Print this Article


ආර්ය ශ‍‍්‍රාවක ප‍‍්‍රතිපදා - 04: ආර්ය මාර්ග ප‍‍්‍රවේශයේ පළමු පියවර

ආර්ය ශ‍‍්‍රාවක ප‍‍්‍රතිපදා - 04

ආර්ය මාර්ග ප‍‍්‍රවේශයේ පළමු පියවර

" බොහෝ බෞද්ධයන් බුදුහාමුදුරුවන් හඳුනන්නේ රූපෙන් පමණයි. ගුණවලින් හඳුනන්නේ නැහැ. ඒ නිසා තමයි මිනිස්සු දහස් ගණන්, ලක්‍ෂ ගණන්, කෝටි ගණන් මුදල් වියදම් කරලා හැමතැනම බුදුපිළිම හදන්න පුරුදු වෙලා තියෙන්නේ.

සංයුත්ත නිකායේ ඉන්‍ද්‍රිය සංයුත්තයේ පටිපන්න නමින් සූත්‍රයක් තිබෙනවා. ”පටිපන්න” පාලි වචනයේ තේරුම පිළිපන්න කියන එකයි. පැමිණුනා, ප‍‍්‍රවේශ වුණා කියන තේරුමයි. එසේ පිළිපන්නේ, පැමිණුනේ, ප‍‍්‍රවේශ වුණේ ගෞතම ශාසනයේ ආර්ය මාර්ගයටයි.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින සමයක ”භික්‍ඛවොති” මහණෙනි මෙහාට වැඩම කරන්න කියා භික්‍ෂූන් වහන්සේලාට කතා කළා. භික්‍ෂූන් වහන්සේලාත් ”භදන්තෙති” ඇයි ස්වාමීනි යි පිළිතුරු දෙමින් වැඩම කළා. එහෙම වැඩම කළ භික්‍ෂූන් වහන්සේලාටයි ”පටිපන්න” සූත‍‍්‍රය දේශනා කරමින් මේ ආර්ය මාර්ග ප‍‍්‍රවේශය පැහැදිලි කළේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ”පඤ්චිමානි භික්‍ඛවෙ ඉන්‍ද්‍රියානි” මහණෙනි, ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. ”කතමානි පඤ්ච” මොනවාද ඒ පහ? ”සද්ධින්‍ද්‍රියං” ශ‍‍්‍රද්ධා ඉන්ද්‍රිය. ”විරියින්‍ද්‍රියං” වීර්ය ඉන්ද්‍රිය. ”සතින්‍ද්‍රියං” සති ඉන්ද්‍රිය. ”සමාධින්‍ද්‍රියං” සමාධි ඉන්ද්‍රිය. ”පඤ්ඤින්‍ද්‍රියං” ප්‍රඥා ඉන්ද්‍රිය යි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ”මේ ඉන්ද්‍රිය ධර්ම පහ යම් කෙනෙක් තුළ සියලු ආකාරයෙන්, කිසි ලෙසකින්වත් නැත්නම් ඔහු මාගේ ශාසනයෙන් බැහැර වූවෙක්” කියලා. ඒ කියන්නේ ගෞතම ශාසනයේ ආර්ය මාර්ගයට පිළිනොපන්, නොපැමිණුන, ප‍‍්‍රවේශ නොවුණු කෙනෙක් කියන එකයි.

ආර්ය ශ්‍රාවකයෙක් වීමට නම්...

මේ ගෞතම ශාසනය තුළ ම ප්‍රථමයෙන්ම ආර්ය මාර්ගයට ප‍‍්‍රවේශ වෙන්න ඕන. ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙන්න තියෙන පහසුම ක‍‍්‍රමය තමයි පටිපන්න සූත‍‍්‍රයේ විස්තර කළ ඉන්ද්‍රිය ධර්ම වඩන එක. ඉන්ද්‍රිය ධර්ම අභ්‍යාස කරන එක. ඉන්ද්‍රිය ධර්ම පුරුදු පුහුණු කරන එක. ඉන්ද්‍රිය ධර්ම වඩන්න, අභ්‍යාස කරන්න, පුරුදු පුහුණු කරන්න පටන් ගත්තොත් ඔබ අනිවාර්යයෙන්ම ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙනවා. ඊළඟට අඩුම ගණනේ සෝවාන් මාර්ගයට පැමිණුන ශ‍‍්‍රාවකයෙක් වෙන්න හැකියාව ලැබෙනවා. ඉන්ද්‍රිය ධර්ම වඩන්න කලින් ඉන්ද්‍රිය ධර්ම එකින් එක විස්තර වශයෙන් ධර්මානුකූල ව හඳුනාගත යුතුයි. එම නිසා මෙතැන් සිට ඉන්ද්‍රිය ධර්ම පහ එකින් එක විස්තර කරන්නම්.

පළමු වැන්න සද්ධා ඉන්ද්‍රියයි

අටුවාව ”සද්ධා” වචනය හඳුන්වා තියෙන්නේ ”සද්දහන්තීති වා සද්ධා” කියලා. එහි තේරුම මැනවින් අදහන්නේ, මනාකොට පිහිටනු ලබන්නේ ශ‍‍්‍රද්ධාවයි. බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ මැනවින් අදහන්නේ, ධර්ම රත්නයේ ස්වාක්ඛාතාදී ගුණ හය මැනවින් අදහන්නේ, සංඝරත්නයේ සුපටිපන්නාදී ගුණ නවය මැනවින් අදහන්නේ ශ‍‍්‍රද්ධාවයි. මේ ආකාරයට ඇදහුවාට පස්සේ ඒ ගුණවල පිහිටන්නේ ශ‍‍්‍රද්ධාව නිසයි.

අභිධර්ම පිටකයේ විභංගප්‍රකරණයේ සද්ධා ඉන්ද්‍රිය හඳුන්වල තියෙන්නේ ”යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො සද්ධා සද්ධින්‍ද්‍රියං” කියලා.

මේ පාලි පාඨයේ දී ශ‍‍්‍රද්ධාවේ ස්වභාවය දක්වන්න වචන තුනක් දක්වා තියෙනවා.

1. සද්දහනා - තෙරුවන් ගුණ ඇදහීම

2. ඔකප්පනා - තෙරුවන් ගුණ සිතට වැද ගැනීම

3. අභිප්පසාදො - තෙරුවන් ගුණ කෙරෙහි විශේෂයෙන් පැහැදීම

මෙයාකාරයට තෙරුවන් ගුණ අදහමින් සිතට වැද ගත් පසුව ඇති වෙන්නේ, විශේෂ පැහැදීමක්. ඒ විශේෂ පැහැදීම නිසා ඇති වුණු ශ‍‍්‍රද්ධාව අධිපති අර්ථයෙන් ඉන්ද්‍රිය ධර්මයක් වෙනවා. මෙහිදී අප හොඳීන් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ශ‍‍්‍රද්ධාව අපි තුළ පිහිටන්න නම් පළමුවෙන්ම අපි බුදුරජාණන් වහන්සේ ගුණවලින් හඳුනා ගන්න ඕන. බොහෝ බෞද්ධයන් බුදුහාමුදුරුවන් හඳුනන්නේ රූපෙන් පමණයි. ගුණවලින් හඳුනන්නේ නැහැ. ඒ නිසා තමයි මිනිස්සු දහස් ගණන්, ලක්‍ෂ ගණන්, කෝටි ගණන් මුදල් වියදම් කරලා හැමතැනම බුදුපිළිම හදන්න පුරුදු වෙලා තියෙන්නේ. හොඳට හිතන්න ඔය බුදුපිළිම හදන්න ලක්‍ෂ ගණන් මුදල් පරිත්‍යාග කරන මහත්මයෙකුගෙන් හරි මහත්මියකගෙන් හරි ඇහුවොත් ඇයි අපේ බුදුහාමුදුරුවන්ට ”අරහං” කියන්නේ? ඇයි ”සම්මා සම්බුද්ධ” කියන්නේ? ධර්මානුකූලව බුදුගුණ ගැන විස්තර කරන්න දැනුමක් තියෙනව ද? ඇත්තටම නැහැ. එහෙනම් ඇයි බුදුහාමුදුරුවන් වෙනුවෙන් ලක්‍ෂ ගණන් වියදම් කරන්නේ. එකම දේ තමයි බුදුහාමුදුරුවන් රූපෙන් හඳුනා ගෙන තිබීම. රූපෙන් විතරක් බුදුහාමුදුරුවන් හඳුනා ගත්තට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ශ‍‍්‍රද්ධාව පිහිටන්නේ නැහැ. ශ‍‍්‍රද්ධාව නැත්නම් ආර්ය මාර්ගයට ප්‍රවේශ වන්න කොහෙත්ම බැහැ. බුදුගුණ කියවා තේරුම් අරගෙන බුදුගුණ වඩනකොටයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එහෙම නැතිව මුදල් වියදම් කර කර බුදුපිළිම හැදුවට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. එයින් ඇති වෙන්නේ ඒ වෙලාවට බුද්ධාලම්බන ප‍ී‍්‍රතියක් පමණයි. සතුටක් විතරයි.

මිනිස්සු බුදුගුණ කොයිතරම් හඳුනන්නේ නැද්ද කියනව නම් ”අරහං” කියන වචනේ තේරුමවත් හරියට දන්නේ නැහැ.

දැන් බලන්න මිනිස්සු ”අරහං” කියන වචනේ භාවිත කරන්නේ මොන තේරුමෙන්ද කියලා. ගෙදරක ඉන්නව නම් මහා විසේකාර, දඟ කරන දරුවෙක් අම්මලා මොකද කියන්නේ, ‘මට දැන් මේ දරුවා අරහං‘ කියනවා. එපා වෙලා කියන එකයි මේ කියන්නේ. හැබැයි අරහං කියන්නේ බුදුහාමුදුරුවන්ගේ පළමු ගුණයයි. එය තේරුම් ගත්ත නම් විසේ කරන, දඟ කරන එපා වෙච්ච දරුවෙකුට ‘අරහං‘කියන්නේ නැහැනේ. මේ පුංචි උදාහරණයක් විතරයි.

ශ‍‍්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ඇති කර ගන්න අප කළ යුතු දේ දැන් පැහැදිලි කරන්නම්. පළමුවෙන්ම බුදුගුණ ලියවුණු පොතක් සොයා ගෙන ”අරහං” බුදුගුණය ගැන ලියවුණු දේ කියවන්න. කිහිප වරක් නැවත නැවත හොඳීන් කියවන්න. දැන් එහි නොතේරෙන දේ වෙනම සටහන් කරගෙන ධර්මය දන්න කල්‍යාණ මිත‍‍්‍රයන් වහන්සේ හමුව සාකච්ඡා කරන්න. තේරුම් අහගන්න. ඊළඟට අරහං ගුණය පිළිබඳ කමටහන් සකස් කරගෙන දවසට විනාඩි තිහක් විතර භාවනාවක් හැටියට වඩන්න පටන් ගන්න. අරහං බුදුගුණය එක දිගට මාසයක් විතර නොකඩවා වඩන්න. ඊළඟට ”සම්මා සම්බුද්ධ” ගුණය ගැන ලියවුණු දේ කියවන්න. තේරුම් ගන්න. ඊට පස්සේ මාසයක් විතර භාවනාවක් හැටියට වඩන්න. මේ විදියට බුදුගුණ නවයම ඉගෙන ගෙන තේරුම් අරගෙන බුද්ධානුස්සතිය ලෙස වඩන්න. එතකොට ඔබට බුදුහාමුදුරුවන් ගුණවලින් හඳුනා ගන්න පුළුවන් වේවි. අවුරුද්දක් විතර මේ බුදුගුණ අභ්‍යාස කරන කොට ඔබ තුළ ශ‍‍්‍රද්ධාව පිහිටාවි.

ඊළඟට මේ විදියට ම ධර්මයේ ගුණ හයත්, සංඝරත්නයේ ගුණ නවයත් කියවා තේරුම් ගෙන කමටහන් ලෙස වඩන්න. අවුරුදු දෙකක් විතර මේ අභ්‍යාස කළොත් ඔබ තුළ ශ‍‍්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ඇත්තටම පිහිටාවි. ඒ ඔබේ ආර්ය මාර්ග ප‍‍්‍රවේශයේ පළමු පියවරයි.