Print this Article


ජීවිතය සරසන බුදුදහමේ සතුට උගනිමු

ජීවිතය සරසන බුදුදහමේ සතුට උගනිමු

ලොව උපත ලබන මනුෂ්‍යයා උපතින් ම සැපයට කැමතිවෙයි. සතුටට කැමැති වෙයි. මවගේ උණුහුම අහිමිවන දරුවා හඬා වැළපෙන්නේ ඇගේ සැපය දරුවා කැමති වන බැවිනි. ක්‍රමයෙන් වැඩිවියට පත්වන විට අවශ්‍යතා අනුව සැපය සහ සතුට සමීප කර ගැනීමට ඔහු හෝ ඇය විවිධ ක්‍රම උපයෝගී කර ගනියි. සැපයේ විරුද්ධ පදය දුකයි. සතුටේ විරුද්ධ පදය අසතුටයි.

සතුට යනු මානසික සැනසීමයි. සෑහීමයි. අද පවතින සතුට හෙට නොපවතියි. අද පවතින දුක හෙට නොපවතියි. සතුට නිතරම මිනිසාගේ මනසේ වෙනස්වීම්වලට හසුවෙයි. වෙනස්වීමේ ස්වභාවය අවබෝධකර ගැනීමම සතුට පවත්වා ගැනීමට උපකාර වෙයි. බුදුදහමට අනුව සතුටෙහි ප්‍රභේද දෙකකි. පළමු කොටස භෞතික ලෝකය නියෝජනය කරන බැවින් ලෞකික සතුට ලෙසත්, දෙවැනි කොටස ලෝකෝත්තර සතුට ලෙසත් හඳුන්වා දෙයි. ලෞකික සතුට වෙනස්වීම්වලට හසුවෙයි. ලෝකෝත්තර සතුට නොවෙනස්, ස්ථිර දෙයක් වන අතර, එය නිවන අරමුණු කරගත්තෙකි. බෞද්ධයාගේ ආපේක්ෂාව විය යුත්තේ ලෞකික සතුට ළඟා කර ගැනීම නොව ලෝකෝත්තර සතුට ළඟා කර ගැනීමට ය.

එහෙත් අඹුදරුවන් පෝෂණය කරමින් ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයාට එය ලබා ගැනීමට සැලකිය යුතු කාලයක් සසරෙහි ගමන් කිරීමට සිදුවෙයි. සසර කෙටිකර ගැනීමට නිසැකවම සතුට පුරුදු කළ යුතු ය. භෞතික ලෝකයේ හමුවන පංචකාමය පෙරටු කරගත් ලෞකික සතුට ක්‍රම දෙකකින් සමාජයේ බොහෝ පිරිසක් භුක්ති විඳින අයුරු පෙනෙයි. පළමු කොටස යහපත් ක්‍රියා සිදු කිරීමෙන් ලබා ගන්නා සතුටයි. මෙය කුසලය, පින, පුණ්‍ය ක්‍රියාව ලෙස හැඳින් වුව ද එහි වරදක් නොමැත. දෙවැනි කොටස අයහපත් ක්‍රියා සිදු කරමින් ලබා ගන්නා සතුටයි. මෙය අයහපත් ක්‍රියා ලෙස සරල ව හැඳින්විය හැකියි.

යහපත් සහ අයහපත් සිතුවිලි පෙරටු කරගනිමින් ලොව උපන් මිනිසා භෞතික ලෝකයේ සතුට ලැබීමට විවිධ මාර්ග තෝරා ගනියි. ඇතැමෙක් උසස් විභාග සමත් කිරීමෙන් සතුට ලබයි.

තවත් අයෙක් කසාද බැඳීමෙන්, දරුසම්පත් ලැබීමෙන්, යානවාහන ලබාගැනීමෙන්, විශාල මන්දිර හෝ අධි සුඛෝපභෝගී නිවාස ඉදිකරගැනීමෙන්, වස්ත්‍රාභරණ ලබා ගැනීමෙන්, ප්‍රණීත ආහාරපාන ලබාගැනීමෙන්, නිදාගැනීමෙන්, පොත්පත් කියවීමෙන්, ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීමෙන්, සුරාවට සහ සූදුවට ඇබ්බැහිවීමෙන්, අනුන්ට පීඩා කිරීමෙන් සහ හිංසා කිරීමෙන් මෙන් ම අපහාසයට සහ උපහාසයට ලක්කිරීමෙන්, අනවිණ, කොඩිවිණ කිරීමෙන්, නිලතලවලට සහ බලයට පත්වීමෙන්, දේශපාලනය කිරීමෙන් පිරිවර ජනයා වැඩි කරගැනීමෙන් ප්‍රසිද්ධවීමෙන්, විනෝද ගමන් යාමෙන්, රට රටවල සංචාරය කිරීමෙන්, ගීත ඇසීමෙන් චිත්‍රපට නැරඹීමෙන් අන්තර්ජාලය සහ විද්‍යුත් මාධ්‍ය භාවිත කිරීමෙන් වැනි ක්‍රම මගින් සතුට සෙවීමට කාම ලෝකයේ අප සැවොම කුමන හෝ කරුණකට හෝ කරුණු කිහිපයකට හෝ විශාල ප්‍රමාණයකට සම්බන්ධ වෙමින් ජීවත්වන බව පිළිගත යුතු ය. මොහොතින් තමා සතු එම සතුට අහිමි වී යා හැකි ය. එවිට මානසික ව විඳවන අතර එය අසතුට නමින් හඳුන්වයි. ඇතැම්වි අධික මානසික පීඩන ඇතිවීමෙන් රෝගීන් බවට ද පත්වෙයි. සතුට හෝ අසතුට හිමිවීම සහ අහිමිවීම භෞතික ලොව ජීවත්වන අප සැමට ම උරුමව පවතියි.

එබැවින් සෑම මොහොතකම සතුට රඳා පවත්වා ගැනීමට බුදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ ලාභය– අලාභය , කීර්තිය – අපකීර්තිය, නින්දාව– ප්‍රශංසාව, දුක – සැප, යන අටලෝ දහම දිවි ඇති තෙක් සතුට සමීප කරවයි. ජීවිතය පවත්වන සැවොම මෙය අවබෝධ කරගෙන ජීවත් වන්නේ නම් ඔහුට හෝ ඇයට සතුට පවත්වාගෙන යා හැකි ය. මොහොතින් මොහොත වෙනස්වෙමින් ලබන මේ සතුට තාවකාලික ය. ඒ සියල්ල ඇස, කන, නාසය, දිව සහ ශරීර ස්පර්ශයට පමණක් සීමා වූවකි. ශරීරය දුබලවීමත් සමඟ භෞතික සතුටේ ද ඌණවීම ඇතිවෙයි.

එබැවින් සදාතනික සතුට ලෙස බුදු දහමේ සඳහන් නිවන සොයා ගත යුතු ය. එයට අවශ්‍ය මාර්ගය දේශනා කර ඇත. කළ යුතු වන්නේ ක්‍රමයෙන් හැකි අයුරින් එහි ගමන් කිරීම ය. නැවතත් භවයක අප උපත ලබන බැවින් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු ය. අටලෝ දහමට අමතරව සතුට පවත්වා ගැනීමට පළමුව .තමාටත් පසුව දරුවන්ට, මව්පියන්ට, බිරිඳට සහ බාල පිරිස්වලට, ගම්වැසියන්ට, රට වැසියන්ට, ලෝ වැසියන්ට, අපා, දෙපා, සිවුපා, පෙනෙන නොපෙනෙන, උපන්, නුපන් සියලු සත්වයින් කෙරෙහි තමාගේ ජීවිතය හා සමාන ව ඔවුන්ගේ ජීවිත ද සැමදා සතුටින් පැවැතිය යුතු ය. ජීවත්විය යුතුය යනාදී ලෙසින් සිතමින් මෛත්‍රීය වැඩිය යුතු ය. මෙය භාවනාම ය සිතිවිලි සමූහයකි.

එවිට ඔහුට හෝ ඇයට හොඳින් නින්ද යයි. සැපසේ අවධි වෙයි. සිහින නොදකියි, මිනිසුන්ට පි‍්‍රය වෙයි. අමනුෂ්‍යයන්ගෙන් හිංසා නො පැමිණෙයි, දෙවියන් විවිධ උවදුරුවලින් ආරක්ෂා කරයි, ගින්නෙන්, වස විෂ වලින් සහ ආයුදවලින් හානි නො පැමිණෙයි. වහා චිත්ත සමාධිය ඇතිවෙයි, සිහිමුලා නොවී මරණය හිමිවෙයි. මේ සියල්ල ම සතුට පවත්වා ගැනීමට හේතුවනු ඇත. සතුට පවත්වා ගැනීමට අවශ්‍ය තවත් කරුණක් වන්නේ සරල ජීවන මාර්ගයයි. මුදල් බොහෝ තිබුණ පමණින් බහු භාණ්ඩික වන්නේ නම්, ඔහුගේ සතුට හීනවී යයි. අවශ්‍ය අයුරින් පමණක් භෞතික සම්පත් භාවිතයට ගත යුතු ය. තෙවැනි කරුණ වන්නේ ඉවසීම පුරුදු කිරීම සහ කෝපය නැතිකර දැමීමයි.

මෙය සතුට අහිමි කරන සතුරකු හා සමාන බව නිතර සිහිකළ යුතුයි. මොහොතින් ජීවිතයේ ලබාගත් සැප සහ සතුට විනාශ වීමට එය මුල්වන බව අවබෝධ කරගත යුතු ය. සතුට ඇතිකර ගැනීමට සහ පවත්වා ගැනීමට ධම්ම පදයේ සුඛ වග්ගයෙන් ලබා දෙන උපදෙස් ඉතා අගනේ ය. වෛරී සහිත පුද්ගලයින් ජීවත්වන සමාජයක අවෛරී ව ජීවත්වීම, කෙලෙස්වලින් ජීවත්වන පුද්ගලයින් අතර කම්සැප සෙවීමේ උත්සුක නොවී ජීවත්වීම, ආභස්සර බඹලොව බ්‍රහ්මයා සමවත් සුවයෙන් ඇතිවන සතුට භුක්ති විඳින්නා සේ රාගාදි වූ කිසිම පලිබෝධයක් නැතිව ජීවත්වීම, ජය සහ පරාජය සම සේ විඳ දරා ගැනීම, සංස්කාර දුකක් බවත්, නිවන උතුම් සැපය බවත් අවබෝධකර ගැනීම, කායිකව සහ මානසිකව සුව සේ හිඳිමින් ධර්මානුකූල ව කාලය ගත කිරීම, අහසේ බැබළෙන චන්ද්‍රයා මෙන් ප්‍රඥාවන්ත. බහුශ්‍රැත, සිල්වත් සහ බුද්ධිමත් සත්පුරුෂයින් ඇසුරු කරමින් අසත්පුරුෂයින් දුරු කිරීම යන කරුණු ඒ අතර වැදගත් වෙයි. සතුට ලැබීමට නම් සැපය තිබිය යුතු ය. යනු ලෞකික ලෝකයේ පිළිගැනීමයි. සැප ලැබීමට නම් ධනය තිබිය යුතු ය. යනු, එහි ම තවත් පිළිගැනීමකි. සැප ලැබීම යනු භෞතික සම්පත් ලබාගැනීම ය.

සතුට යනු මානසික සුවය ලබා ගැනීම ය. සැප හෙවත් භෞතික සම්පත් බහුල වූ පමණින් සතුට ඇති නොවෙයි. එබැවින් සතුට රැඳෙන ශ්‍රද්ධා ධනය, සීල ධනය, පරිත්‍යාගශීලි ධනය, පවට බිය ඇති ධනය, පවට ලජ්ජා ඇති ධනය, ඇසීමේ ධනය, ප්‍රඥාව නමැති ධනය යන ධන හත සමීපකරගත යුතු බව බුදු දහම පෙන්වා දෙයි. සතුටින් දිවි ගෙවීම මරණින් මතු සසර සුගතිවීමටත් දිව්‍ය සම්පත් ලැබීමටත් හේතුවන බව සඳහන් කතා පුවත් විශාල ප්‍රමාණයක් බෞද්ධ සාහිත්‍යයේ ඇත. ඒ අතුරින් මට්ටකුණ්ඩලීගේ සහ ධම්මික උපාසකගේ කතා පුවත් හොදම නිදසුන් වෙයි. පරලොවක් ඇති බව පිළි ගන්නා බුදු දහම, දෙලොව ම සතුටින් දිවි ගෙවිය යුතු බව ඉදනන්දති පෙච්ච නන්දති, ඉධමෝධති, පෙච්චමොධති වැනි ධර්ම කරුණුවලින් තහවුරු කර දෙයි.

ලොව පවත්නා උතුම් ම ධනය සතුට බව ආරොග්‍ය පරමාලාභා. සන්තුට්ඨි පරමං ධනං යන ධර්ම කරුණින්ද තහවුරු වෙයි. එබැවින් බෞද්ධයින් ලෙස පරම සතුට ලැබීමට නම් ඉහත ධර්ම කරුණු අවබෝධ කරගනිමින් දිවිපෙවත පවත්වා ගත යුතු ය. එය දෙලොවහි ම සතුටින් දිවි ගෙවීමට උපකාරවනු ඇත. එය නිවන ලැබීමේ දොරටු විවර කර ගැනීමක් ද වෙයි.