පොසොන් අව අටවක 2020.06.13
දේව දූතයා
මිනිසා මෙහෙයවන, මිනිසා අතරම සිටින දේව දූතයන් තිදෙනෙක් පිළිබඳ ව සම්බුදු දහමේ
සඳහන් ය. සිතින්, කයින්, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙන්නෝ මරණින් මතු නිරයෙහි
උපදින්නෝ ය. එවැන්නෝ නිරය පාලයන් විසින් අල්ලාගෙන ගොස් එක් එක් අයෙක් බැගින් යම
රජුට ඉදිරිපත් කරති.
මේ මිනිසා මවට අහිත වූවෙකි. පියාට අහිත වූවෙකි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අහිත වූවෙකි.
කුල දෙටුවන් නොපිදූවෙකි. එහෙයින් දඬුවම් නියම කරන ලෙස දන්වති.
යම රජු විසින් ඒ අපාගත වූ පුද්ගලයාට දේවදූතයන් පිළිබඳව සිහි කරනු ලබන්නේ එවිට ය.
එහිදී දෙවැනි දේව දූතයා සිහි ගන්වන අවස්ථාවේ, මිනිසුන් අතර දෙවැනි දේවදූතයා පහළ ව
සිටි බව ඔබ නොදුටුවෙහි දැයි යම රජු විමසයි.
අපාගත පුද්ගලයාගේ පිළිතුර නොදුටු බව ය. ඒ අසන යම රජු නැවත අසන්නේ, මිනිසුන් අතර
රෝගාතුර වූ, දුකට පත්, දෑස් ගිලන් වූ, සිය මළ මුත්‍ර ගොඩෙහි ම වැටී නිදන, අනුන්
විසින් ඔසවා තබනා ගැහැනියක හෝ පිරිමියෙකු නොදුටුවේ ද යනුවෙනි.
එවිට ඒ අපායගාමියා දුටු බව පවසයි.
නැවතත් යම රජු අසන්නේ තමන්ට ද රෝගාබාධයන්ගෙන් ගැලවී සිටීමට නොහැකි බව දැන සිතින්,
කයින්, වචනයෙන් කුසල් කළ යුතු යැයි නොසිතුණේ ද යනුවෙනි. පිළිතුර තමන් ඊට පමා වූ
බවයි.
එවිට යම රජු ඒ අපාගාමියාට දඬුවම් පමුණුවන්නේ මේ පාප කර්ම ඔබගේ මව හෝ පියා විසින් හෝ
සොයුරු සොයුරියන්, යහළු මිත්‍රයන් විසින් ආදි අනුන් විසින් කරන ලද දේ නොවන බවත්.
තමන් විසින් ම කරන ලද බවත්, විපාක ද තමන් විසින් ම විඳිය යුතු බවත් ය.
වර්තමානයේ ලෝකය ම භීතියට පත් කරමින් තවමත් පැතිර යන, ලක්ෂ ගණනින් මිනිසුන් රෝගාතුර
කරන දැඩි පීඩාවට, අසරණ බවට ලක්කරන, ලක්ෂ ගණනින් මිනිසුන් මියයන භයානක කොරෝනා වයිරසය
ද අපට උගන්වන්නේ ජීවිතයේ යථාර්ථය පිළිබඳ පාඩම නොවන්නේ ද? මොන තරම් සුරංගනා ලෝකවල
ජීවත් වුව ද, මොන තරම් ලෝකයන් තනාගෙන සිටිය ද මේ අපට මිහිපිට දීම දකිමින්, අත්
විඳින්නට හැකි ධර්මතාවකි. මේ ව්‍යාධිය දේව දූතයෙකි. ඒ දේවදූතයා අපට බලා හැදෙන්නට
ඉඟි කරයි. බල කරයි. රෝග පීඩාදිය, මරණය හැමට පොදු ය. ගැලවිය නොහැකි ය. බෞද්ධයන් ලෙස
අපි සසරින් මතු ජීවිතය විශ්වාස කරමු. අප පින් දහම් කරන්නේ, කුසල් දහම් වඩන්නේ දෙලොව
සුගතිය පිණිස ය.
එහෙත් අප බොහෝ දෙනෙකුට වැරදුණ තැන් බොහෝ බව තම තමන්ට ම අවංක ව මොහොතකට හෝ
විමසුවහොත්, එය සාවද්‍ය නොවේ.
සිත පුරා බුර බුරා නැගෙන ලෝභ, ද්වේෂ, මෝහා දී අකුසල සිතිවිලි විවිධාකාරයෙන්
ක්‍රියාවට නැඟීම නිසා අප මොනතරම් නම් පාප කර්ම සිදු කර ගන්නවාද? තමන් කරන කියන
දැයෙහි අයහපත අනුන්ට යැයි සිතුව ද, ආපසු හඹා එන්නේ තමන් වෙතට ම ය. බුදු දහම අපට
උගන්වන්නේ මිතුරුකම යි. මිතුරුකම තුළ ද්‍රෝහී බව පහව යයි. ඒ තුළ අනුන් පැරදවීමේ,
අනුන්ට වින කිරීමේ, හිංසා පිඩා කිරීමේ සිතිවිලි සමනය වෙයි. සාමය උදාවෙයි.
සම්බුද්ධ දේශනාවෙන් අපට අවධාරණය කරන්නේ අපගේ දෑත් සාමයට, සමගියට, මිතුරුකමට දිගු කළ
යුතු බව ය. දුර්ගුණ වැඩිවන තරමට සොබාදහම පවා මිනිසාට එරෙහි වෙයි. අද අප අත්විඳින
කොරෝනා වයිරසය ඊට හොඳම උදාහරණය දෙයි.
ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්නට මේ හොඳම අවස්ථාවයි. මෙත් සිසිලෙන් ලොව නැහැවූ සම්බුදු
හිමි දෙසූ දහම් මග යමින් මෛත්‍රීය සිතිවිලි වර්ධනය කර ගනිමු.
දෙලොව වැඩ සලසා ගනිමු. |