[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කසාවතක අසිරිය

කසාවතක අසිරිය

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වර්ෂ 218 ක් ගත වූ පසු මුළු දඹදිව ම එකම අධිරාජ්‍යයා වූයේ අශෝකයන් ය.

අශෝක රජුගේ ආනුභාවය

උඩ දිශාවටත්, යට දිශාවටත් සැතපුම් දහසයක් දක්වා ඔහුගේ ආඥාව දෙවියන් සහ නාගයන් ද පිළිගෙන ඇත. දිනක් පාසා දෙවියන් විසින් අනෝතප්ත විලෙන් පැන් කළ දහසක් අශෝකයන්ගේ රාජ මන්දිරයට රැගෙන එයි. දෙවියන් විසින් හිමාලයෙන් ඉතා රසවත් වූ නාගලතා දැහැටි ද රැගෙන ඒ. එලෙසින් ම දිනපතා ඹෟෂධ පිණිස අරලූ සහ නෙල්ලි ද, රන්වන් වූ ප්‍රණීත අඹ ගෙඩි ද, හිමාලයෙන් රැගෙන එන්නේ දෙවියන් විසිනි.

රජු ඇතුලු බිසෝවරුන්ට සෑහෙන පරිදි සුවඳ විලවුන් හා වටිනා වස්ත්‍ර, අඳුන් හා ස්නානය කරන විට ඇඟ ගානා සුවඳ කුඩු වැනි දෑ දිනපතා රැගෙන එන්නේ නා ලොව නාගයන් විසිනි. ඡද්දන්ත දහ තලාවේ වැවෙන හැල් වී ගැල් නවදහසක් දිනක් පාසා ගෙනෙනු ලබන්නේ ගිරවුන් විසිනි. මීයන් විසින් වී පොතු ඉවත් කරනු ලැබේ. රජු ඇතුලු පිරිස අනුභව කරන්නේ එම සහල්වලින් පිසූ රස මුසු බතකි. කර්මාන්ත ශාලාවල යකඩ තැලීම සිදු කරන්නේ වලසුන් විසිනි. රජුගේ විනෝදාස්වාදය උදෙසා කරවීක පක්ෂීන් පැමිණ මිහිරි හඬින් නාද නංවයි. මී මැස්සන් ඒ ඒ දිශාවලින් පැමිණ රජ මාලිගාව අවට මී බඳීන්නේ රජු උදෙසා ය.

මහා කාල නා රජු මැවූ බුදුරුව

මෙවන් ආනුභාවයක් ඇති අශෝක රජු එක් දිනක් රන් හැකිලි බන්ධනයක් යවා කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරුන් දුටු කල්පයක් ආයුෂ ඇති මහා කාල නම් නා රජු තම රාජාංගනයට ගෙන්වා ගත්තේ ය. වේදිකාවක් සාදවා, මහර්ඝ ආසනයක් පනවා, එහි හිඳුවා බුදුරුව මවා පෙන්වන ලෙස ආරාධනා කළේ ය. එය පිළිගත් කාල නා රජු මහා පුරුෂ ලක්ෂණවලින් සහ අසූවක් කුඩා ලක්ෂණවලින් ප්‍රචලිත වූ රැස් විහිදෙන බුදුරුව මවා පෙන්වී ය. දින සතක් පුරාවට මවා පෑ මෙම අසිරිමත් බුද්ධ රූපය දෙස බලා සිටි රජු “අක්ෂි පූජා”නම් දෑස විවර කොට බුදුරුව දෙස බලා සිටියහ. බුදුරදුන් පිරිනිවන් වැඩි පසු එවැනි නිර්මිත බුදුරුවක් සියැසින් දුටු පළමු සහ අවසන් ඉන්දීය රජවරයා ඔහු ය.

මෙසේ කල් ගතවන විට එක් දිනක් සිරි මැදුරු තලයේ සක්මන් කරමින් සිටී රජුගේ නෙත ගැටුණේ උපශාන්ත පැවිද්දෙකි. ඔහු නමින් නිග්‍රොධ සාමණේරයන් ය. අශෝක රජු පළමුව තමාට ලැබුණ උදේනි රාජ්‍යය හැර අන් රාජ්‍යයන් ද යටත් කරමින් එන ගමනේ දී සුමන නම් තම සොයුරාගේ රාජ්‍යය ද අත්පත් කර ගත්හ. ඒ වන විට සුමනගේ භාර්යාව වන සුමනා දේවිය දරු ගැබ් ඇත්තී ය.ඇය රහසේ ම පලා යන විට එක් චණ්ඩාල ගමකට නො දුරෙහි සුවිසල් නුග රුකක් සමීපයට එන විට එම වෘක්ෂයට අධිපති දේවතාවා “සුමනාවෙනි”යි කියා නමින් ම ඇය අමතා නවාතැන් ගැනීම පිණිස සාලාවක් මවා දී ඇයට ආරක්ෂාව සපයා දුන්නේ ය. ඇය එහි දී රන්වන් පුත් කුමරෙකු වැදුවා ය. නුග ගසේ දේවතා විසින් අරක්ෂා කළ නිසා නිග්‍රොධ කුමරු ලෙස නම් තැබූහ. ඒ ගම්මානයේ නායකයා ඇය තම ස්වාමි දියණිය ලෙස සිතමින් සියලූ උපකාර ගෞරව දැක්වී ය.

මෙසේ පුරා සත් වර්ෂයක් ගත වන විට දුව පැන ඇවිදින මේ පුතුගේ පුණ්‍යානුභාවය දුටු මහාවරුණ රහතන් වහන්සේ සුදුසු කාලය පැමිණෙන තුරු ඒ ප්‍රදේශයේ ම වාසය කරමින් සිට කල් යල් බලා රජ කුමාරියට දැනුම් දී පුත් කුමරු පැවිදි කළේ ය. පැවිදි කිරීමට හිස කෙස් කපන මොහොතේ දී ම රහත් භාවයට පැමිණි නීග්‍රොධ සාමණේරයන් වහන්සේ දිනක් මව්තුමිය දැකීම පිණිස පා සිවුරු ගෙන ඇගේ නිවසට යාම සඳහා අශෝකයන්ගේ රජමාලිගාවට නුදුරින් ගමන් කරන විට උපශාන්ත විලාශය දැකීමෙන් රජුගේ සිත පහන් විය. ඒ මොහොතේ දී ම ආරාධනා කොට රජමාලිගාවට වැඩමවා සුදුසු ආසනයක වැඩ හිඳින ලෙස ආරාධනා කළහ. අන්‍ය වූ වැඩිහිටි භික්ෂුවක් නො දැක රජතුමාගේ අතට පාත්‍රය දී සිංහාසනයේ අසුන් ගත් සේක. එය දුටු රජුට පැහැදීම තවත් වැඩි දියුණු විය. සාමණේරයන් වහන්සේ ධම්මපදයේ අප්පමාද වර්ගය දේශනා කොට රජතුමාගේ පැහැදීම දියුණු කළහ.

දිනෙන් දින මහා සඟරුවන වැඩමවා සැට දහසක් සඟ පිරිසට නිති දන්වැට පැවැත් වූහ. රහතන් වහන්සේලා රජතුමා ඇතුලූ පිරිස තිසරණ සහිත පඤ්චසීලයෙහි පිහිටුවා චිත්ත ප්‍රසාදය දියුණූ කළහ. අශෝකාරාමය ඉදි කරවා සැට දහසක් මහා සඟනට පූජා කළ අශෝක රජු සිව්පසයෙන් ම උපකාර කළහ. දිනක් අශෝක රජු මහා දන් දී සැට දහසක් සඟ පිරිස මැද වාඩිවී බුදුරදුන් දෙසු ධර්මස්ඛන්ධයන් කොපමණ ද කියා ඇසූහ. ස්කන්ධ අසූහාර දහසක් යැයි රහතන් වහන්සේලා පිළිතුරු දුන්හ. එය අසා සිත පහදවා ගත් අශෝක රජු නගර අසූහාර දහසක වෙහෙර විහාර අසුහාර දහසක් තනවන්නට ඇමතිවරුන්ට අණ කළහ. සංඝයා විසින් ද ඉන්ද ගුප්ත නම් රහතන් වහන්සේ විහාර කර්මාන්තයේ කටයුතු මෙහෙයවන්නා ලෙස පත් කළහ.තෙරුන් වහන්සේ තම ආනුභාවයෙන් විහාර කර්මාන්තයේ කටයුතු තුන් අවුරුද්දකින් නිම කරවා අශෝකාරාමයේ දී සියලූ විහාරයන් සඟ සතුකොට පූජා කිරීමේ මහා පින්කම සූදානම් කළහ. එම උත්සවය සඳහා භික්ෂූන් වහන්සේලා කෝටි අසූවක් ද භික්ෂුණීන් අනුහය ලක්ෂයක් ද වැඩම කළහ.

ලෝක විවරණ ප්‍රාතිහාර්ය

ඒ අතර රහතන් වහන්සේලා ලක්ෂ ගණනක් විය.එහි දී රජතුමාගේ චිත්තප්‍රසාදය වැඩිදියුණු කිරීම පිණිස රහතන් වහන්සේලා විසින් “ලෝක විවරණ” “ප්‍රාතිහාර්ය” සිදු කරන ලදී. ඒ අනුව රජතුමාට අශෝකාරාමයේ සඟ පිරිස ඉදිරියේ වාඩිවී සිට මුලූ දඔදිව් තලය බෙර ඇසක් සේ සමතලා වී මුහුද දක්වා පෙනෙන්නට සැලැස්වී ය. අසූහාර දහසක් විහාර එකම මොහොතේ පූජා වන අසිරිය දුටු රජතුමා අපමණ ප්‍රීතියක් ලබා, මෙවැනි ප්‍රීතියක් අන් කවරෙකුට ඉපදී ඇත්දැයි සංඝයාගෙන් ඇසූහ. පිළිතුරු වදාළ මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ මහරජුනි ඔබ වැනි දායකයෙක් දිවමන් බුදුන් කළ ද නොසිටියේ යැයි ප්‍රකාශ කළහ. එසේ නම් ස්වාමීනී, මම බුදු සසුනෙහි හිමිකරුවෙක් දැයි විමසූ රජුට රහතන් වහන්සේ ප්‍රකාශ කළේ කොපමණ පූජාවන් කළත් තම දරුවෙකු පැවිදි කරන තුරු සසුනෙහි කොටස්කරුවෙකු නො වන බවයි.

මිහිඳු කුමරු පැවිදිවීම

එය ඇසූ අශෝක රජතුමා තමාගේ සමීපයෙහි සිටි මිහිඳූ කුමරු හා සංඝමිත්තා කුමරිය අමතා පැවිදිවන්නට කැමැත්ත විචාරා, ඔවුන් ඉහළින් ම කැමති වු පසු පැවිදි කරවීම සඳහා රහතන් වහන්සේලාට භාර කළහ. ඒ වන විට විසි හැවිරිදි මිහිඳු කුමරු පැවිදි උපසම්පදාව ලැබූ සීමා මාලකයේ දී ම රහත් භාවයට පත් වූහ. දහඅට හැවිරිදි සංඝමිත්තා ද පැවිදි වී මහරහත් භාවයට පත්විය.

ඒ කාලයේ දී බුදු සසුනට උළාර ලාභ සත්කාර ලැබෙන නිසා පිරිහී ගිය ආහාරපාන ඇති බොහෝ අන්‍යාගමිකයන් යැපීම් ක්‍රමයක් ලෙස කසාවතක් දරා භික්ෂූන් ලෙස පෙනී සිටිමින් නොයෙක් පව්කම් සිදු කරන ආකාරය දුටු රහතන් වහන්සේලා වනගත වූහ.උපෝසථ හා පවාරණ විනය කම් සත් අවුරුද්දකින් සිදු නොවුණ බව දැනගත් අශෝක රජු මොග්ගලී පුත්තතිස්ස රහතන් වහන්සේ වැඩමවා ගෙන භික්ෂු වේශධාරින් නෙරපා හැර උපෝසථ විනය කර්මාදිය කරවීය. මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ ඇතුලූ දහසක් රහතන් වහන්සේලා එකතුව තුන්වන ධර්මසංගායනාව ද සිදු කළහ. අතිශයින් සුවපත් සිතක් ඇති අශෝක රජුගේ අනුග්‍රහයෙන් සාමන්ත රාජ්‍ය ගණනාවකට ධර්ම දුතයන් පිටත් කර යැවී ය.

ලාංකේය පුනරුදය

මිහිදු මහා රහතන් වහන්සේ ය. මිස්සක පව්වෙන් උදා වූ පොසොන් සඳක් සදිසි ව කසාවතෙහි රැඳී සීල ගුණ සුගන්ධයෙන් ලක්ධරණීතලය පාරිශුද්ධ කළේ මිහිදු මා හිමියෝ ය. මහා බෝධීන්වහන්සේ වැඩම කරවා ලු සංඝමිත්තාවෝ ද සිංහලයන්ට අපමණ සෙනෙහසක් දැක්වූහ. එදා වැඩම කළ ධර්‍මදූත කණ්ඩායමේ සිටි සියල්ලන් ම පාහේ අශෝකයන්ගේ රජ පවුලට සම්බන්ධ ව සිට පැවිදි වූවෝ ය.

අසරණ වී සිටි සිහලුන්ට තිසරණය ලබා දී, සෙල්ලමට දඩයමේ ගිය සිහලුන් සිල්වතුන් කර ගස්, ගල් දෙවොල් පිදූ සිහලුන්ට ථූපාරාම ආදී මහා සෑ තනවා දී ඔවුන් සැබෑ වන්දනා ගමනක කැඳවාගෙන ගියහ. කසාවතින් ලක් ධරණීතලය ඔපවත් කළ සිල් ගුණ සුවඳ හෙළ බිමට කා වැද්දවූ ලෞකික හා ලෝකෝත්තර සැනසීමේ මාවත හෙළයන්ට විවර කර දුන් මිහිඳු මහ රහතන් වහන්සේ ලක් බිමේදී ම පිරිනිවන් වැඩම කළහ. සංඝමිත්තාවෝ ද මේ බිමේ දීම පිරිනිවන් වැඩම කළහ.

පොසොන් ආමාවෙන් සිත් සැනහෙන අදවන් දිනෙක ඒ ශ්‍රී නාමයන් ගෞරවයෙන් සිහි කරමු. සිල් ගුණ රකිමින් බුදුගුණ සිහි කරමු.සඝ ගුණයේ අසිරිය විඳ ගැනීම සඳහා ධර්මය ම පුරුදු කරමු.මිහිඳු මහා රහතන් වහන්සේගේ කරුණා ගුණය හැම සිතකට ම දැනේවා.

   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]