Print this Article


උත්සාහය හා කැපවීමට දෛවය ද වෙනස් කළ හැකියි

උත්සාහය හා කැපවීමට දෛවය ද වෙනස් කළ හැකියි

කවරයේ කතාව

එදා, භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර කෝමාරභච්ච ජීවක නම් රාජකීය වෛද්‍යවරයා පිදූ අඹ උයනේ. රජගහ නුවර මහධන සිටාණන්ගේ මුණුබුරු මහා පන්ථක සහ චුල්ල පන්ථක සොහොයුරන් දෙදෙනා සාසනයේ පැවිදි වුණා.

මහා පන්ථක සාමණේරයන් වහන්සේ බවුන් වඩා නොබෝ කලකින් ම මහ රහතන් වහන්සේ නමක් වුණා. එහෙත් චුල්ල පන්ථක සාමණේරයන් වහන්සේට සාර මසක් උත්සාහ කළත් එක් ගාථාවක් කට පාඩම් කර ගත නොහැකි වුණා.

“ඔබට නුවණ මදකම නිසා මහණකමින් නිසි ඵල ලබා ගැනීමට නොහැකියි. එ නිසා ආරාමයෙන් නික්ම නිවසට ගොස් ගිහිව ජීවත් වන්න” මහා පන්ථක තෙරණුවෝ පැවසුවා.

දුකට පත් ව, අසරණ ව ආරාමයෙන් පිටව යන සාමණේරයන් වහන්සේට මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ පිහිට වුණා. නැවත ආරාමයට කැඳවාගෙනවිත් උන් වහන්සේගේ සිතේ ස්වභාවය අනුව දිය යුතු කමටහනක් ලෙස සුදු රෙදි කඩක් දී ‘ රජෝ හරණං, රජෝ හරණං’ කියමින් පිරිමදින්නට කියා දුන්නා. පසුව අතේ දහඩියට කිළිටි වූ රෙදිකඩ මෙන් සිත අපිරිසුදු වන බව නුවණින් මෙනෙහි කළ චුල්ලපන්ථක සාමණේරයන් සිවු පිළි සිඹියාපත් රහතන් වහ්නසේ නමක් වුණා. ඒ බව දම් සභාවේ භික්‍ෂූන් අතර කතාබහට ලක් වුණා. භාග්‍යවතුන් වහන්සේ මෙම කතා පුවත මූලික කරගෙන චුල්ලපන්ථක තෙරුණ් අරභයා මෙම ජාතක කතාව දේශනා කළා.

බරණැස් නුවර බ්‍රහ්ම දත්ත රාජ සමයේ අප මහා බෝසතාණෝ සිටු පවුලක ඉපිද ‘චුල්ලසෙට්ඨි’ නමින් ප්‍රසිද්ධ ධනවතෙක් වුණා. ඔහු ඉතා නුවණැති, ව්‍යක්ත, සියලු නිමිති දන්නා කෙනෙක්. දවසක් රාජ සේවයට

යන අතරතුර පාරේ වැටී සිටි මළ මී කුණක් දැක, ඒ මොහොතේ පිහිටි ග්‍රහ තාරකා අනුව නැකැත් විමසා බලා “ නුවණැති උත්සහවත් යම් කෙනෙකුන් මේ මී කුණ ලදොත් ඔහුට මහා පෝසතෙකු විය හැකි” බව පැවසුවා. ඒ බස් අසා සිටි දුගී මිනිසෙක් මී කුණ විකුණා මුදලක් උපයා පොහොසතෙක් වන්නට සිතුවා. මළ මීයාත් අරගෙන විකිණීමට තැනක් සොයමින් යන අතර බළලෙක් ඇති කරන කඩයක් දැක මී කුණ දී වී ඇට දෙක හමාරක මුදලක් ලබුවා. මොහු සැමවිටම දියුණු වන්නට උපායන් සිතමින් නුවණ මෙහෙයවා කල්පනාවෙන් වැඩ කළා.

ඉන් පසුව එම මුදලින් උක් සකුරුත්, වතුර කළයක වතුරත් ගෙන ගොස් මහන්සි වී මල් කඩාගෙන නුවරට ගෙන එන අයට මඟ හිඳ සංග්‍රහ කළා. සතුටට පත් මල් මාලාකාරයින් මල් මිට මිට දී ගියා. ඒවා විකුණා ගත් මුදලිනුත් දෙවන දවසේ උක් සකුරුත්, වතුරත් ගෙන මල් උයනටම ගොස් මල් කඩන මිනිසුන්ට දුන්නා. සතුටු සිත් ඇති මල්කාරීන් ගස්වල මල් භාගයක් කඩා ගෙන භාගයක් ඉතිරි කොට ගියා. ඒ මල් විකුණා කහවනු අටක මුදලක් ලැබුවා. කිහිප දිනක්ම මෙලෙස මුදල් ඉපැයුවා.

එක් මහා වැසි සුළං දවසක රාජ උද්‍යානයේ ගස්වල කොළ හා අතු කඩා වැටුණා. ඒවා ඉවත් කරන්නට අපොහොසත් වුණ උයන් පල්ලා ළඟට ගොස් “ මිත්‍රය මේ උයනේ වැටුණු ගස් හා අතු මට දෙන්නේ නම් මේ සියල්ල ඉවත් කොට පිරිසුදු කර දෙන්නෙමි.” කියා සිටියා. උයන් පල්ලාත් “එසේ නම් මෙය පිරිසුදු කොට දර ගනුව ” යි කැමැත්ත දුන්නා. පසුව ළමුන් සෙල්ලම් කරන පිට්ටනියකට උක් සකුරුයි පැනුයි ගෙන ගොස් සෙල්ලම් කරන ළමුන්ට දී සිත් දිනා ගත්තා. ඔවුන් ද කළ උපකාරයට සරිලන්නට උයනට විත් සුළඟට වැටුණු අතු ඉති සියල්ල ඉවතලා පිරිසිදු කොට දර ටික උයන් දොරටුව ළග ගොඩ ගැසුවා. පසු ව දර සොයා ආ රජ ගෙදර කුඹල් කරුවකුට එම දර විකුණා සොළොස් කහවනුවක් සහ වළං පන්සියයකුත් ලැබුවා. එම වළං ද විකිණීමෙන් සූවිස්සක ධනයක් ඉපැයුවා.

ටික දිනකින් ඔහු තවත් උපායක් කල්පනා කරන්නේ නුවර දොරටුව කිට්ටුවම එක් පැන් සලක් සාදා ගෙන තණ කොළ කපා ගෙන එන පන්සියයක් පුරුෂයන්ට පිපාසෙට පැන් වත්කොට දුන්නා. ඒ මිනිසුත්,

‘මිත්‍රය ඔබ අපේ පිපාසය දුරු කර බොහෝ උපකාර කළා. අපෙන් උවමනා උදවුවක් ඇත්නම් කියව. අපි එය ඉටු කරන්නෙමු. ” කීවා.

“දැන්ම උවමනාවෙක් නැත. අවශ්‍යතාවක් පැමිණි කළ ඔබ සොයා එන්නෙමි. එවිට කළ මනා උදව්වක් කරන්න.” උපාය දන්නා වූ චුල්ලන්තේවාසික කීවා.

ගොඩ වෙළෙඳුන් මෙන්ම මුහුදු වෙළෙඳුන් ද හිතවත් කර ගන්නට නොබෝ කලකින් ම ඔහු සමත් වුණා. දිනක් වෙළෙඳ නායකයාගෙන් “හෙට අශ්ව වෙළෙන්ඳෙකු පන්සියයක් අසුන් ගෙන වෙළඳාමේ එනවා” යි යන බස අසන්නට ලැබුණා. එය ඇසු ඔහු වහා තණ ගෙන එන්නවුන් සොයා ගොස් කියන්නේ

‘යහළුවෙනි, අද මට ඔබලාගෙන් තණ මිටිය මිටිය ලබා දෙන්න. මා තණ විකුණන තෙක් නුඹලා තණ මිටි නොවිකුණන්න. ’ ‘ යහපතැ’යී ඔවුන් පොරොන්දු කරවා ගත්තා. ඒ අනුව අශ්ව වෙළෙන්දා තණ කොළ සොයා ගත නොහැකි ව මේ චුල්ලන්තේවාසිකගෙන් දහසක් කහවනු ගෙවා තණ ලබා ගත්තා.

අනතුරුව කිහිප දිනක් ගිය පසු ‘නැවු තොටට වෙළඳාම් සඳහා බඩු පැටවූ වෙළෙඳ නැවක් පැමිණ ඇතැ’යි සමුද්‍ර යහළුවකු පැවසුවා. එ බස් අසා කිහිපදෙනෙක් රැගත් රථයෙකින් තොටට ගොස් නැව් හිමිට පෙරැස් මුද්දක් අත්තිකාරම් ලෙස තබා නැවේ බඩු තමාගේ අවසරයකින් තොරව නොවිකුණන ලෙස ගිවිස්සා ගත්තා. නුවරින් පැමිණි සිය ගණන් වෙළෙන්ඳන්ට නැවෙන් බඩු ගන්නට නොහැකිව චුල්ලන්තේවාසිකට කහවනු දහස බැගින් දී අවසර ලබා බඩු ගන්නට සිදු වුණා. එයින් දෙලක්‍ෂයක කහවනු උපයා ගත හැකි වුණා. ටික දවසකින් ම තමාගේ උපායෙන් නුවණ මෙහෙයවා මහත් ධනවතෙක් වන්නට හැකියාව ලැබුණා.

පසුව තමාට මෙසේ මහා ධනවතෙක් වන්නට මඟ පෑදූ චුල්ලසිටුවරයා සොයා ගොස් විස්තර කියා කළගුණ දක්වා සිටිමින් ගුරු පඬුරු ලෙස මහත් පසුම්බියක් දුන්නා. චුල්ල සිටාණන් ඔහුගේ දක්‍ෂකම අසා පැහැදී සතුටට පත්ව තම දියණිය ද විවාහ කර දී තමාගේ මහා බූදලයට අයිතිකාරයා කළා.

“ඕනම ජීවිතයක දෛවය වෙනස් කරන්නට තමාගේ උත්සාහයට සහ නුවණට හැකියාව තියෙනවා. නුවණැත්තන්ගේ බස් පිළිපැදීම තුළකාටත් මඟ නොවැරදිව යා හැකියි. අප හැම විට ම ගුරු දෙගුරුන්ගේ නුවණැති බස් පිළිගෙන අනාගත අභිවෘද්ධිය සලසා ගනිමු.”

මෙහි ‘එදා දුප්පත් ව ඉපිද, පසුව පෝසත් වු පුරුෂයා මෙකල චුල්ලපන්ථක තෙරණුවෝයි. ඔහුට පොහොසත් වන්නට මඟ පෑදු චුල්ල සිටාණෝ නම් මෙකල බුදු වූ මම් ම වේ ය’ යි භාග්‍යවතුන් වහන්සේ පෙර අපර සන්ධි ගලපා වදාළ සේක.