Print this Article


 ලොව ශ්‍රේෂ්ඨතම ධර්මදූතයාණෝ

 ලොව ශ්‍රේෂ්ඨතම ධර්මදූතයාණෝ

මහාවංශයේ දහහතරවන පරිච්ඡේදයේ විසහත්වන ගාථාවට අනුව අනුබුදු මිහිදු මාහිමියෝ අඹ පැනය හා ඤාති පැනය ඇසුරෙන් දේවානම්පියතිස්ස රජුගේ බුද්ධිමය ශක්‍යතාව විමසා බැලීමෙන් අනතුරුව චුල්ලහත්ථි පදෝපම සූත්‍රය ඇසුරෙන් පළමු ධර්ම දේශනය සිදුකොට වදාළහ. මහාවංශය වාර්තාකරන අන්දමට එයට සවන්දීමෙන් රජු සමඟ සතළිස් දහසක් පිරිස තිසරණයෙහි පිහිටියාහ.


සිතුවම - හර්ෂ

සමස්ත බුද්ධ දේශනා අතුරින් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය පළමුව ලක්වැසියන්ට දේශනා කිරීමට අදහස් කිරීමෙන් අනුබුදු මිහිදු හිමියන්ගේ ධර්මදූත ව්‍යාපාරයේ සාර්ථකත්වය මැනවින් විශද වේ. එසේම උන්වහන්සේ එම කාර්ය සදහා මැනවින් පුහුණු වී වැඩම කළ බව ද තවදුරටත් ගම්‍ය වේ. බුදු දහම පිළිබඳ නිවැරැදි දැනුමක් නොමැති, ඒ සම්බන්ධයෙන් ආධුනික පිරිසකට බුදුදහම යනු කුමක්ද? එහි ඉගැන්වෙන ආගමික නිෂ්ඨාව කුමක්ද? එය දේශනා කරන ශාස්තෘවරයා හා උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස කෙබඳු ද? යන කරුණු පිළිබඳ ඉතා සාරවත් හැඳින්වීමක් කිරීමට සුදුසුම සූත්‍රය එයයි. එහි අන්තර්ගත නිදහස් චින්තනය මුලික කරගත් පරියේෂණ ක්‍රමවේදය මගින් බලහත්කාරයෙන් නව ආගම පිළිබඳ හඳුන්වාදීමක් වෙනුවට විවෘත මනසකින් ඒ දෙස බැලීමට අභිනව ශ්‍රාවකයාට දොරටු විවරකරදී තිබේ.

ධර්මදූත ව්‍යාපාරයේ ඉතිහාසය විමසා බැලීමේ දී අනුබුදු මිහිඳු හිමියන්ගේ ධර්මදූත ව්‍යාපාරය වෙසෙසින් කැපී පෙනෙන්නේ එහි ආරම්භයේ සිටම දක්නට ලැබෙන මෙවැනි ප්‍රඥාගෝචර ක්‍රියා පිළිවෙත නිසයි. බුදු දහම පිළිබඳ මනා දැනුමක් නොමැති සමාජයකට ඒ සම්බන්ධයෙන් හැඳින්වීමක් කිරීම සඳහා අනුබුදු මිහිඳු හිමියන් තෝරාගත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය සැකෙවින් විමසා බැලීම බෙහෙවින් වැදගත් වේ.

මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ විසිහත්වන සූත්‍රය වන එය ආරම්භ වන්නේ ජාණුස්සෝණි බ්‍රාහ්මණයා පරිබ්‍රාජක පිලෝතික යන දෙදෙනාගේ සංවාදයෙනි. මධ්‍යහ්නයේ ශ්‍රාවස්ති නගරයේ අශ්වාරථයකින් ගමන් කරමින් සිටි ජාණුස්සෝණී බ්‍රාහ්මණයා සිරිත් පරිදි බුදුරදුන් හමුවට ගොස් පැමිණෙන පිලෝතික නම් පරිබ්‍රාජකයා දුටුවේ ය. දැක ඔහුගෙන් මහා දහවල් කොයි සිට පැමිණේදැයි විමසී ය. එයට පිළිවදන් දුන් පිලෝතික පැවැසුවේ තමන් බුදුරදුන් බැහැදැක උන්වහන්සේට උපස්ථානකොට පැමිණෙන බවයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය කෙබඳු ද? ඔබ උන්වහන්සේ පණ්ඩිතයෙකැයි සිතන්නේ ද? යනුවෙන් ජාණුස්සෝණි බ්‍රාහ්මණයා විමසී ය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥා මහිමය දැනගත හැකිවන්නේ එවැනි ම බුදු කෙනෙකුට මිස තමන් වැනි අයෙකුට එය දත නොහැකි බව පිලෝතික පැවසී ය. බුදුරජාණන් වහන්සේ ගැන මෙතරම් පැහැදීමක් ඇතිව තිබෙන්නේ කවර කරුණක් නිසාදැයි? ජාණුස්සෝණී බ්‍රාහ්මණයා විසින් විමසනු ලදුව පිලෝතික පරිබ්‍රාජකයා එයට හේතු පැහැදිලි කළේ ය.

ඒ අනුව බුදුරදුන් කෙරෙහි පවතින විශේෂ ඤාණ පද හතරක් නිසා තමා උන්වහන්සේ ගැන පැහැදුන බවත්, උන්වහන්සේ ගැන මහත් උත්කර්ෂයෙන් කතා කරන බවත් පිලෝතික පැවසී ය. බුදුරදුන් වෙත පැමිණ වාද කොට, උන්වහන්සේ පරාජය කරමියි වහසිබස් දොඩමින්, කලින් පිළියෙළ කරගත් ප්‍රශ්න ඇතිව, පැමිණෙන ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති හා ශ්‍රමණ පණ්ඩිතයන් සියලු දෙනාම උන්වහන්සේ හමුවට පැමිණ තථාගතයන් වහන්සේගේ අනුශාසනයට පැහැදී , කිසිදු ප්‍රශ්නයක් නො අසාම උන්වහන්සේගේ ශ්‍රාවක බවට පත්වෙති.ඇතුන් සොයා යන්නෙකු වනයට ඇතුල්ව එහි මහත් ඇත්පිය සටහන් දැක මහා ඇතෙකැයි නිගමනය කරන්නාක් මෙන් මෙම ඤාණ පද හතර නිසා මම බුදුරදුන් ගැන පැහැදීමට පත්ව සිටිමියි පිලෝතික පැවසී ය. පිලෝතික බුදුරදුන් පිළිබඳ කළ විවරණය අසා සිටි ජාණුස්සෝණී එයින් පැහැදීමට පත්ව බුදුරදුන් වැඩ සිටි දිසාවට තෙවරක් නමස්කාර කොට කිසියම් දිනෙක උන්වහන්සේ හමුවීමට යායුතුයැයි අධිටන් කර ගත්තේ ය. පිලෝතික සැබැවින් ම බුදුරදුන් ගැන ඤාණ පද සතරක් දුටුවේ බාහිර වශයෙන් උන්වහන්සේ නිරීක්ෂණය කිරීමෙන් මිස තථාගත ධර්මය අවබෝධ කර ගැනීමෙන් නොවේ. උන්වහන්සේ වටා එක් රැස්වුණු විවිධ වර්ගයේ ජනතාව දැකීමෙන් ඇති කරගත් පැහැදීමක් මිස එය ධර්මය තුළින් තෙරුවන් හඳුනා ගැනීමක් නොවේ. සූත්‍රයේ දැක්වෙන පරිදි ජාණුස්සෝණී බුදුරදුන් හමුවට පැමිණි විට පිලෝතිකගේ හඳුනා ගැනීම අසම්පූර්ණ යැයි උන්වහන්සේ පැවසුවේ ඒ හෙයිනි.මිහිඳු හිමියන් මෙම සූත්‍ර දේශනාව තෝරා ගැනීමෙන් බුදුසමයේ එන නිදහස් චින්තනයේ හා විචාර පූර්වක විමර්ශනයේ ඇති වැදගත්කම ලක්වැසියන්ට පැහැදිලිකර තිබේ. නව දහම පිළිගැනීමේ දී ඒ කෙරෙහි විචාර බුද්ධියෙන් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමෙන් උන්වහන්සේගේ විවෘත මෙන් ම, ප්‍රඥා සම්පන්න ධර්මදුත කාර්යේ විශේෂතාව ප්‍රකට වේ.

වෙනත් දිනෙක බුදුරදුන් හමුවට පැමිණි ජාණුස්සෝණී බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ පිලෝතික දැක්වූ ඇත්පද උපමාව අසම්පූර්ණ බවත්, එමෙන් ම තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ බවත්, ධර්මය ස්වාක්ඛාත බවත්, සංඝයා සුපටිපන්න බවත්, නිෂ්ටාවට පත්විය යුත්තේ පිළිවෙළින් ධර්මය අවබෝධ කරගැනීමෙන් පසුව බවත් පැහැදිලි කළහ. ඒ අනුව ඇතුන් සොයා යන නුවණැති තැනැත්තා තවදුරටත් ඇත්පියවර අනුව යමින් විවිධ වර්ගයේ ඇතුන් දැක නිගමනයකට නොඑළඹ අවසානයේ මහා ඇතා දකින්නාක් මෙන් ධර්මාවබෝධය තුළින් බුදුරදුන් දකින ආකාරය ජාණුස්සෝණීට පැහැදිලි කළහ. එම විවරණය තුළ නූතන විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමය මැනවින් සංගෘහිත ය. ඇත්පද උපමාව තවදුරටත් විවරණය කළ බුදුරජාණන් වහන්සේ මහා ඇත් රජුට අමතරව වනයෙහි වෙසෙන වෙනත් ඇත්වර්ග ගැන විවරණය කරමින් මහා ඇතු පිළිබඳ නිගමනය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කළහ. එම උපමාවෙන් විචාර බුද්ධියෙන් යුතුව යමක් පිළිගත යුත්තේ ගවේෂණය කළ යුත්තේ කෙසේද යන්න පැහැදිලි වේ. ඇත්පද උපමාව ඇසුරෙන් තමන් වහන්සේ විසින් විමුක්තිය සඳහා පැහැදිලි කොට වදාළ ප්‍රතිපදා මාර්ගය පිළිබද නිෂ්ඨාවකට යන්නේ කෙසේද? නැතහොත් බුදුරදුන් සම්මා සම්බුද්ධ බවත්, ධර්මය ස්වාක්ඛාත බවත්, සංඝයා සුපටිපන්න බවත් අත්දැකීමෙන් සනාථ කරගන්නේ කෙසේද? යන්න පිළිවෙලින් පැහැදිලි කළහ.

ඒ අනුව බුදුරදුන්ගේ දේශනයට පළමුව සවන් යොමුකරන තැනැත්තා ගිහිගෙය සම්බන්ධ සහිත බව වටහාගෙන සියල්ල අතහැර පැවිද්දට පත්ව පිළිවෙලින් සීලය සම්පූර්ණ කරයි. ඒ යටතේ ඉතා දීර්ඝ වශයෙන් සීලය පිළිබද විවරණයක් සූත්‍රයේ ඇතුළත් වේ. දෙවනුව පංච නීවරණ බැහැර කොට සිව්ධ්‍යාන වැඩීමෙන් චිත්ත සමාධිය සම්පූර්ණ කරගනී. එමඟින් විමුක්ති මාර්ගයේ දෙවන පියවර සම්පූර්ණ වේ. තෙවනුව සමාධිගත සිත යටතේ පුබ්බේනිවාසානුස්සති, චුතුපපාත හා අසවක්ඛය ඤාණ සඳහා අවධානය යොමුකරන ශ්‍රාවකයා පිළිවෙලින් කාමාසව, භවාසව, අවිජ්ජාසව යන ත්‍රවිධ ආශ්‍රව බැහැර කොට අර්හත්වය සාක්ෂාත් කිරීමෙන් අනතුරුව තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ වන බවත්, ධර්මය මැනවින් දේශනා කරන ලද්දක් බවත් සංඝයා සුපිළිපන් බවත් පූර්ණවශයෙන් නිගමනයකට එළඹේ.