ජීවන අත්දැකීම් ඇසුරින් බුද්ධ වචනය වටහා ගන්න
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත,
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
"රාගයෙන් රත් වූ, එයින් මඩනා ලද, එයින් ගැවසීගත් සිත් ඇති තැනැත්තා තමාට අහිත පිණිස
සිතයි. අනුන්ට අහිත පිණිස සිතයි. තමන්ට මෙන්ම අන්‍යයන්ට ද අහිත පිණිස සිතයි. දුක්
දොම්නස් වින්දනය කරයි."
දිනක් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් හමුවූ ඡන්න නම් පරිබ්‍රාජකයා උන්වහන්සේ අමතා
“ඔබ වහන්සේ රාගයේ ආදීනව දැක එය ප්‍රහීණ කිරීමට උගන්වන්නේදැයි” විමසී ය. එයට
පිළිවදන් දෙමින් ආනන්ද තෙරුන් වහන්සේ තමන් වහන්සේ රාගයේ ආදිනව දැක දැන එහි ප්‍රහාණය
පනවන බව දේශනා කළහ.
අංගුත්තර නිකායේ තික නිපාත ආනන්ද වග්ගයේ ඇතුළත් පළමු සූත්‍රයෙහි පුද්ගල සන්තානගත
රාග, දෝස, මෝහ යන අකුසල සහගත චිත්තවේගයන්ගේ ක්‍රියාකාරී ස්වභාවය පියවර තුනක් යටතේ
ආනන්ද තෙරුන් වහන්සේ විසින් පැහැදිලි කරනු ලැබ තිබේ. ඒ අතුරින් රාගය පිළිබඳ පමණක්
මෙහිදි සාකච්ඡා කරනු ලැබේ. එම විවරණය ද්වේෂය හා මෝහය සම්බන්ධයෙන් ද පොදු ය. එබැවින්
නුවණැති පාඨකයාට එක් කරුණක් පමණක් ගෙනහැර දැක්වීම අවබෝධය පිණිස ප්‍රමාණවත් වේ.
බුද්ධ වචනය වටහා ගත යුත්තේ ජීවන අත්දැකීම් පාදක කරගනිමින් ය. දහම තම අත්දැකීම්
මගින් වටහා ගන්නා තරමට පංචකාම ලෝකයේ යථා ස්වභාවය දැක ප්‍රඥාවෙන් කළකිරීම ඇතිකරගත
හැකි ය.
රාගය අකුසල මුලයකි
ලෝභ නැතහොත් රාග යනුවෙන් හැඳීන්වෙන චිත්ත වේගය අකුසල මූලයකි. එමගින් නිපැයෙන්නේ
අකුසල චර්යාවන් ය. සිත පිරිසුදු කොට ප්‍රඥාව අවදිකරගැනීමෙහිලා එය සාකල්‍යයෙන් ම
බැහැර කිරීම අවශ්‍ය වේ. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේගේ පැහැදිලි කිරීමට
අනුව රාගය මට්ටම් තුනකින් ක්‍රියාත්මක වේ.
“රාගයෙන් රත් වූ (රත්තෝ) එයින් මඩනා ලද (අභිභූතෝ) එයින් ගැවසීගත් සිත් ඇති
(පරියාදින්නචිත්තො) තැනැත්තා තමාට අහිත පිණිස සිතයි. අනුන්ට අහිත පිණිස සිතයි.
තමන්ට මෙන්ම අන්‍යයන්ට ද අහිත පිණිස සිතයි. චේතසිකමය වූ දුක් දොම්නස් වින්දනය
කරයි.” මෙම පළමු විග්‍රහයේ ඇතුළත් වන්නේ පුද්ගල සන්තානගත රාගය අකුසල චෛතසිකයක් ලෙස
අභ්‍යන්තර මනස තුළ ක්‍රියාත්මක වන ආකාරයයි. රාගයෙන් සිත රත්වූ, එයින් මඩනා ලද
පුද්ගලයා තමාට අහිත පිණිස කල්පනා කරයි. අන්‍යයන්ට අහිත පිණිස කල්පනා කරයි. තමාට
මෙන් ම අන්‍යයන්ට ද අහිත පිණිස කල්පනා කරයි. එය ඔහුගේ රාගානුගත චින්තනයේ පළමු
ස්වභාවයයි. දෙවනුව ඒ හේතුවෙන් මානසිකව දුකට වේදනාවට පත්වෙයි. මේ සියල්ල සිදුවන්නේ
සන්තානගතව ය. ආනන්ද තෙරුන් විසින් රාගය පිළිබඳ කෙරෙන පළමු විවරණය සඳහා භාවිත කොට
ඇති “සිතයි (චෙතෙති)” යන්නෙන් එය තවදුරටත් පැහැදිලි වේ. මෙය වෙනත් ආකාරයකින් පසන්නේ
නම් පළමු කොටසින් අවධාරණය වන්නේ රාගයෙන් මැඩුණු පුද්ගලයාගේ සාමාන්‍ය මානසික
ස්වභාවයයි.
බාහිර ක්‍රියාකාරිත්වය
ආනන්ද තෙරුන්ගේ විවරණයේ එන දෙවැන්නට අනුව රාගයේ බාහිර ක්‍රියාකාරිත්වය පැහැදිලි වේ.
එනම් පුද්ගල මනසේ පවතින රාගය කායික වාචසික හා මානසික චර්යා මගින් ප්‍රකාශයට පත්වීම
හෙවත් එහි බලපෑම නිසා තිදොරින් ඊට අදාළ දුශ්චරිත වල නිරත වීමයි. “රාගයෙන් රත් වූ
(රත්තෝ) එයින් මඩනා ලද (අභිභූතෝ) එයින් ගැවසීගත් සිත් ඇති (පරියාදින්නචිත්තො)
තැනැත්තා කයින් දුශ්චරිත ක්‍රියාවල නිරතවෙයි. වචනයෙන් දුශ්චරිත ක්‍රියාවල නිරත
වෙයි. මනසින් දුශ්චරිත ක්‍රියාවල නිරත වෙයි”. මිනිසා විසින් සිදුකරනු ලබන ලිංගික
අපරාධ හා දුරාචාරය මේ සඳහා නිදසුන් කොට දැක්විය හැකි ය. බොහෝ කාම අපරාධ වලට මුල්වන
ප්‍රධානතම මානසික සාධකය ලිංගික රාගයයි. රාගය යනුවෙන් අදහස් වන්නේ ලිංගික කාමය
පමණක්ම නොවන බව මෙහිදි මතක තබා ගත යුතුවේ. රාගය යන්න බුද්ධවචනය තුළ යෙදී ඇත්තේ
අතිශය පුළුල් අර්ථයකින් ය. ලිංගික රාගය එහි එක් අංශයක් පමණි. සූත්‍රාගත විවරණය අනුව
දෙවැන්නෙන් අදහස් වන්නේ පුද්ගලයාගේ බාහිර චර්යාවයි. එයින් රාග නම් චිත්තවේගයේ බාහිර
ප්‍රකාශනය හෙවත් බාහිරව ප්‍රකට වීම පැහැදිලි වෙයි.
රාගය පිළිබඳ ආනන්ද තෙරුන්ගේ තෙවන විවරණය යථාවබෝධය හේවත් ප්‍රඥාව හා සම්බන්ධ වේ.
“රාගයෙන් රත් වූ (රත්තෝ) එයින් මඩනා ලද (අභිභූතෝ) එයින් ගැවසීගත් සිත් ඇති
(පරියාදින්නචිත්තො) තැනැත්තා ආත්මාර්ථය යථා පරිදි නොදකියි. පරාර්ථය යථාපරිදි
නොදකියි. උභයාර්ථය ම යථා පරදි නොදකියි (යථාභූතං නප්පජානාති). ඒ හෙයින් රාගය අන්ධ බව
ඇතිකරන්නේ ය. (රාගය අන්ධ ය). ප්‍රඥාව නැමැති ඇස යටපත් කරන්නේ ය. අනුවණ බව ඇතිකරන්නේ
ය. ප්‍රඥාව නැතිකරන්නේ ය. දුකට අයත් වන්නේ ය. නිවීම පිණිස හේතු නොවන්නේ ය.” යනුවෙන්
විවරණය කොට තිබේ. මේ අනුව රාගය පුද්ගලයාගේ යථාවබෝධයට මෙන්ම ප්‍රඥාවට බාධා
පමුණුවන්නකි. රාගයෙන් අන්ධ වූ පුද්ගලයාට යමක් සම්බන්ධයෙන් සත්‍ය හෝ ඇත්ත ස්වභාවය
නිවැරදිව හඳුනාගත නොහැකි ය. එයට හේතුව එම තැනැත්තා රාගය හේතුවෙන් අන්ධ වී ඇති
හෙයිනි. ඔහුගේ ප්‍රඥාව නැමැති ඇස නොපෙනෙන හෙයිනි. ප්‍රඥාව යටපත්කර ඇති හෙයිනි.
රාගයෙන් මුළාවී ඇති හෙයින් එවැන්නෙකුට දුක් දොම්නසින් යුක්තව කාලය ගෙවීමට සිදුව
තිබේ. රාගයෙන් රත් වූ කෙනෙකුට නිවීමක්, මිදීමක්, සිසිල් වීමක් අපේක්‍ෂා කළ නොහැකි
ය. මේ අනුව රාගය පිළිබඳ තෙවන විවරණයෙන් එය ප්‍රඥාවට බාධකයක් වන අයුරු, යාථාවබෝධය
වළක්වන අයුරු පැහැදිලිවේ.
මිදීමේ මඟ
මෙසේ රාගයේ ක්‍රියාකරිත්වය හා එහි ආදීනව මැනවින් දැන දැක එය ප්‍රහාණය කිරීමට උපදෙස්
දෙන බව ආනන්ද හිමියෝ පැවසූහ. ඉක්බිති ජන්න පරිබ්‍රාජකයා එයින් මිදෙන මග හා එයට අදාළ
ප්‍රතිපදාව කවරේදැයි ආනන්ද තෙරුන්ගෙන් විමසී ය. රාගයේ ක්‍රියාකාරී අවස්ථා තුන
විවරණය කළ ආනන්ද තෙරණුවෝ ඡන්න පරිබ්‍රාජකයාට එය ප්‍රහාණය කරන ඒකායන මාර්ගය හා
පිළිවෙත ලෙස දැක්වූයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එම පිළිවෙත අනුගමනය කිරීමෙන්
රාගයෙන් මිදිය හැකි බව සහතික කොට පැවසූහ.
මතුපිටින් සරල යැයි පෙණුන ද ආනන්ද තෙරුන්ගේ රාග, දෝස, මෝහ පිළිබඳ විවරණය අතිශය
ගැඹුරු මනෝවිද්‍යාත්මක පදනමකින් යුක්ත වේ. රාගය මට්ටම් තුනකින් ක්‍රියාත්මක වන
ආකාරය එයින් විවරණය කර තිබේ. පළමු මට්ටමෙන් රාගික පුද්ගලයාගේ අභ්‍යන්තර සිතිවිලි හා
අදහස්වල සාමාන්‍ය ස්වභාවය පැහැදිලි වේ. රාගයෙන් රත්වූ පුද්ගලයා සිතන ආකාරය එසේ නොවේ
යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි ය. රාගය හා සම්බන්ධ පංචකාම ලෝකයට අයත් වස්තුකාම හා
කිලෙස කාම තම සිතැඟි පරිද්දෙන් අත්පත් කරගත නොහැකි නිසා පුද්ගලයා මානසික ව දුකට
පත්වේ. තමා සිත් ගත් පංචකාම වස්තු දිනා ගැනීමේ අරගලයේ දි පුද්ගලයා අතිශය දරුණු හා
සැහැසි අයුරින් ක්‍රියාත්මක වන බව ඇතැම් කාම අපරාධ හා සම්බන්ධ සිදුවීම් පිටුපස ඇති
මානසික සාධක ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වේ.
පුද්ගල චර්යාව
පුද්ගල චර්යාව කෙරෙහි මනසේ ඇති බලපෑම මෙතරම් ගැඹුරින් විවරණය කර තිබෙන්නේ බුදු දහමේ
පමණි. එබැවින් එම විවරණය බටහිර ලෝකය මවිතයට පත්කිරීමට හේතුවී තිබේ. මනස පවිත්‍ර
කිරීමෙන් පුද්ගලයාගේ චර්යාව ද පිරිසිදු වන බවත්, මනස අපවිත්‍ර වීමෙන් පුද්ගල චර්යාව
දූෂිත වන බවත් බුදුරදුන්ගේ ඉගැන්වීමයි. ආනන්ද තෙරුන්ගේ අවසන් විවරණයෙන් පෙන්වා
දෙන්නේ රාගය ප්‍රඥාව යටපත් කරන ආකාරයයි. ප්‍රඥාව උදාකරගැනීම බුදුදහමේ අවසාන
අරමුණයි. එය මස්තකප්‍රාප්ත වන්නේ ආශ්‍රව ක්‍ෂය කිරීමෙන් ය. රාග, දෝස, මෝහ ආශ්‍රව
ධර්මයෝ ය. එයින් මිදුණු සිත ප්‍රඥාවේ ආලෝකයෙන් ආලෝකමත් වේ. බුදුරදුන් මෙන්ම රහතන්
වහන්සේලා ද එම ප්‍රඥාවේ ආලෝකය උදා කරගත් උතුමෝ වෙති. එම ආලෝකය උදාකරගත හැකි මාර්ගය
හා ප්‍රතිපදාව අරිඅටඟි මගයි. |