[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය දිනන්නට මඟ හෙළිකරදුන් බුදු මඟ යළි පෙන් වූ වසංගත බිය

ජීවිතය දිනන්නට මඟ හෙළිකරදුන් බුදු මඟ යළි පෙන් වූ වසංගත බිය

මුළු ලොව මොහොතින් මොහොත නැසෙන සුළු නිසා ලෝකයයැයි කියනු ලබන බව ලෝක සූත්‍රයෙහි සඳහන් වේ.

මිනිසාගේ වාසභූමිය මේ ලෝකය යි. මහා පෘථිවිය හා එයට බලපාන ඉර හඳ ඇතුළත් ග්‍රහලෝක තාරකාවලින් යුක්ත වූ මුළු විශ්වය ම මේ ලෝකයට ඇතුළත් කොට තිබේ.

මෙම ලෝකය තුළ ඇති ඉර, හඳ, තාරකා, ගොඩබිම, ජලය , වාතය, සාගර, මුහුදු, ගංගා හා විවිධවායු මෙන් ම පෘථිවිය තුළ තිබෙන විෂබීජ වර්ග. වායු ආදිය මිනිසාගේ මෙන් ම සත්ත්වයන්ගේ හා ශාකවල පැවැත්මට අනුබල ආධාර දෙයි.

ඒ අතරට ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ප්‍රාණීන් හා භූතයන් ලෙස සැලකෙන ප්‍රේතයන්, දෙවිවරු සිටින බව විශ්වාසයක් පවතී.

එසේනම්, අප ජීවත්වන ලොව පිළිබඳ ඉහත දැක්වූ විශ්වාසයක් තිබුණත් ‘කාලාම සූත්‍රය’ , චුල්ලහත්ථි පදෝපම සූත්‍රය, අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍ර වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ සත්ත්වයන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ මිනිසා බව යි, ඉහත දැක්වූ මූලික ලක්ෂණ ඇති ලොව, මිනිසාගේ උප්පත්තිය දුර්ලභ බව දක්වා ඇත. මිනිසාගේ පැවැත්මට බලපාන ධර්මතාවයන් රැසක් බුදුන් වහන්සේ වදාළ සේක. බීජ නියාමය, ඍතු නියාමය, ධර්ම නියාමය, කර්ම නියාමය හා චිත්ත නියාමය යන පංච නියාම ධර්මයන් දක්වා ඇත. මෙහි දක්වන ලද බීජ හා ඍතු නියාමයන් ස්වභාව ධර්මය තුළ ඇතුළත් ධර්ම වන අතර, ඉතිරි දෙක පුද්ගලයා ඇසුරෙන් ක්‍රියාත්මක වේ. මෙම නියාම ධර්මයන් එකින් එක හුදෙකලාව ම හෝ එකතුව ක්‍රියාත්මක වේ. ධර්මයන් අතර පවතින සම්බන්ධතාවය සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස දැක්විය හැකි ය. එසේම හේතු ඵල ධර්මය ද මිනිසාගේ පැවැත්මට බලපායි.

ලොව හැම දෙයක් ම නිර්මාණය හා පැවැත්ම මෙන් ම , අභාවය, විනාශය මෙන් ම සමාජීය අර්බුධ, ආර්ථික දුෂ්කරතා ආදිය ක්‍රියාත්මක වන්නේත් හේතුඵල ධර්මය අනුව යි. හේතුඵල ධර්මය අනුව සිදුවන සෑම ක්‍රිියාවක් ම ඇති නැති වන හැම සත්ත්වයෙක් ම, ශාකයක් ම, ද්‍රවයක් ම ධර්ම නියාමය අනුව සිදුවන බව බුද්ධ දේශනාවේ දැක්වේ.

මේ වනවිට අප රටතුළ බිහිවී තිබෙන ‘කොරෝනා වෛරසය’ ගැටලුව යම් තරමකින් ක්‍රමානුකූල ව පවත්වාගෙන යන්නේ පාලක රජයේ විධිමත් වැඩපිළිවෙළ නිසාම ය.

බුදු දහම විනය ගරුක සමාජයක් සඳහා පංචශීල ප්‍රතිපත්තිය හඳුන්වා දී ඇති අතර, රාජකීය නීති සංග්‍රහයේ ද මෙය වෙනත් නම්වලින් දක්වා ඇත. ආගම මඟින් පනවා ඇති ශික්ෂා මඟින් ස්වයං පාලනයක් ඇති කරගත යුතු ය. අද ඇඳිරි නීතිය පනවා ඇත්තේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා ය. රාජ්‍ය නීති රීති මඟින් හෝ පුද්ගලයා හික්වීම කළ යුතු ය. ලොව අන් රටවල් දෙස බලන විට අප රටට විශාල හානියක් ගෙනදෙන අවස්ථාවක සැනසුම් සුසුමක් හෙලිය හැක්කේ මිනිසුන් තුළ විනය තිබීම නිසා ය. නමුත් ඒ අතරින් කීප දෙනෙකුගේ හැසිරීම නිසා විශාල ප්‍රමාණයක ආසාදිතයන් බිහිවීම සිදුවූයේ ක්‍රමයෙන් නොදැනුවත්ව ම ය. එනිසා ආගම තුළින් ඇතිකරන විනය සමාජ යහපැවැත්මට මනා අනුබලයක් වෙයි.

සමාජයේ ආචාරශීලී මිනිසකු වීමට නම්, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, හා උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණ ගුණ තමාගේ හැසිරීම තුළින් ප්‍රකට කළ යුතු ම ය. එ පමණක් නොව රටක් වශයෙන් එකාවන් ව සිතන්නට බොදු දහම තුළින් ඔබට අවස්ථාව ලැබී ඇත. උස්- පහත්, දුප්පත්- පොහොසත්, කුලවත්- කුලීන වශයෙන් නොසිතා මේ අවාසනාවන්ත ලෙස අත්වැල් බැඳ ගැනීමට සිතීමේ කාලය එළඹ ඇත.

දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන සතර සංග්‍රහවස්තු අනුගමනය කරමින් සමාජයේ සෙසු අය සමඟ සුහදශීලී ව කටයුතු කිරීමට වග බලාගත යුතු ය.

මේ මොහොතේ ලද දෙයින් සතුටු වීම පිළිබඳව සිතීමට කාලය එළඹ ඇත. තමාට ඇත්තා වූ දෙය තමාට උරුම වූ දෙය නොමනාකොට සලකා අනුන්ට අයත් දේ ගැන ලෝභ කිරීම ‘අතිච්ඡතා’ නම් වේ. එය ලැබූ දෙයින් පිරිහීමට ද, නොලැබූ දෙය නොලැබීමට ද නොයෙක් විපත්වලට ද, මරණින් මතු අපායට යෑමට ද හේතුවකි. අද සමහර අය කොපමණ වස්තුව තිබුණත් තව තවත් අයට ගත නොහැකි ලෙසට රැස්කර තබා ගනිති.

අතීතයේ අපේ පැරැන්නෝ එකාවන් ව වැඩකටයුතු කළ ආකාරයත්, බෙදාහදා ගන්නා ආකාරයත් දකින්නට ලැබේ. ඒ අපේ රටේ සංස්කෘතියේ විශිෂ්ඨ ලක්ෂණයකි.

’මහිච්ඡතාව නමින් දක්වන අධික ලෝභයෙන් යුක්ත වූ තැනැත්තාට කොපමණ වස්තුව ලැබුණත් මෙලොව සැපයක් නැත.නමුත් කළ යුත්තේ කුමක් ද යන්න බුදුරදුන් මෙසේ වදාරා ඇත. නුවණැත්තන් ලබන ධනයතමාත් ප්‍රයෝජනයට ගෙන, වැඩි කොටසක් කර්මාන්තයන්හි යොදන්නේ ය. පරලොවට වැඩ පිණිස කළමණා දන් පිණිස මැනවින් යොදන්නේ ය. ස්වකීය ඥාතී සමූහයාගේ ප්‍රයෝජනයට ද වියදම් කරන්නේ ය. එසේ ධනයෙන් ගතමනා ප්‍රයෝජන ගෙන ලොවෙහි නුවණැත්තා ගේ ප්‍රශංසාවට ද භාජනය වී මරණින් මතු සුගතියට පැමිණෙන්නේ ය.

නුවණින් විමසා බැලුවහොත්, මිනිසුන් තමන්ගේ කෑම බීම ආදී කටයුතුවලටත්, අනුන් පිළිබඳව ඉටුකළ යුතු වූ කටයුතු පිණිසත් නොයොදා ධනය රැකගෙන සිට මියගියහොත් පරලොව ජීවිතයෙහි ද වටිනාකමක් නැත්තේ ය.

සැවොම මෙලෙස සිතීමට උත්සාහ ගත යුතු ය. ල ද දෙයින් සතුටුවීම නමැති උසස් ගුණ ධර්මය වඩා තම තමන්ගේ චිත්ත සන්තානය නිරෝගීව තබා ගැනීමෙන් මෙලොව නිරෝගී ව , දීර්ඝ කාලයක් ජීවත්වීමේ භාග්‍ය උදාකර ගැනීමෙන් මෙලොව දියුණුවත්, පරලොව දියුණුවත් සලසා ගැනීමට පරිසරය සුරැකීමේ වගකීම ද මේ වනවිට කාගේත් කතාබහට ලක් වී තිබේ. ආහාර හිඟය මතු වූ විට සියලුම දෙනා පිටරට දෙස බලා සිටියේ එහි ආධාර මත යැපෙන්නට යි. නමුත් මුළු ලොවම අපදාවට ලක්වූ සැනෙන් සියල්ලටම තමාගේ දෛනික ජීවිතය හා වටපිටාවේ අඩුවත්, තමාගේ නොසැලකිල්ලත් සිහි විය. එය පාලකයන් පවා වහා අවබෝධ කරගත් න ිසා මිනිසුන්ගේ දෙනෙත් ඇරවීමට ගත් උත්සාහයන් ඉතාමත් අගය කළ යුතු ම ය.

මේ රමණීය කුඩා දිවයින තුළ ඇති භූමියේ වටිනාකම මිනිසුන්ට දැනුණේ ‘කොරෝනා’ වෛරසයේ ආසාදනය මතුවීමත්, ආහාර හිඟයත් නිසා ම ය. හිස්ව තිබූ තමාගේ ගෙවතු දෙස කවදාවත් නෙත් නොහෙලූ ජනතාව නෙත් හෙළිම තුළින් අපේ රටේ සෞභාග්‍යය උදාවූයේ යැයි සිතෙයි

බුදු සිරිත තුළින් ද සොබා දහමේ අපූර්වත්වය මනාව පැහැදිලි ව දක්වා ඇත. බෝසතාණන් වහන්සේ මෙලොව ජනිත වූයේ බෝරුක් සෙවණේ දී ය. පිරිනිවන් පෑවේ සල් මල් මලින් සුසැදි උයනක දී ය.

පරිසරයෙන් ආස්වාදය ලැබූ බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිස බොහෝ විට ගිමන් හැරියේ, සැතපුණේ එළිමහන් රුක්මුල් ආශ්‍රිතව ය.

බුදුන් වහන්සේ භික්ෂූන්ට සිවුරු සකස් කරගන්නට අනු දැන වදාළේ මගධ කෙත්යායේ ස්වරූපය අනුව යි. සිවුරු පාට කරගන්නට අනුදැන වදාළේ ගස්වල මුල්, පොතු , කඳ, මල් තම්බා ලබාගත් ශාකසාර වලිනි. එසේනම් අද අප රටේ සිදුවන ගස්, වැල් විනාශ කිරීමේ ප්‍රමාණය වැඩි වී ඇත්තේ ඉහත දැක්වූ ශාසනික වශයෙන් ආහාරමය වශයෙන් මෙන්ම අපගේ සියලු දේටම සර්ව වස්තුවක් වූ ගස්වලට කොතරම් අදූර දර්ශිවදැයි කල්පනා කර බලන්න. පැළෑටියේ සිට විශාල ගස්වැල් දක්වා අද බොහෝ දෙනා විවිධාකාර ආකාරයේ ව්‍යාපාරවලට යොදාගෙන ඇත්තේ සියලු වනස්පතිය ම විනාශ කරවමිනි.

එහි විපාකය මෙවර ජනතාවට අවබෝධ වීම මහත් සතුටකි. බුදුන් වහන්සේ එදා වදාළ දේ අදත් සිතීමට පුරුදු වන්න. ඇලීමෙන් ගැලීමෙන් හා ගැටීමෙන් තොරව සොබා දහම තුළ අසිරිය සුන්දර ලෙස විඳිමට සිතට ගන්න.

තමාගේ ගෙවත්තේ අවශ්‍ය එළවළු, පළතුරු, ඖෂධ වගාකරගත් අපේ මුතුන් මිත්තන්, මී මුත්තන් යළි සිහිකරන්න, මේ ආපදාව තුළින් හැම කෙනෙක්ම තමාට අවශ්‍ය දේ වගා කරගත යුතු බව සිතට ගන්න. මේ චින්තනය කොරෝනා ගෙනා යහපත් වෙනසකි. නිරෝධායනය කාලවල දී ඔබ ගෙවත්ත තුළ වැඩ කළා නම් ඔබගේ හදවතට පණිවුඩයක් ලබා දෙන්නට ඇත. ඒ ණයක් නොවී වස විෂ වලින් තොර ගුණාදායක පලා එළවළු, පලතුරු ධාන්‍ය වගාවට එක්වෙනවා යන්න යි. එසේ වූ විට අපේ රටට විදේශ රටවලින් එවැනි දේ අපනයනය කරගන්නට අවශ්‍ය නොවේ.

කොරෝනා වසංගතය නිසා අපේ රටේ සැඟව සිටි නිර්මාණශීලීන් හඳුනාගන්නට ලැබීමත් අප ලැබූ වාසනාවකි. ඈත ගම්මානවල දූ දරුවෝ තම තමන්ගේ හැකියාව මතුකොට නිෂ්පාදනය කළ විවිධ වෛද්‍ය උපකරණ ඇතුළු දේ අනාගතයේ යහපත් පරම්පරාවක් සිටින බව පෙන්වූවා නේද?

අපේ රටේ මිනිසුන් අතර තිබූ සමාජ අසමගිතාවයන් දුරු කිරීමට මෙම කොරෝනා වෛරසය හේතු වූයේ නොපෙනෙන බලවේගයක් මෙනි.

තමාගේ තනතුරේ ලොකු පොඩිකම් ඉවත දමා අත්වැල් බැඳගෙන රෝගීන් සමඟත් වැඩකරන ආකාරය දුටු ඔබට සිතුණේ කුමක් ද? ත්‍රිවිධ හමුදාව, පොලීසිය, වෛද්‍යවරු ක්ෂේත්‍රයේ සියලුම දෙනා එකාවන් ව අත්වැල් බැඳ ගත් ආකාරය මුළු ලෝකයම මවිත කරන්නක් වූවා මෙන් ම අගය කරන්නක් ද වූ බව ඔවුන්ගේ ප්‍රවෘත්ති ජාලා තුළින් දකින්නට ඇත. සියලුම දෙයින් ආඨ්‍ය වූ රටවල්වලට වඩා ශ්‍රී ලංකාව ජාතීන් කීපයක්, ආගම් කීපයක් සමඟින් ළෙන්ගතුවෙමින් සාමූහික ව කුරිරු වෛරස රෝගයට මුහුණ දුන් ආකාරය විශ්මය ජනක ය. ඒ අපේ රටේ පැවැති සංස්කෘති රටාවේ යහපත්කම නිසා ය.

’ආරද්ධ විරියං’ එළඹ සිටි වීර්යයෙන් කටයුතු කිරීමට පුරුදු වූ තැනැත්තා ජීවිතයේ බොහෝ දේ ජයගන්නා බව බුදු දහම පෙන්වා දී ඇත. එසේම මාරයා පවා ජයගත හැකි ය.

පර්වතයක් පෙරළීමට සුළඟට බැරි සේ ම ඉහත කීගුණ පිහිටි පුද්ගලයා විනාශ කිරීමට මාරයාට හැකියාවක් ද නැති බව බුදුන් වහන්සේ පෙන්වා දුන්හ.

   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]