[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිපිට ඇති ලොකු ම සැපත නිරෝගි සැපතයි

මිහිපිට ඇති ලොකු ම සැපත නිරෝගි සැපතයි

ආතුර වූ ලෝකයා අතර බුදුරජාණන් වහන්සේ අනාතුර වූ උත්තමයෙකි. බුදුරජාණන් වහන්සේ ද ලෝක සත්ත්වයාගේ සිතෙහි හටගන්නා කෙලෙස් රෝග නිවාරණය පිණිස කටයුතු කරන බැවින් මනෝ වෛද්‍යවරයෙකි. එනිසා ම බුදුරජාණන් වහන්සේ ප්‍රකට වූයේ බවදුකට වෙදාණන් හැටියට ය.

ආතුරවූවන්ගේ සිත්හි ඇති රාගාදි කෙලෙස් උල් උදුරා දමන බැවින් බුදුරජාණන් වහන්සේ ශල්‍ය මනෝ වෛද්‍යවරයෙකි. එබැවින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කායික මෙන් ම මානසික ව්‍යාධීන්ට ඖෂධයක් ලෙස පිළිගැණින.

හැම කායික හා මානසික රෝගයනට නිදානයක් ඇත. ආහාර, විහරණ, උතු, පුද්ගල හා අජ්ඣාස යන වැරදි සප්පායන් බෙහෙවින් ම කායික රෝගයනට ප්‍රධාන හේතූන් වන අතර මානසික රෝගයන්ගේ නිදානය නම් මනසෙහි බලපවත්වන කෙලෙස් වේ. සංඛ්‍යාත්මකව බලන විට ත්‍රිවිධ අකුසල මූලයන් ආශ්‍රය කරගෙන මිනිස් සිතෙහි ක්‍රියාත්මක වන එබඳු කෙලෙස් එක්දහස් පන්සියයකට අධික බව සඳහන් වේ.

කායික මානසික වශයෙන් රෝගයෝ දෙයාකාර වේ. විවිධ කායික රෝගයනට වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුවය ලබා ගැනීමට හැකි ය. කායික රෝගයක පැවැත්ම රඳා පවතින්නේ ජීවත්ව සිටින කාලයේදී පමණි. මරණින් මතු කායික රෝගයේ පැවැත්මක් නැත.

චිත්ත සන්තානයේ අඛණ්ඩ පැවැත්ම භවයෙන් භවයට ගමන් කරන බැවින් මානසික රෝගවල පැවැත්ම සසර පුරා බල පැවැත්වේ යැයි සිතිය හැකි ය.

නිරෝගිකම උතුම් ලාභයක් වශයෙන් පිළිගත් බුදුරජාණන් වහන්සේ නිරෝගිකම උසස් අන්දමින් පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය අවවාද - අනුශාසනා නොඅඩුව ලබා දුන්හ. පරිසරය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයිනට අරණ්‍යගත ව, රුක්මුල්ගත ව හා ශූන්‍යාගාරගතව වාසයේ ඇති වැදගත්කම දේශනා කළහ.

තුරු සෙවණින් ලැබෙන සහනය, නොඉඳුල් ස්වාභාවික පරිසරයේ ඇති වටිනාකම, වනයෙහි පවතින නිහැඬියාව හා වාතාශ්‍රයෙහි ඇති පිරිසිදු බව වර්ණනා කළහ. බුදු සිරිතේ වැඩි කාලයක් ගත වූයේ ස්වාභාවික පරිසරය ඇසුරු කරගෙන බව ඇට්ටේරියා වනය, පාරිලෙය්‍ය වනය, භේසකලා වනය, අනුපිය අඹ උයන හා සුංසුමාරගිරිය වැනි ස්ථාන දෙසට අවධානය යොමු කරන විට පෙනේ. එසේම බුදු සිරිතේ සෑම සුවිශේෂී අවස්ථාවක් ම සිදු වූයේ ස්වභාවික පරිසරය ඇසුරු කර ගෙන ය.

බුදුරජාණන් වහන්සේ මානසික රෝග සුව කිරීමට වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව සූත්‍රාගත තොරතුරු අනුව පැහැදිලි වේ. බොහෝ සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ හැඳීන්වීම සඳහා යොදා ඇත්තේ මහණෙනි, මම ලොව සිටින උසස් ම වෛද්‍යවරයා වෙමි යනුවෙනි. සිත රෝගී වූ විට කය ද රෝගී වේ. එසේ වුවත් සිත ශක්තිමත් තැනැත්තහුගේ කය රෝගී වුවත් සිත රෝගී නොවේ. එවැනි මානසික තත්ත්වයන් දහසයක් අනුමාන සූත්‍රයේ දැක්වේ. මෙම දුර්වල මානසික තත්ත්වයන් නිසා මානසික සෞඛ්‍යය පිරිහෙන අතර කායික සුවතාවය ද පිරිහීමට පත්වේ. කායික - මානසික සුවතාවය පිරිහීම නිසා දහමින් අපේක්ෂිත උසස් පරමාර්ථ සාධනයට ද විවිධ බාධා ගෙන දෙයි. බුද්ධ දේශනාවේ බොහෝ සූත්‍රවල සිත ලෙඩ කරවන්නේ පඤ්ච නීවරණ වලින් බව සඳහන් වේ.

පඤ්ච නීවරණ මිනිස් සිතක ක්‍රියාත්මක වීම, ඒ තැනැත්තා ණයකාරයෙක් වීම, රෝගියෙක් වීම, කෙනෙකුගේ දාසභාවයට පත්වීම, කාන්තාරයකට පැමිණීම වැනි යැයි දක්වා තිබේ. එයින් නිදහස් වීමට මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ තුළින් පඤ්ච නීවරණ දුරු කොට උසස් මනසක් ගොඩනගා ගෙන, මානසික රෝග සුවපත් කරගෙන, නිවීම ලබා ගන්නා අයුරු බොහෝ සූත්‍රවල දක්වා තිබේ. බුදුරජාණන් වහන්සේ තමන් වෙත පැමිණෙන රෝගීන්ගේ මනසේ ස්වභාවය හඳුනාගෙන ඔවුන්ගේ මානසික සුවතාවය ඇති කිරීමට ක්‍රියා කොට ඇත. එබැවින් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා . මහණෙනි, ධර්මය නමැති ඖෂධය තරම් වෙනත් ඖෂධයක් නැත.එය පානය කරන්න යැයි වදාළ සේක.

මානසික නිරෝගිතාවය රැක ගැනීමට නම් අතීත සිදුවීම් ගැන සිතා ශෝක නොකිරීමත්, අනාගත අධික බලාපොරොත්තු නොතබා ජීවත්වීමත්, වර්තමානයේ සැහැල්ලු පැවැත්මෙන් ජීවත්වීමත් වැදගත් වෙයි.

අතීතය ගැන ශෝක කිරීමත්, අනාගතය ගැන සිහින මැවීමත් මනෝ ව්‍යාධියකි. බලාපොරොත්තු සුන්වීම හා ප්‍රාර්ථනා කඩවීම (අපේක්ෂා භංගත්වය ) බරපතල මානසික ගැටලුඑවකි. ප්‍රිය විප්‍රයෝගය හා අප්‍රිය සම්ප්‍රයෝගය ද මනසේ කනස්සල්ලට හේතු වේ.

අති ධාවනයෙන් කීර්ති, ප්‍රශංසා, ලාභ සත්කාර පසු පස්සේ හඹා යෑමත් ඒවාට ගිජුබවත් මනස විකෘති කිරීමට හේතුවකි. බුද්ධ විෂය, ධ්‍යාන විෂය, කර්ම විෂය හා ලෝක විෂය යන කරුණු හතර අචින්තෙය්‍ය කරුණු ලෙස ධර්මයෙහි සඳහන් වේ. මෙබඳු කරුණු විෂයයෙහි අසීමාන්තික ව කල්පනා කිරීමත්, මනස විඩාවට පත් කරයි. මනසේ පවත්නා සමබරතාවය බිඳ දමයි.

බුදුරජාණන් වහන්සේ මානසික සුවතාවය මෙන් ම කායික සුවතාවය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බව බොධ්‍යංග සූත්‍ර, ගිරිමානන්ද සූත්‍රය හා විනය පිටකයේ භේසජ්ජක්ඛන්ධකය විමසා බැලීමේ දී පැහැදිලි වේ. මිනිස් සිතෙහි හටගන්නා අප්‍රමාණ රෝග අතර සල්ලේඛ සූත්‍රයෙහි පමණක් රෝග 44 ක් දක්වා ඇත.

එම මානසික රෝගවලින් නිදහස්වීම සඳහා ධර්මානුකූල බෙහෙත් (ප්‍රතිකාර විධි ) ද දක්වා ඇත. ගිරිමානන්ද සූත්‍රය අනුව බලවත් සේ ගිලන් ව සිටි ගිරිමානන්ද තෙරුන්ට රෝගී සඤ්ඤාව වෙනුවට වෙනත් ධර්මානුකූල සඤ්ඤා 10 ක් ලබා දෙමින් සුවපත් කළ ආකාරය පැහැදිලි වේ. නිරෝගකමට පෙර කර්ම ද ආධාර වන්නාක් මෙන් ම මෙලොව සුදුසු ආහාර විහරණාදිය ද මහෝපකාරී වේ.

සියල්ල කර්මයෙන් සිදු වන්නේ යැයි පිළිගැනීම ද මිථ්‍යාදෘෂ්ටියකි. අසප්පාය ආහාර, අසප්පාය විහරණ, අසප්පාය සෘතු ගුණ, අසප්පාය පුද්ගලාශ්‍රය යන මේවා ප්‍රධාන වශයෙන් රෝග බහුල වීමට හේතු වී තිබේ. අසප්පාය ආහාර නම් තමනට පථ්‍ය නැති ගුණ නැති ආහාර යි. අසප්පාය විහරණ නම් ශරීර සනීපයට නොගැලපෙන ඉඳුම් හිටුම් ආදී විහරණ යි. අසප්පාය සෘතු ගුණ නම් ශරීරයට අහිතකර වූ ශීතෝෂ්ණාදිය යි.

බුදුරජාණන් වහන්සේ බොධ්‍යංග සූත්‍රවලදී තමන් වහන්සේ පුරුදු පුහුණු කළ බොධ්‍යංග ධර්ම සිහිපත් කරමින් මහා කාශ්‍යප, මහා මොග්ගලාන යන තෙරුන් වහන්සේලා සුවපත් කළ අයුරු පැහැදිලි වේ. චුන්ද බොධ්‍යංගයේ දී දැඩි සේ ගිලන් වූ බුදුරජාණන් වහන්සේ ද සුවපත් වූ අයුරු පැහැදිලි වේ. ධර්ම ශක්තිය තුළින් මානසික රෝග පමණක් නොව කායික රෝග ද සුවපත් කළ හැකි බව එම සූත්‍රවලින් මොනවට පැහැදිලි වේ.

   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]