිමත් වන තරමට නිරවුල් මානසිකත්වයකින් ජීවන ගමන සම්බාධක රහිත ව ඉදිරියට යා හැකි ය."

දෛනික ජීවිතය තුළ පුද්ගලයා ස්වකීය ආර්ථිකය සමෘද්ධිමත් කරගැනීමට විවිධ වු වෘත්තීන්

තුළ නියැළෙන බව අපි දනිමු. සියලු ජීවිකාවන් සිදුකිරීමට අවශ්‍ය වන්නේ උත්සාහය, කැපවීම හා අවංකභාවය යි. එනිසා ධර්මික සීමාවක් තුළ කැපවීමෙන් උපයන ධනය ගෘහස්ථ ජීවිතයට සැපයකි. එමෙන් ම ආලෝකයකි.

මෙලොව දී යමක් ලැබීමට නම්, අප සසර පුරාවට පිරූ දාන පාරමිතා ඇත්තේ විය යුතු ය.

මජ්‍ධිමනිකාය චුල්ලකම්මවිභංග සූත්‍රයේ දී සුභ මානවකා විමසා සිටින්නේ ද එය යි. ඔහු විමසන පරිදි “භාග්‍යවතුන් වහන්ස, මෙලොව පුද්ගලයෙකු ධනවත් වීමට හා දිළිඳු වීමට හේතු කවරේ ද ?” යන්නයි. එවිට භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ, “මානවකය, පෙර භවයන්හි දී දන් දීම හා දන් නොදීම කරණකොටගෙන පුද්ගලයා ධනවත් වීම හා ධනවත් නො වීම සිදු වන බවයි.” මෙයින් අපට පැහැදිලි වන්නේ අතීත කර්මයේ බලපෑම ද එක් හේතුවක් කොට ගෙන පුද්ගල ජීවිතයේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය රඳා පවතින බවයි.

දිනක් සැරියුත් තෙරුන් තථාගතයන් වහන්සේ වෙත පැමිණ, එකත් පසෙක හිඳ මෙවැනි ප්‍රශ්න හතරක් විමසයි. මෙම ධර්ම විග්‍රහයට පාදක වී ඇත්තේ ද ඉහතින් සඳහන් කර ඇති අංගුත්තර නිකායේ වණිජ්ජා සූත්‍රය යි. එම කරුණු හතර කුමන කාලයක වුවත් වෙළෙඳාම හා සම්බන්‍ධ කර ගත හැකි වැදගත් සාධක කිහිපයකි. සැරියුත් හිමියන් විමසන පරිදි,

“භාග්‍යවතුන් වහන්ස, ඇතැම් වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කර වැඩි කලක් නො ගොස් විනාශ වෙයි. එයට හේතුව කුමක් ද?”

පිළිතුරු වදාළ භාග්‍යවත්හු මෙසේ වදාළහ.“

සාරිපුත්‍රය, ඇතැම් පුද්ගලයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත ගොස් ඔබවහන්සේලාට අවශ්‍ය

මොනවා දැයි විමසන නමුත්, එය අමතක කර ඒ දේවල් ගෙනත් නො දෙයි. මෙම අකුසලය හේතු කොට ගෙන ව්‍යාපාර මෙලෙස විනාශ වන බව දෙසූහ.”

දෙවනුව මෙසේ ද විමසයි.

“භාග්‍යවතුන් වහන්ස, ඇතැම් වෙළෙඳ ව්‍යාපාර ඔවුන් අපේක්‍ෂා කරන තරමට දියුණු තත්ත්වයට පත් නො වී විනාශ වී යයි. එයට හේතුව කුමක් ද?” “සාරිපුත්‍රය, එයට හේතු වන්නේ, ඇතැම් පුද්ගලයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත ගොස් ඔබ වහන්සේලාට අවශ්‍ය මොනවා දැයි විමසන නමුත්, ශ්‍රමණ බ්‍රාහ්මණයින් බලාපොරොත්තු වන තරමට ඉල්ලූ දේවල් ගෙනත් නො දෙයි. ඒ හේතුවෙන් කර්මානුරූපී ව එම ආත්මයෙන් චුතව මිනිසත් බව ලබා ආරම්භ කරන වෙළඳ ව්‍යාපාර සිතූ තරම් සාර්ථකත්වය කරා නො යයි. හේතුව වන්නේ ඉහතින් දැක් වූ අයහපත් ක්‍රියාවයි. වචනයේ විශ්වාසය නො රැකීම, මුසා බස් තෙපළීම වැනි පාප ක්‍රියාවන් මෙයට මුල් වෙයි.

තෙවනුව සැරියුත් තෙරණුවෝ මෙසේ විමසති.

“භාග්‍යවතුන් වහන්ස, ඇතැම් වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කොට, කාලයාගේ ඇවෑමෙන් ඔවුන් අපේක්‍ෂා කරන තරමට ම දියුණු තත්ත්වයට පත්වෙයි. එයට හේතුව කුමක් ද?” භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ, “සාරිපුත්‍රය, ඇතැම් පුද්ගලයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත ගොස් ඔබ වහන්සේලාට අවශ්‍ය මොනවා දැයි විමසා, අනතුරුව ශ්‍රමණ බ්‍රාහ්මණයන් බලාපොරොත්තු වන අයුරින් ම අවශ්‍ය සියලු දේ ගෙනවිත් දෙයි. විශ්වාසවන්ත භාවය රැකීම, කර්ම ඵල පිළිගැනීමේ නුවණින් ක්‍රියා කිරීම වැනි සාධු ක්‍රියාවන් නිසා එලෙස ප්‍රතිවිපාක ගෙන දෙන බව බුදුහු දෙසූහ.” අවසානයේ ශාරිපුත්‍රයන් වහන්සේ මෙවැනි ප්‍රශ්නයක් විමසයි.

“භාග්‍යවතුන් වහන්ස, ඇතැම් වෙළඳ ව්‍යාපාර ආරම්භ කොට, කාලයාගේ ඇවෑමෙන් ඔවුන් අපේක්‍ෂා කරන තරමට වඩා වැඩි සිය දහස් ගුණයකින් වෙළඳ ව්‍යාපාර ඉතා සීඝ්‍රයෙන් දියුණුව කර ගමන් කරයි. භාග්‍යවතුන් වහන්ස, එයට හේතුව කුමක් ද?” යන්න යි. “සාරිපුත්‍රය, ඇතැම් පුද්ගලයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත ගොස් ඔබවහන්සේලාට අවශ්‍ය මොනවා දැයි විමසා, අනතුරුව ශ්‍රමණ බ්‍රාහ්මණයන් බලාපොරොත්තු වන තරමටත් වඩා වැඩියෙන් අවශ්‍ය දෑ සපයයි. මේ හේතුව කරන කොට ගෙන එම ආත්ම භවයෙන් චුත ව මිනිස් ආත්මයේ නැවත ප්‍රතිසන්ධිය ලබන එම පුද්ගලයා ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ ඉතා සැපවත් ජීවිත ලබන්නන් බවට පත් වෙයි.

මෙවැනි විවිධ වෙළෙඳ ව්‍යාපාර මට්ටමේ මිනිසුන් අපට සමාජය තුළ සුලභව හමුවෙති. ඉතා අපහසුවෙන් ආරම්භ කළ කුඩා වෙළෙඳ ව්‍යාපාර අද වන විට මිනිසුන් ලක්‍ෂ ගණනකගේ ජීවන අරගලයට ශක්තිය සපයන ආයතන බවට පත්ව ඇත. එමෙන් ම ඇතැම් ව්‍යාපාර කෝටි ගණන් වියදම් කර ආරම්භ කළත්, ව්‍යාපාර බිඳ වැටී යෙදවූ මුදලවත් ආපසු ගැනීමට නො හැකිව අන්ත අසරණ දුගී භාවයට පත්ව ද ඇත. පුද්ගලයාගේ කර්ම ශක්තියේ බලපෑම එතරම්ම බලවත් බව අපට මෙම සූත්‍ර විවරණයෙන් මැනවින් පැහැදිලි වේ. එම නිසා වෙළෙඳ ව්‍යාපාර සිදු කිරීමේ දී වීර්යවන්ත වෙමින්, විශ්වාසය ගොඩනැගෙන පරිදි කටයුතු කරමින්, හැකි සෑම අවස්ථාවකම කර්ම ඵල පිළිගැනීමේ විශ්වාසය ඇතිව, සැමට සැම විටම තමාට හැකි පරිදි උපකාර කරමින්, ධාර්මික පදනමක් මත පිහිටමින් ක්‍රියා කිරීමට සිත යොමු කළ යුතු ය. වෙළෙඳ ව්‍යාපාර සාර්ථක කර ගත හැක්කේ එවිට ය. තථාගත සම්බුද්ධ දේශනාව තුළ ලෝකයට විවරණය කරන ධර්ම පිළිවෙත ද එයයි.

ධාර්මික ආර්ථික රටාවක් අනුව පුද්ගලයාගේ ජීවිතය ගොඩනැගී තිබීම ලෞකික හා ආධ්‍යාත්මික සංවර්ධනයට නිරන්තරයෙන් ඉවහල් වේ. ගෘහස්ථ ආර්ය ශ්‍රාවකයාට තමාගේ ආර්ථිකය සමෘද්ධිමත් වන තරමට නිරවුල් මානසිකත්වයකින් ජීවන ගමන සම්බාධක රහිතව ඉදිරියට යා හැකි ය. එම පිළිවෙත ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දී සම්මා ආජීවය ලෙස ද දක්වා ඇත.