Print this Article


බෝසත් දරුවන්ට : හෙළ ජාතික අභිමානය

හෙළ ජාතික අභිමානය

ශ්‍රී ලංකා ධරණීතලය අපේ නිජබිමයි. ඉතිහාසයේ සිටම මේ රට බොහෝ ආක්‍රමණයන්ට ගොදුරු වුණා. රට, ජාතිය, ආගම රැක ගන්නට අපේ මුතුන් මිත්තන් බොහෝ කැප කිරීම් කළා. ජීවිත පරිත්‍යාග කළා. එසේ ආරක්ෂා කර දුන් අපේ රට, අපේකම රැක ගැනීමේ වගකීම පැවරෙන්නේ අපටයි. එය පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම පැවරෙන යුතුකමක්. වගකීමක්. කවර හේතුවක් නිසාවත් ඒ යුතුකම්, වගකීම්වලින් මඟ හැර සිටින්නට පුළුවන් කමක් නෑ.

අතීතයේ අපේ මාතෘ භූමියට හිමිව තිබුණ තැන මොන වගේ ද? දැන් හිමි වී තිබෙන තැන මොන වගේ ද? මේ පින්වත් දරුවන් ඉන්නේ මොනවගේ තැනක ද? මෙතැනින් ඉදිරියට අප විසින් සිදු කළ යුත්තේ මොනවා ද? මේ ගැන හොඳින් දැනුම්වත් වෙන්නට ඕනෑ.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන්නේ අපේ මේ පුංචි රටට කියලා අප හැමෝම දන්නවා. ඉන්දියන් සාගරයේ පමණක් නොවෙයි. සප්ත මහා සාගරයේ ම, මේ මුළු මහත් ලෝකයේ ම තිබෙන වටිනා ම රට මේ ලංකා ධරණීතලයයි.

දරුවනේ, වෙළඳ ව්‍යාපාර සඳහා මධ්‍යස්ථානයක් ලෙස මුළු ලෝකයට ම භාවිත කළ හැකි සුදුසු ම ස්ථානය පිහිටා තිබෙන්නේ අපේ රටේ යි. මුහුදු ගමන් මාර්ගවල දී නැව්වලට ඉන්ධන ලබා ගැනීමට, නාවිකයන්ට ගිමන් නිවා ගන්නට පුළුවන් සේද මාවතේ ඉතා ම වැදගත් සන්ධිස්ථානයක තමයි අපේ රට පිහිටා තිබෙන්නේ.

දරුවනේ, හෙළයින්ට තිබෙන්නේ ඉතා දිගු ප්‍රෞඪ ඉතිහාසයක්. ඉතිහාසයේ මේ රට අල්ලා ගන්නට, යටත් කර ගන්නට මොන තරම් ආක්‍රමණ සිදු වුණත්, යුද ගැටුම් ඇති වුණත් අපේ මුතුන් මිත්තන් මේ රට දිවි හිමියෙන් ආරක්ෂා කර ගත්තා. ඒ වගේ ම රට සශ්‍රීක කළා. ඒ හැම දේටම ඔවුන්ට ශක්තියක් වුණේ සම්බුදු දහමයි. සම්බුදු දහමේ ආභාෂයත් සමඟ හෙළ දීපය මහා ශක්ති සම්පන්න වුණා. ලෝකයටම පරමාදර්ශය සපයන රටක් බවට පත්වුණා.

ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් නොවෙයි මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, සතර බුදුවරයන් වහන්සේම ලක් දෙරණට වැඩම කළා.

දරුවනේ, අපේ මුතුන් මිත්තන් තුළ අසමඟිකම් තිබුණේ නෑ. භේද භින්න වුණේ නෑ. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, විචිකිච්ඡාව වගේ හැඟීම්වලින් සිත් අපිරිසුදු කර ගත්තේ නෑ. ධාර්මිකයි. සාමකාමියි.

ඒ වගේම අපේ ශ්‍රේෂ්ඨ රජවරු දසරාජ ධර්මයට අනුව රට පාලනය කළා. සම්බුදු දහම පණ වගේ ආරක්ෂා කළා. දානයෙන්, පි‍්‍රය වචනයෙන්, සමානාත්මතාවෙන්, අර්ථ චර්යාවෙන් ජනතාවට සංග්‍රහ කළා. අපේ දුටුගැමුණු මහ රජතුමා, එළාර රජු පරාජයට පත් කළ පසු ඔහු වෙනුවෙන් සෑයක් ඉදි කළා. ඒ දෙමළ ජනතාවට ගරු බුහුමන් කිරීම උදෙසායි. රජතුමා පවා ඒ අසලින් ගිය මොහොතක ඊට ගරු කරලයි පිටව ගියේ. එතරම් සමානාත්මතාවයක් තිබුණා. ඉතින් රට වැසියන් තුළ රජවරු කෙරෙහි ලොකු විශ්වාසයක් තිබුණා.

ඒ වගේම අපේ මාතෘ භූමියට හොඳ ආර්ථික වැඩ පිළිවෙළක් තිබුණා. රට සහලින් ස්වයංපෝෂිත වුණා. ගස්වැල් ඵල බර වුණා. නෑ කියන්න දෙයක් තිබුණේ නෑ. හැම ගෙවත්තක් ම වගා කළා. ලුණු කැටය පිටරටින් ගෙන එනතුරු බලා සිටියේ නෑ. අපේ මුතුන් මිත්තන් අපේ දෙය අගය කළා. අපේකම රැක ගන්නට වෙහෙස වී වැඩ කළා. පිටරට සිරිතට ගැති වුණේ නෑ.

ඒ වගේ ම අපට විශිෂ්ට තාක්ෂණයක් තිබුණා. මීට වසර හතළිස් දහසකට එහා අපේ රටේ ඉතා දියුණු දුනු, ඊතල භාවිත කළ බවට පසුගියදා පාහියන්ගල දී සොයා ගත්තා. රාවණා රජුගේ ඉතිහාසයට ගියත්, දඬු මොනර යන්ත්‍රය නිෂ්පාදනය කරන්නට තරම් දියුණු තාක්ෂණයක් තිබුණා. අදටත් විදේශිකයන් පවා මවිත කරන දියුණු තාක්ෂණයෙන් යුතු වෙහෙර විහාර, හෙළ කලා ශිල්ප, වාරි තාක්ෂණය අපට ඉතිහාසයෙන් උරුම ව තිබෙනවා.

දරුවන් අසා තිබෙනවාද? ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටා තිබෙන අටකලන්පන්න ගම ගැන. ඒ ගමට නම හැදුණේ ඒ කාලයේ ආරක්ෂාවට ආයුධ අටක් සැදු නිසයි. අටකලන්පන්න ගමට ආසන්න ව විශාල ගල් කුහරයක් පිහිටා තිබෙනවා. ස්වභාවික ව හමා එන සුළඟින් යකඩ රත් කිරීමට, යකඩ උණු කිරීමට ගිනි දල්වා ගැනීමට එහි දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිත කළ බවට අදටත් සාධක තිබෙනවා.

ඒ වගේ ම අපට හොඳ හෙළ වෙදකමක් තිබුණා. අද තිබෙන්නේ ඒ හෙළ වෙදකම නොවෙයි. ආයුර්වේද වෙදකම. එය උතුරු ඉන්දියාවෙන් ආ ක්‍රමවේදයක්. ඊළඟට තිබෙනවා සිද්ධායුර්වේද කියලා දකුණු ඉන්දියාවෙන් ආ ක්‍රමවේදයක්. අපේ වෙදකම කියන්නේ හෙළ වෙදකමයි. දරුවනේ, ඌව, වෙල්ලස්ස කැරැල්ල කාලයේ දී හෙළ වෙදකම දන්නා වෛද්‍යවරු හැම දෙනාම වාගේ මියගියා. හෙළ වෙදකම ඉගෙන ගන්නේ භාවනා කරලා. ඒ භාවනාවලින් ලැබෙන සංඥා උපයෝගී කරගෙනයි. අපේ ඒ මුතුන් මිත්තන් තමන් උගත් හෙළ වෙදකම ගැන පුස්කොළ පොත්වල ලියා තැබුවා. සුදු අධිරාජ්‍යවාදීන් ලංකාවෙන් යන විට ලංකාවේ තිබූ වටිනා දේ නැව් මගින් බ්‍රිතාන්‍යයට ගෙන ගියා. එසේ ගෙන ගිය නැවක තිබූ පුස්කොළ පොත්වල නාමාවලියක් හමු වී තිබෙනවා. එහි වෙළුම් දොළහක් අන්තර්ගතයි. සාමාන්‍යයෙන් කෙනෙකුට ඔසවන්නට පවා අපහසුයි. දරුවනේ, නාමාවලිය පමණක් එවැනි තත්ත්වයක නම් අපට අහිමි වුණු වටිනා පුස්කොළ පොත් ප්‍රමාණය මොන තරම් වන්නට ඇති ද? ඉතින් අපේ හෙළ වෙදවරු මිය ගියා. ඔවුන් ලියා තිබූ පොත් අපට අහිමි වුණා. ඒ පොත්වලින් ඉගෙන ගන්නට සිටිය පරම්පරාවේ අයට ඉගෙන ගන්න නොහැකි වුණා.

පසුගිය දිනවල කොරෝනා වයිරසය හමුවේ අප මොනවද භාවිත කළේ. ආයුර්වේද ක්‍රම නොවේ. බටහිර වෛද්‍ය ක්‍රමවේදයත් නොවේ. හෙළ වෙදකමයි. අප කොත්තමල්ලි වතුර පානය කළා. නිවෙස්වල කොහොඹ අතු එල්ලුවා. කහ දියර ඉසිමින් විෂබීජහරණය කළා. මේ ක්‍රමවේද අතීතයේ සිටම අපේ මුතුන් මිත්තන් භාවිත කළා. කොරෝනා වගේ වයිරසයන්ට පමණක් නොවෙයි. වෙනත් බරපතළ තත්ත්වයන්ට පවා මුහුණ දෙන්නට හැකි වෛද්‍ය ක්‍රම තිබුණා.

පුංචි ඔබ අනාගතයේ වැඩිහිටියන් බවට පත්වෙනවා. අපට උරුම, අපේ දේ සොයා ගොස්, අධ්‍යයනය කොට ඒවා රැක ගන්නට උත්සාහ කළොත් ඔබත් රටට ණය නොවන පුරවැසියෙක් බවට පත්වෙනවා.

කලින් කලට අපේ රට ආක්‍රමණය කළ පිරිස් අපගේ ප්‍රෞඪ ඉතිහාසය මකා දමන්නට උත්සාහ කළා. අපේ පොත් පත් අපට අහිමි කළා. ඒවායේ තිබූ දේ ඉගෙන ගැනීම අහිමි කළා. අලුතින් පොත පත ලියවුණා. ඒවාට විෂය නිර්දේශය ඇතුළත් කළා. අධ්‍යාපන ක්‍රමය කියලා.

දරුවනේ, හෙළයන්ට අධ්‍යාපන ක්‍රමයක් තිබුණේ නෑ.

‘කුසල් කියන වචනයට මුලින් ‘අ’ යොදන්න. අකුසල් වෙනවා.’

‘පිරිසුදු’ කියන වචනයට මුලින් ‘අ’ යොදන්න. ‘අපිරිසුදු’ වෙනවා.

‘ධ්‍යාන’ කියන වචනයට මුලින් ‘අ’ යොදන්න. අධ්‍යාන වෙනවා. මෙයයි අපේ ‘අධ්‍යාපන’ ක්‍රමය. දරුවනේ හෙළයන්ට තිබුණේ ධ්‍යාන වැඩීමෙන් ඉගෙන ගන්නා ක්‍රමවේදයක්. භාවනා කර, මානසික ශක්තියක් ඇති කරගෙන, ගුරුවරයා ඉදිරියේ හොඳින් දහරමණ්ඩිය ගොතාගෙන භාවනානුයෝගී ව ඉගෙන ගන්න ක්‍රමවේදයක්. ඒ තුළ ශිල්පය හොඳින් ධාරණය වුණා. මතක සිටියා. අද වගේ සටහන් ලීවේ නෑ. පරිගණකවලට අන්තර්ගත කළේ නෑ.

මානසික ශක්තීන් සමඟ, ධ්‍යාන වැඩීමෙනුයි ඉගෙනුම ලැබුවේ. ත්‍රිපිටකය කියන්නේ අසූහාර දහසක් වූ ශ්‍රී සද්ධර්මය වන අතර, මේ ධර්මස්කන්ධයම කට පාඩමින් අරගෙන ආවේ.

අතීතයේ අපේ ඉගෙනීම් ක්‍රියාවලිය තිබුණේ පන්සලත් සමඟ. පාසල තිබුණේ පන්සලේ. දහම් පාසල තිබුණේ පන්සලේ. ගමේ සමිති සමාගම් තිබුණේ පන්සලේ. මෙරට ආක්‍රමණය කළ පිරිස් ඒ සියල්ල විනාශ කළා. ඔවුන් ගම, පන්සලෙන් දුරස් කළා. ඇයි? අපේ මිනිසුන්ට හිතන්නට පුරුදු කළේ පන්සලෙන් නිසා. එය නැති කළ විට අධිරාජ්‍යවාදීන්ට ඔවුන්ගේ අදහස් උදහස්වලින් අපේ හිස පුරවන්නට පහසු වුණා.

ඉස්සර හැම දරුවෙකුටම අරමුණක් තිබුණා. අනාගතයේ මම මේ වගේ කෙනෙක් වෙනවා කියලා. ඒත් අද සාමාන්‍යපෙළ, උසස් පෙළ කරන කාලය වන විට දරුවන්ට අරමුණක් නෑ. කවුරු වේවිද කියලා. ඇයි? අධ්‍යාපන ක්‍රමවේදයේ හැටි. කිසිදු අරමුණකට යන්න දෙන්නේ නෑ.

පැරැණියේ අපේ පුංචි දරුවො නින්දට ගියේ කිරි අම්මා කිරි අත්තා ළඟයි. (ආච්චි - සීයා) ඉතින් මුනුබුරු මිනිබිරියන්ට නින්ද යන තුරු මේ දෙන්නා කතාන්දර කියා දුන්නා. ඒ කතාවල සිටියේ දුටුගැමුණු මහ රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා, මහසෙන් රජතුමා ආදී වීරවරු. ඉතින් දරුවන් නින්දට ගියේ ප්‍රෞඪ ඉතිහාසයක් තුළ සිතින් සැරිසරමින්. උදයට නැගිටින්නේ මම දුටුගැමුණු වගේ රජ කෙනෙක් වෙමි, අනගාරික ධර්මපාලතුමා වගේ කෙනෙක් වෙමි වැනි අරමුණුවලින් හිස පුරවාගෙනයි.

ඒත් අද දරුවන්ගේ සිත්තුළ ඉන්නේ ස්පයිඩර් මෑන්ලා, සුපර් මෑන්ලා. වැනි කාඩ්බෝඩ් වීරවරු. මේ තමයි අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රතිඵල. සිතලා වැඩ කරන්නට පුළුවන් කිසිම කෙනෙක් මේ අධ්‍යාපන රටාව තුළ අපට ලැබෙන්නේ නෑ. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් ධ්‍යාන වඩා ඉගෙන ගන්නා ක්‍රමවේදයක් හදාගත යුතු වෙනවා.

ඒ සඳහා අවශ්‍ය ශක්තිය, සාධක අපට ඕනෑ තරම් තිබෙනවා. අපි අපේ ඉතිහාසය සොයා යමු. ඉතිහාසයෙන් ඉගෙන ගනිමු. අපේ රට, අපේ දැය, සම්බුදු දහම සුරකින දරු පිරිසක් වන්නට අධිෂ්ඨාන කර ගනිමු. අප ඉදිරි බුදුසරණ කලාපයන් තුළින් ඒ ගමන් මග ගැන කතා කරනවා.